Loading

මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ 'යුක්තිය' මිස අන්කිසිවක් නොවේ! #MAY18 #Mullivaikkal #srilanka

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,තරුණියන් සිය ගණනක් සිය සමීපතමියින්ට පහන් දැල්වූයේ කදුලු පිරි දෑස් අහසට යොමා ගෙනය. නමුත් ඒ කිසිවෙක් කිසිදු වෛරී ප්‍රකාශයක්, අදහසක් කිසිවෙකුටවත් කීවේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි.

මරා දැමූ, අතුරුදහන්කළ, පැහැරගත්, හමුදාවට බාර කළ තමන්ගේ සමීපතමයින් ගැන සත්‍ය සහ යුක්තිය දැනගැනීමට අවශ්‍ය බවය.

දැන් යුද්ධය නිළ වශයෙන් අවසානය යැයි කියා මැයි මසට වසර 9කි. ඒ වසර 9ය තුළ සිදුකල අපරාධවලට හෝ දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්ණයට පිළිගත හැකි 'යුක්ති සහගත' ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ලංකාව අසමත් ව තිබේ. හමුදාව විසින් බලහත්කාරයෙන් භාවිතා කල මිනිසුන්ගේ ඉඩම් කොටස් ප්‍රමාණයක් නිදහස් කළත්, ඒවා නිදහස් කරනවිට ‘දෙනවා වගේම ගන්නත් පුලුවන්’ ‘ඔන්න අපෙන් තෑග්ගක්’ යැයි අපුල දනවන සිංහළ අධිපතිවාදී කතා ගොන්නක් කියමින් ලංකාවේ ජනාදිපති සිරිසේන සහ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ ද, සිය ගණනක් මිනිසුන් මැයි 18 වනදා සිය ආදරණියන්ගේ මතකය ද සමග මුල්ලිවෛක්කාල්වලට පැමිණියේය.

ඒ අතරතුර අතුරුදහන් වූ සිය සමීපතමයින් පිළිබද සත්‍ය හෙළි කරන්නැයි ඉල්ලා මුලතිව්වල, කිලිනොච්චියේ, ත්‍රිකුණාමලයේ, වව්නියාව වැනි නගරවල සිදුකරන සත්‍යග්‍රහයන් වසරකට වඩා දිග්ගැසසෙමින් තිබේ. ‘යහපාලන’ රජය විසින් පත්කරන ලද ‘අතුරුදහන් වූවන් පිළිබදව වූ කාර්යාලය’ සාක්ෂි එක්කාසුකරමින් නගර කරා ඇදෙමින් ඇත.

‘අපේ ළමයි අතුරුදහන් වෙලා නැහැ. අපේ ළමයි 2009 මැයි 17වනදා ලංකා හමුදාවට මේ අත්වලින් අපි බාරදුන්නා. කෝ ඒ අපි බාර දුන්න අපේ ළමයි’ කිළිනොච්චි මව්වරු අසන්නේ මේ අතරවාරයේදීය.

‘අතුරුදහන් වූවන් පිළිබදව වූ කාර්යාලය’ට කෙසේ වෙතත් සිංහල හෘදසාක්ෂියට කවදා හෝ මේ ඇත්ත ප්‍රශ්ණයට පිළිතුරු දෙන්නට වෙනවා ඇතැයි යළි යළිත් ලියන්නට සිදුවීම ඛෙතරම් ශෝචණියද?

අනෙක ‘පිරිසිදු යුද්ධයක්’ කලා යැයි කියන ‘රණවිරුවන්’ සිටින හමුදාවකට බාරදුන් දරුවන් පිළිබද තොරතුරු දෙන්නැයි කියන්නට වීම ගැන දකුණේ ‘රණවිරු වන්දනා’ කරන්නෝ නැවත කල්පනා කළයුතු නොවේද?

'මගේ පුතා ඉන්නවා, එයාව ගෙනත් දෙන්න..එයා ඉන්නවා, එයාට මුකුත් වෙලා නෑ..' මේ වසරකට වැඩි කාලයක් අව්-වැසි නොතකා කිලිනොච්චි මහපාර අයිනේ යුක්තිය ඉල්ලා සටන් කරන වයෝවෘද්ධ මහලු පියා ගේ හදවතය..

