''මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ''
ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම් දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යන් විසින්, ඉන්දියාවේ සිට ගෙන ආවේය. ඒ ඇයට වසර අවුරුදු 4 දීය.
එවකට ජේම්ස් ටේලර්, සිඩ්නි කියන නැවෙන්, 1867 ලංකාවට ඇවිල්ලා තේ වගාව පළමුවෙන්ම ආරම්භ කරමින් තිබිණි. ඒ ලුල්කදුර වත්තේ ය. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය වූයේ ඉතිරි ප්‍රදේශවලට ද තේ වගාව ව්‍යාප්ත කිරීමයි. ඒ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් දෛයීවානී වැනි ළමුන්, ස්ත්‍රීන්, පිරිමින් විශාල පිරිසක් ඉන්දියාවෙන් ගෙන ආවේ තේ වගාවේ කම්කරුවන් ලෙස නියැලීමටය.
ඉන්දියාවෙන් කම්කරුවන් ලෙස දෛවානී වැනි ගැහැණුන්(ඇත්තටම කුඩා දරුවන්) සහ මිනිසුන් ගෙන එන විට බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර කම්කරු එකගතාවයක් පැවති අතර සියලු ඉන්දියානුවන් පැමිණියේ ‘ඉන්දියා-ශ්‍රී ලංකා වතුකම්කරු‘ යන නමින් හදුන්වා දී තිබූ ගමන් බලපත්‍රයකිනි. මුහුදු මාර්ගය ඔස්සේ මන්නාරමට පැමිණ එතැනින් දුම්රියෙන් දෛවානි ලා ලංකාවට පැමිණියා ය. ඒ ගමන සුවදායක ගමනක් නොවූ අතර අතර මග බොහෝ පිරිසක් මිය ගිය බවට වාර්තා වෙයි. නමුත් එවන් ව්‍යසනයන් තේ පානය කරන කිසිවෙකුටවත් එකල වැදගත් වූයේ නැත.(අදද එසේමද?)
එසේ ඔවුන් ගෙන ආවේ එවැනි මිනිසුන් සහ ගැහැණුන්ගේ ජීවිතයේ සාරවත් බව ළගා කර දීමට නොවේ. ලංකාවේ තේ වගාවේ සාරවත් බව සදහා ය. නමුත්ඒ ඒ ඛේදවාචකය Ceylon Tea වංශකතාවේ කොතනකවත් ලියවෙන්නේ නැත. ඒ නිසාම දෛවානිලාගේ පරම්පරාව අද දක්වාම, තේ වගාවේ වසර 150 පුරාවටම ලේ, දහඩිය, කදුලු වගුරවමින් ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් එක්කරමින් සිටින්නේ ය.
එහෙත් දෛවානිලාගේ පරම්පරාව තවමත් ලංකාව තුළ අනෙක් පුරවැසියන්ට අවම ලෙස හෝ හිමි ගෞරවය, ආරක්ෂාව, ප්‍රතිලාභ ලැබෙන්නේ ද?
ප්‍රශ්ණය ඇත්තේ එතනය.
මේ ඒ දෛවානි වසර 102කකටත් පසු ඇය වැඩකල, ජීවත් වූ, තවමත් ජීවත් වන බදුල්ල, ස්ප්‍රිංවැලි වතු යායේ සිට කියන ඇගේ ජීවිතයෙන් බිදකි.
මම ඉපදුනේ ඉන්දියාවේ ‘කීරමංගලම්’ කියන ගමේ
ඊට පස්සේ අම්මලා තාත්තලා මාව මෙහෙ දාලා එයාලා ඔක්කෝම ඉන්දියාවට ගියා
ඇය අතීතය පසක් කරයි. ඇයට වයස අවුරුදු 102කක් වුවත් තවමත් ඇය ශක්තිමත්ය. තියුණු මතකයක් ඈ සතුය.
ඉන්දියාවේ ඉදලා එනකොට අතර මග අවුරුදු දෙක තුනක් හිටියා මතකයි. ඊට පස්සේ අපි වතු/වතු ගානේ ඇවිද්දා...
මට අවුරුදු 8දී කෝනපෙලෙයි වල මගේ නම ලියාපදිංචි කරලා තේ කූඬේ පිටේ එල්ලගන වත්තේ වැඩට ගියා...
ඒක මට උස්සගන්න බැහැ මම පොඩි නිසා මට උදව් කරනවා අක්කලා..... අක්කලා තමයි මට දලූ ගොඩගහලා කිරලා දෙන්නේ....ඊට පස්සේ මම ටිකෙන් ටික දලූ කඩන්න එකතු කරන්න පුරුදු උනා..
ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා...
Credits:
VIKALPA/Sampath Samarakoon[Special Thanks; Uva Shakthi Foundation]