View Static Version
Loading

නොකියූ කතාන්දර(2) Untold story

මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ කොටස් වාසය කළ ද රැකියාව, භාෂාව ආදී දෙයින් ඔවුන්ගේ සමාජ ජීවිත එකට ගැට ගැසී තිබේ. දීර්ඝ කාලයක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ හුදෙකලා කෙළවරක පිහිටා ඇති මේ දිවයිනේ ජනයා අදටත් ගෙවන්නේ සුවපහසු ජිවිත නොවේ. ඒ අතරින් කාන්තාවන් විවිධ මට්ටම්වල දී අනේක විධ වෙනස්කොට සැලකීම්වලට බඳුන් වේ. මේ ඔවුන් මෙතෙක් නොකියූ කතාන්දර යි. [Photo and Story(2) By Sanjula Pieterz | @2021 / *මෙහි ඇතැම් අයගේ සැබෑ අනන්‍යතා හෙළි කර නොමැත.]

[බාස්කරන් පාර්වතී] "ඉඩම් අහිමි වීම ගැන පැමිණිල්ලක් කරන්න කාන්තාවන් පිරිසක් එක්ක මම දවසක් පොලීසියට ගියා. නමුත් පොලිසිය අපේ පැමිණිල්ල භාර නොගෙන කිසිම වගකීම් සහගත හැසිරීමක් නොපෙන්වමින් අපිට යන්න කිව්වා. අපේ පැමිණිල්ල භාර නොගන්න හේතුව ලියවිල්ලකින් අපිට දෙන්න කියලා මම ඉල්ලුවා. උඹ ගෑනියෙක්, ගෑනු එක්කම ඔහොම කතා කරපන්, අපිට සෙල්ලං දාන්න එන්න එපා කියලා පොලිස් නිලධාරීන් බැන්නා. මම කිව්වා අපි මේ රටේ මිනිස්සු, පොලිසිය ඉන්නේ මිනිස්සු ආරක්ෂා කරන්න, ඒ නිසා මිනිස්සු වෙනුවෙන් තමන්ගේ රාජකාරිය කරන්න කියලා. අනිත් පිරිසගෙන් පොලිස් නිලධාරීන් ඇහුවා එයාල වෙනුවෙන් කතා කරන්න මම සල්ලි කොච්චරක් ගත්තද කියලා. මම කිව්වා මම ගෑනියෙක් විදියට ගැහැණු වෙනුවෙන් කතා කරන්නයි ආවේ කියලා. මගේ මහත්තයා ධීවරයෙක්. ඔවුන්ට මුහුදු යන්න අවසර දුන්නෙ නැති දවසක ඒ ඇයි කියලා අහන්න මම නාවික හමුදා කඳවුරට ගියා. එතකොට හමුදා නිලධාරීන් මට බැන්නා මේ අපේ ජනාධිපති, මේ අපේ රට, අපිට ඕනෙ නම් විතරයි උඹලට මුහුදු යන්න දෙන්නේ කියලා. ගැහැනියක් නිසා නිකන් ඉන්නවා නැත්නම් ගහලා එලවන්නේ කියලා කිව්වා. මම කිව්වා ජනාධිපති ඔයාලගේ නෙමේ මේ රටේ මිනිස්සුන්ගේ කියලා. මම ගෙවතු වගාව කරලා තමයි ආදායමක් උපයන්නේ. දවසක් නාවික හමුදා කඳවුරෙන් ඇවිත් මම විකුණන්න තියෙන එලවළු සේරම දෙන්න කිව්වා. මම කිව්වා මම ඒව විකුණලයි ජීවත් වෙන්නේ, නිකන් දෙන්න බැහැ කියලා. එතකොට ඔවුන් කිව්වා මින් පස්සේ උඹට වෙළඳාම් කරන්න දෙන්නෙ නෑ කියලා. නාවික හමුදාවට බාබර් සාප්පු, රෙදි කඩ, එලවලු කඩ, ආපනශාලා වගේ හැම දෙයක්ම හන්දියක් හන්දියක් ගාණේ තියෙනවා. මේ පැත්තේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙළඳාම් කරන්න ඉඩක් නෑ මේ නිසා. මුහුදු කූඩැල්ලන් බෝ කරන පිරිසක් වතුර හරස් කරපු නිසා ඒ ප්‍රදේශයේ ගෙවල් ඔක්කොම වතුරෙන් යට වෙලා ගියා. මම ඒ ගැන ඔක්කොම තොරතුරු එකතු කළා. වීඩියෝ කළා. වැරදිකාරයින්ට ප්‍රශ්නය යටපත් කරන්න බැරි වුණා අපේ උත්සහය නිසා. උඹ ගෑනියෙක් නේද ඔච්චර හයියක් කොහෙන්ද කියලා ඔවුන් මට බැන වැදුණා. ඒ ගැටලුව මාධ්‍යට කියන්න මම මාධ්‍ය ආයතනවලට කතා කළා. එතකොට ඔවුන් මේ ගෑනු කියන දේවල් අපි මොකටද මාධ්‍යවල දාන්නේ කියලා කිව්වා. ගමේ පවුල් ආරවුල්වලදි ත් කාන්තාවන් වෙනුවෙන් කතා කරනකොට ගෑණු මොකටද ප්‍රශ්න විසඳන්න එන්නෙ කියලා අහනවා. ගැහැනු වෙලා ඉපදුණු නිසා ගැහැණුන්ව කොන් කරන එක කවදාවත් ඉවර වෙන්නෙ නැතිවෙයි කියලා මම සමහර වෙලාවට හිතනවා.”