මේ අතර 2009 මැයි 16 සිට 18 කාලය තුළ ලංකා යුද හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් වී යැයි සැළකෙන, ළමුන් 29 දෙ‍ෙනකු ද ඇතුලත්, 293 දෙනකුගේ නාම ලේඛනයක්, සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් පසුගිය මැයි 14 වැනිදා යාපනයේ දී එළිදක්වන ලද්දේ 2015 දී යහපාලන ආණ්ඩුව වේදිකාවල දුන් පොරොන්දු ද පසෙකින් ඇති විටකදීය . එම වාර්තාව පවසන පරිදි ඒ සියල්ලන් යුද හමුදා ව වෙත භාරවනු ඇසින් දුටුවන්ගේ සාක්‍ෂි මත පදනම්ව සකස් කර ඇත.

ඒ අතර 'රණවිරුවා' 'ත්‍රස්තවාදියා' ගැන අර්කථනය කරමින් රාජපක්ෂලා මෙන් ඊනියා සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය නැවත වටයකින් පෝෂණය කරමින්, 2018 මැයි මස 19වන දින රණවිරු සැමැරුම් උත්සවයේදී සිරිසේන ජනාධිපතිවරායා දීර්ඝ කතාවක් කලේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන(2018 මැයි 19, කොළඹදී)

නමුත් 2015 දී කිසියම් ලෙසකට පැවසූ පරිදි යුද්ධයේ ගොදුරු බවට පත් වූ වින්දිතයන්ට 'යුක්තිය' ඉටු කිරීම පිළිබද ව කිසිදු අදහසක් ප්‍රකාශ නොකර ‘රණවිරු’ වන්දනාවෙන් සිය ප්‍රකාශය අවසන් කළේය. මෙයින් ‘සංක්‍රාන්තික යුක්තිය’ පිළිබද තත්ත්වය තුළ තේරුම් ගන්නේ කෙසේදැයි එහි වියත් පර්යේෂකයින් මේ සමාජයට නැවත වරක් පැහැදිලි කළ යුතු නොවේද?.

'කොළඹ ඉදලා නෙවෙයි, මෙහෙට ඇවිල්ලා බලන්න ඕන අපේ ප්‍රශ්නය'

ජනාධිපතිවරයාගේ මැයි 19වනදා රණවිරු කතාවට පෙර මුල්ලිවෛක්කාල්වල වින්දිතයෙක් නැවතත් කීවේය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය කතාවේදී පවසා සිටියේ;'“කිසිම දෙයක් කරන්නේ නැතිව, ඔක්කොම කොටියෝ, නැතිනම් ඒ ගොල්ලෝ ඔක්කොම ත්‍රස්තවාදියෝ කියන එක බොහොම වැරදියි කියලයි මං හිතන්නේ,”

නමුත් මැයි 18 මුල්ලිවෛක්කාල් වලට රොක් වූ සිය ගණනක් මිනිසුන් පහනක් දල්වා සිය ආදරණියන් සිහි කරමින් ආපසු නිවෙස්වලට ගියේ වසර 9ක් සේම එැවැනි ම වූ තවත් බලාපොරොත්තු රහිතව එළැබෙන වසරකට මුහුණ දීමට සූදානමින්ද?

ජේ. එම්. ගිබන් වරෙක් මෙසේ ලීවේය. ‘ජාතියක යහපැවැත්මට අවශ්‍ය වන්නේ - ස්වාමියා - සේවකයා අතර පවතින අන්දමේ සාමයක් නොව, අන්‍යේන්‍ය අවබෝධය, සමානාත්මතාවය, විශ්වාසය, යුක්තිය පදනම් කොට ගොඩනගාගත් සාමයයි’
'වැරැද්දක් සිදුවී ඇති බව තේරුම් ගැනීම 'ජයග්‍රහණයට' හේතුවයි' යනුවෙන් කැරොලයින් එල්.ගැස්කෝල් ද ලීවේ මීට වසර ගණනාවකට පෙරය.

මුල්ලිවයික්කාලි සිහිකිරීම් හී අවස්ථාව 360, StreetView තාක්ෂණයෙන් බලන්න.

NextPrevious

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.