View Static Version
Loading

නොකියූ කතාන්දර Untold story

මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ කොටස් වාසය කළ ද රැකියාව, භාෂාව ආදී දෙයින් ඔවුන්ගේ සමාජ ජීවිත එකට ගැට ගැසී තිබේ. දීර්ඝ කාලයක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ හුදෙකලා කෙළවරක පිහිටා ඇති මේ දිවයිනේ ජනයා අදටත් ගෙවන්නේ සුවපහසු ජිවිත නොවේ. ඒ අතරින් කාන්තාවන් විවිධ මට්ටම්වල දී අනේක විධ වෙනස්කොට සැලකීම්වලට බඳුන් වේ. මේ ඔවුන් මෙතෙක් නොකියූ කතාන්දර යි. [Photo and Story By Sanjula Pieterz | @2021]

[රෝස්මේරි] “මගේ සැමියා දරුවන් හතර දෙනෙක් සමග මාව හැර යන විට වැඩිමල් දරුවාට වයස අවුරුදු 13 ක්. මුල් කාලයේ දරුවන් සමග මහමඟ ජීවත් වුණා. පසුව කුඩා පැල්පතක් සකසා ගත්තා. මම ජීවිකාව ගෙනියන්නේ ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් අල්ලලා. මේ ප්‍රදේශයේ වැන්දඹු සහ පුරුෂයින් හැර ගිය පවුල්වල ගෘහ මූලික කාන්තාවන් බහුතරයකගේ රැකියාව මේක. නමුත් ඔවුන් තමන්ගේ වෘත්තියේ නියැලෙන්නේ කිසිදු උපකරණයක් නොමැතිව යි. ඔවුන් මාළු අල්ලන්නේ තමන්ගේ අත් භාවිතයෙන්. ඒ නිසා ඔවුන් නිතරම අනතුරුවලට ලක් වෙනවා. ගෘහ මූලික කාන්තාවක්, ධීවර කර්මාන්තයේ නිරත කාන්තාවක් ලෙස කාන්තාවක් වීම නිසා වෙනස් කොට සැලකීමට නිතරම මම ලක් වෙනවා. ප්‍රශ්න කතා කරන්න ඉදිරියට යනකොට ඒ දේවල් කතා කරන්න කාන්තාවක් ඉදිරිපත් වෙන්නේ ඇයි කියල මගෙන් ප්‍රශ්න කරනවා. කාන්තාවක් වීම නිස ප්‍රශ්නවලට ඉදිරිපත් උනාම මාව නිග්‍රහයට ලක් කරනවා.