[ජේසුදාස් මරියා] “මම පාසල් ශිෂ්‍යාවක්. මම ඉගෙන ගන්න පාසලේ ක්‍රිස්තියානි සහ හින්දු ආගමට අයත් ළමයි ඉගෙන ගන්නවා. මම ක්‍රිස්තියානි ආගමිකයෙක්. ආගම් දෙකකට අයත් පිරිසක් ඉන්න නිසා ගුරුවරු අතරේ සහ සිසුන් අතර යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. ආගම සිහිකරන ස්ථාන ගැන, ආගමික දෙවිවරුන්ගේ පිළිම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති වෙනවා. පාසලේ සමහර ගුරුවරු පුද්ගලික ප්‍රශ්නවලට ආගම මුල් කරගෙන තමයි කටයුතු කරන්නේ. ගුරුවරුන්ගේ ප්‍රශ්න නිසා සමහර අවස්ථාවල අපිට හරියට උගන්වන්නෙත් නැහැ. සමහර ගුරුවරු තමන්ගේ ආගමේ ළමයින්ට විතරක් අමතර පන්ති පවත්වනවා. නමුත් මෙහෙම ප්‍රශ්න තියෙනවා, අපි ඒවා විසඳගෙන හොඳින් ඉන්න ඕනේ කියලා කතා කරන සමහර ගුරුවරු ඉන්නවා. මගේ පන්තියේත් හින්දු ක්‍රිස්තියානි දෙගොල්ලොම ඉන්නවා. පාසල් ළමයි හැමෝම එකටනේ ඉන්නේ. ඒ නිසා ළමයි අතර ආගම මුල් කරගෙන ප්‍රශ්න ඇති වුණේ නැහැ. නමුත් වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ අදහස් සමහර ළමයින්ගේ ඔලුවට දාලා තියෙනවා. ඒ නිසා සමහර පොඩි පොඩි ගැටළු ඇති වෙලා තියෙනවා. ක්‍රීඩාවකින් හරි වෙනත් ක්‍රියාකාරමකින් හරි ළමයෙක් ජයග්‍රහණය කළාම පාසලේ ළමයෙක් දිනුවා නොකියා අහවල් ආගමේ ළමයෙක් දිනුවා කියනවා. වැඩිහිටියෝ මොන විදියකින් හරි බේද වෙලා ඉන්න උත්සහ කරනවා. ළමයි අතරටත් ඒ අදහස් කාවද්දන්නෙ ඇයි?”