පුරුෂයින්ගෙන් පමණක් සැදුම් ලත් ගමේ ධීවර සමිතිය විසින් ධීවර කර්මාන්තයේ නිරත කාන්තාව වෙනුවෙන් පෙනී නොසිටින නිසා කාන්තාවන් විසින් කාන්තා ධීවර සමිතියක් ආරම්භ කළා. අපේ කාන්තා ධීවර සමිතියෙන් අපි නිවසක් හදන්න ආධාර කළා එක් පවුලකට. ගමේ පිරිමි ධීවර සමිතිය, ඔවුන්ව අභිබවා ගිහින් අපි වැඩ කරනවා කියලා අපිට අවලාද කරමින් බාධා කළා. අපේ ගමේ පිහිටා තියෙන නාවිකා හමුදා කඳවුරේ අනුමැතියෙන් තොරව අපිට මුහුදට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නෙ නැහැ. රෑට තමයි මුහුදු කූඩැල්ලන් අහුවෙන්නේ. ඒ වෙලාවට නාවික හමුදාව අපිට යන්න දෙන්නෙ නැහැ. කඳවුර අවට භූමිය සුද්ධ කරලා දුන්නොත් තමයි මුහුදු යන්න දෙන්නේ. මුහුදු රස්සාවෙන් තමයි අපි ජීවිකාව ගෙනියන්නේ. ඔවුන්ට නොදන්වා මුහුදු ගිහින් ආ බව ඔවුන්ට ආරංචි වුණොත් කොපි පොත් 5ක්, පිහි 10ක්, වීදුරුවක්, විදුලි පන්දමක් අරන් දෙන්න කියල වැන්දඹු කාන්තාවන් වන අපිට බල කරනවා. මේ වගේ බාධා කිරීම් නිසා අපිට අපේ ජීවිකාව ගෙනියන්න බැහැ. මේ කාලයේ මුහුදු කූඩැල්ලන් බහුල වුව ද තවමත් ඒ සඳහා මුහුදු යෑමට අවසර ලබා දී නැති නිසා වෙනත් ධීවරයින් අපි රැකියාව කරන සීමාවේ තිබෙන මුහුදු කූඩැල්ලන් අස්වැන්න නෙලා ගන්නවා. තලෙයිමන්නාරමේ ට්‍රෝලර් යාත්‍රා ඇවිත් ඔක්කොම අල්ලගෙන යනවා. අපේ දැල් ඔක්කොම ඒ එක්ක කඩාගෙන යනවා. එහෙම දවසට අපිට මුකුත් නෑ. අපි හිස් අතින් ගෙදර එනවා. දැල් ගන්න ගත්ත බැංකු ණය ගෙවාගන්න බැරිව සමහරු සියදිවි නසාගන්නවා. අපි කාන්තාවන් නිසා මේ හිරිහැර, බාධා කිරීම දිගින් දිගටම සිදු වෙනවා. තනි වුණු කාන්තාවන් හැටියට අපි තනි උත්සහයෙන් ජීවිතය ගෙනියන්න ධීවර රස්සාව කළත් අපිට ඒකවත් කරගෙන ඉන්න අවස්ථාවක් නැහැ.”

[අබ්දුල් ගෆූර් නජීබා] ''මම 2001 ඉඳන් කාති උසාවියට යනවා. ගෑනු කෙනෙක්ගේ කතාව අහන්න එතැන ගැහැනියක් නැහැ. අපේ ප්‍රශ්න අපිට විවෘතව එතැන කතා කරන්න බැහැ. පිරිමින්ට කියන්න බැරි දේවල් කියන්න කෙනෙක් නැහැ. ගැහැනුන්ගේ කතා කාති උසාවියේ දී කියන්න ගිහින් ගැහැණු ගොඩක් ලැජ්ජාවට පත් වෙලා තියෙනවා. කාති උසාවියේ දී කාතිවරයා අසභ්‍ය වචනෙන් මට බැනලා තියෙනවා. අඩුම ගාණේ අපි කවුද කියල වත් අහන්නෙ නැහැ. අපි හැමෝටම ආත්ම ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. කාති උසාවියෙන් මට කිසිම සාධාරණයක් ඉටු නොවුණු නිසා මම දැන් කාති උසාවි යන්නෙ නැහැ. පොලිසියත් පිරිමින්ගේ පැත්ත තමයි ගන්නේ. පොලිසියට ගියත් සල්ලි තියෙනවා නම් තමයි වැඩක් කරලා දෙන්නේ. ගැහැනියක් නිසා පොලිසියට ගියාම පහත් විදියට සලකන්නේ. අවුරුදු 5කට කලින් මම පැමිණිල්ලක් දාන්න මම ගියාම අයුතු විදියට කතා කළා පොලිස් නිලධාරීන්. මම කිව්වා ගැහැණු කියන්නේ සෙල්ලම් බඩු නෙමේ, අපිටත් ආත්ම ගරුත්වයක් තියෙනවා, ඒ නිසා මට ඒ විදියට කතා කරන්න එපා, ඔයා පොලිසියේ නිසානේ ඔහොම කතා කරන්නේ කියලා. ඉන් පස්සේ කවදාවත් කිසිම ප්‍රශ්නෙකට මම පොලිසියට යන්නෙ නැහැ. මම ජීවත් වෙන සමාජයෙන් කිසිම උපකාරයක් නැති නිසා මම ප්‍රදේශයේ කාන්තා සමිතියකට බැඳුණා. කාන්තා සමිතියට බැඳුනට පස්සේ සහයක් ලැබුණා. මම ජීවත් වෙන්නේ ළමයි නිසා. ළමයින්ව ජීවත් කරවන්නයි හැමදේම කරන්නේ. මට නම් මේ ලෝකේ එපා වෙලා ගොඩක් කල්. පිරිමියෙක් නැතුව තනිව ජීවත් වෙන ගැහැණු නිසා අත්විඳින්න තියෙන හැම අසාධාරණයක්ම අපි අත් විඳිනවා.”