[සමීන් සමීමා] “මගේ ස්වාමි පුරුෂයා මාව අත්හැර ගිහින් දැන් අවුරුදු තුනක්. ඒ අවුරුදු තුනම මම කාති උසාවි යනවා. තවම මට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. කාති උසාවියේ දී පිරිමින්ගේ වැරදි ගැන කතා කරන්නේ නැහැ. ගැහැණුන්ට තමයි වැරැද්ද පටවන්නේ. උසාවියේ දී මට නරක විදියට කතා කරන්නේ. මගේ ප්‍රදේශයේ ඉන්න ගෑණු ඔක්කොම ගණිකාවෝ කියලා දවසක් පරුෂ වචනයෙන් බැන්නා. ගැහැණුන්ගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ගමේ කාන්තා සමිතිය හරහා අපි කිහිප දෙනෙක් එකතු වෙලා ලියුමක් උසාවියට ලබා දුන්නා කාතිවරයා ඉවත් කරන්න කියලා. පස්සේ ඒ කාතිවරයාව ඉවත් කළා. මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. මම කැලෑවට ගිහින් දර එකතු කරලා තමයි ජීවිතේ ගෙනියන්නේ. ගෙදර ඉඳන් හැතැප්ම 4ක් දුරින් කැලෑව තියෙන්නේ. ගෙදර ඉඳලා පයින් ගිහින් දර එකතු කරලා කුලී කරත්තෙක පටවගෙන එනවා. දර එකතු කරද්දි තුවාල වෙනවා නමුත් කිසිම බෙහෙතක් කරන්නෙ නැතුව ගොඩක් දුෂ්කරව මේ රැකියාව කරන්නේ. මම මීට කලින් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් විදියට රැකියාව කළා. ගෙදරින් පිට ගියාම මිනිස්සු නොයෙක් දේවල් කියනවා, මිනිහා අතෑරලා ගිය ගෑනි කියලා. දරුවොත් එක්ක තනි වෙලා දුක් විඳින්නේ මම වුණාට සමාජයෙන් අපවාද අහන්න ඕනෙත් මම යි. නීතියෙන්වත් සමාජයෙන්වත් කිසිම පිළිසරණක් නැහැ. කාන්තාවක් වුණු නිසා අපිට සිද්ධ වෙන අසාධාරණකම්වලට විරුද්ධව කතා කරන්නවත් අපිට හයියක් නැහැ.”

[රසිකුමාර් සුගන්ධි] “මම යුද්ධය නිසා අබාධිත වුණු කාන්තාවක්. මම ජීවත් වෙන්නේ යුද්ධයෙන් ආබාධිත වුණු පුද්ගලයින්ට හදපු ගම්මානයක. මෙහෙ වැඩිපුරම ඉන්නේ ගෘහමූලික අබාධිත කාන්තාවන්. අපිව පදිංචි කරපු මේ ගම පිහිටලා තියෙන්නේ නගරයෙන් ගොඩක් දුර බැහැර, වෙන කිසිම ස්ථානයකට ප්‍රවේශ වෙන්න අමාරු පාළු ස්ථානයක කැලෑව ආසන්නයේ. කෙනෙක් අසනීප වුණොත් රෝහලකට ගෙනියන්න ලොකු වියදමක් යනවා. හදිසියේ දුරකථනයට සල්ලි දාන්න ඕනේ වුණොත් ලොකු කාලයක් මුදලක් මහන්සියක් දරන්න ඕනේ. අපිව පදිංචි කරලා තියෙන මේ ස්ථානයේ ඉඳන් ජනාවස ප්‍රදේශයකට දුර නිසා අපිට තියෙන රැකියා අවස්ථා හරි අඩුයි. ඇත්තටම නැති තරම්. ගමට මායිම් වුණු කැලෑවේ අලි ඉන්නවා. මිනිස්සු කන්න බොන්න වගා කරගන්න දේත් අලි විනාශ කරනවා. අන්ධ පුද්ගලයොත් ඉන්නවා. ඔවුන්ගේ ගෙවල් ළඟටත් අලි එනවා. කොච්චර භයානක ද ඒක? අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් මේ ගැන පැමිණිලි කළාට කිසිම පියවරක් මේ වනතුරු අරගෙන නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මම කුඩාවට ගෙවතු වගාවක් කරනවා. වතුර ප්‍රශ්න, වියළි කාලගුණය වගේම අලින්ගේ ප්‍රශ්න නිසා මෙහෙ වගා කිරීම දුෂ්කරයි. අපි අබාධිත බව දැන දැනම අපිව මේ වගේ තැනක ගෙනත් අතෑරලා අපි ගොඩක් අසරණ තත්වයේ ඉන්නේ. අපේ දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. පාසල් තියෙන්නේ ගොඩක් දුර. ගොඩක් අයට ඒ දුර ගෙවාගෙන දරුවෝ පාසල් යවන්න මුදල් වත් හැකියාව වත් නැහැ. වැඩිහිටියෝ එදාවේල හොයාගන්න මහන්සි වෙනකොට ඔවුන්ට දරුවන් ගැන බලන්න වෙලාවක් නැහැ. ළමයි ලොකු වෙද්දි ඉගෙනීමත් නැතුව නාස්ති වෙලා යනවා. අපි අබාධිත වුණාට අපේ ළමයින්ට හොඳට උගන්නලා එයාලට හොඳ ජීවිතයක් ලබා දෙන්නයි අපි හැමදේම කරන්නේ.”

[මහාලක්ෂ්මි] “මම මන්නාරම් ප්‍රදේශයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිනියක්. යුද්ධයෙන් අවතැන් වෙලා අපි ඉන්දියාවට ගියා. එහෙදි මම දැක්කා යුද්දෙනුත් වැඩියෙන්ම දුක් විඳින්නේ කාන්තාවන් කියලා. අනාථ කඳවුරුවලත් කාන්තාවන්ට වෙනස් කරලා සලකන බව මම අත් දැක්කා. ඉන් පස්සේ මම හිතුවා මම ලංකාවට ඇවිත් යුද්ධයෙන් අවතැන් වුණු කාන්තාවන් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා. ලංකාවට ඇවිත් මම 1998 ඉඳන් විවිධ වැඩසටහන් ආරම්භ කළා. මන්නරමේ යුද්ධය දරුණුවට තිබුණු කාලෙදි රජයේ හමුදා බල ප්‍රදේශවලත්, එල්.ටී.ටී.ඊ. ප්‍රදේශවලත් මම කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගන්වන වැඩ කළා. කාලයක් අපි උත්සහ කරලා පොලිසියේ ළමා හා කාන්තා අංශයක් ඇති කරන්න පුලුවන් වුණා. කාන්තාවන් වෙනුවෙන් සඟරාවක් ආරම්භ කළා. දේශපාලන නියෝජනය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි වෙන්න ඕනේ කියලා වැඩසටහන් කළා Vote for Her නමින්. කාන්තාවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පත් වෙන්න ඕනේ කාන්තාවන්ම තමයි. ඒ නිසා තීරණ ගන්න තැන්වලට වැඩිපුර ගැහැනුන් පත් වෙන්න ඕනේ. අපේ රටේ කාන්තාවන් තමයි බහුතරය. සිංහල, දෙමළ, මුස්ලිම්, කඳුකර දෙමළ ඔය මොන ජන වර්ගයට අයත් වුණත් කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ණයට හිරවුණු කාන්තාවන් දහස් ගණනක් මුලු රටේම ඉන්නවා. මන්නාරමේත් දැන් කාන්තාව මුහුණ දෙන දරුණුම ප්‍රශ්නය තමයි ඒක. යුද්ධය ගැන වුණත් දෙපාර්ශවයේ කාන්තාවන්ට තමන්ගේ අත්දැකීම් හුවමාරු කරගන්න පුලුවන් නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න උදව්වක් වෙයි. කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පොලිසියට ගියාම මම ගැහැනියක් නිසා ගණන් නොගෙන, කිසිම ප්‍රතිචාරයක් නොදක්වා හිටියා. ඇහුම්කන් දෙන්න තරම් වටින කෙනෙක් කියලා සමාජයට ඒත්තු ගන්වන්න කාන්තාවන් ලොකු උත්සහයක් දරන්න ඕනේ. මමත්, හවස 6න් පස්සෙ ගෙයින් එළියට යන්න එපා කියපු සාම්ප්‍රදායික පවුලක ඉපදුණු කෙනෙක්. ගැහැනියක් සමාජයේ ප්‍රශ්නවල දී මූලිකත්වය අරන් ක්‍රියාකාරීව ඉන්න එක අපේ සමාජයට පුරුදු නැහැ. රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ ඉඳලා සාමාන්‍ය මිනිස්සු දක්වා බොහෝ අය කාන්තාවන්ගේ මැදිහත්වීම භාරගන්න සූදානම් නැහැ. නමුත් සමහර ගැටළුවලට සාර්ථකව මැදිහත් වෙන්න මට පුලුවන් වුණේ මම කාන්තාවක් වුණු නිසාමයි කියලත් හිතෙනවා.”

Photo and Story By Sanjula Pieterz | @2021

Created By
Sampath Samarakoon
Appreciate

Credits:

Sanjula Pieterz

NextPrevious

Anchor link copied.

Report Abuse

If you feel that the content of this page violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.