[අන්තෝනිඅම්මා] “පොලිසියට ගියාම කෙලින්ම අපේ ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න බැහැ. නිලධාරීන් සිංහල කතා කරන පුද්ගලයින් නිසා භාෂා පරිවර්තකයෙක් හරහා අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. භාෂා පරිවර්තකයා මොනවා කියනවද, සිංහලෙන් මොනවා සටහන් කරගන්නවද කියලා අපි දන්නෙ නැහැ. එක වචනයක් හරි වැරදුණොත් අපි කියන දේට හාත්පසින්ම වෙනස් දෙයක් කියවෙන්න පුලුවන් නේද? විමර්ෂණයක් කරනකොට අදාළ භාෂාවෙන් නොවෙන නිසා අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මන්නාරමේ ප්‍රධාන රැකියාව ධීවර වෘත්තිය. පුරුෂයින් ධීවර රැකියාවේ නිරත වෙනවා. කාන්තාවන් ගෘහනියන්. කාන්තාවන් නිවාස හදාගන්න ආදි දේවලට එක එක ආයතනවලින් ආධාර ගන්න පෙළඹිලා තියෙනවා. ඒ ආයතනත් ණය ලබා දෙන්නේ කාන්තාවන් ඉලක්ක කරගෙන යි. වෙනත් එක එක පුද්ගලයින්ගෙන් වැඩි පොලියට මුදල් ගන්නවා. රත්තරං බඩු උගස් කරලා සල්ලි ගන්නවා. ණය ප්‍රශ්නය මන්නාරමේ කාන්තාවන් මුහුණ දෙන විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා. මේ ප්‍රශ්නය විසඳන්න කියලා අපි ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ගෝෂණ පවා කළා. නමුත් අපි කාන්තාවන් නිසා අපේ ගැටලු ගණන් ගන්නෙ නැහැ. මන්නාරම් ප්‍රදේශයේ කාන්තාවන්ට නිරත වෙන්න කෘෂිකර්මාන්තය, අත්කම් කර්මාන්තය හෝ වෙනත් කර්මාන්ත වගේ කිසිම රැකියා අවස්ථාවක් නැහැ. පුරුෂයින් තමයි පවුල්වල හම්බ කරන්නේ. කාන්තාවන්ට ආර්ථික හයියක් නැති නිසා කාන්තාව ඉන්න ඕනේ ස්වාමි පුරුෂයාට යටත් වෙලා. නොවෙනතාක් කාන්තාවන් වීම නිසා මුහුණ දෙන්න වෙන කොන් කිරීම්, අසාධාරණයන් අවසන් වෙන්නෙ නැහැ.“

[ඩිලානි කෲස්] “මම නගර සභාවේ සාමාජිකාවක්. අපේ නගර සභාවේ සාමාජිකයින් 16 දෙනාගෙන් කාන්තාවන් ඉන්නේ තුන් දෙනයි. දෙමළ කතා කරන කාන්තාවක් විදියට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙලා ඉන්න නිසා සමාජයෙන් වෙනස්කම් කරනවා. දේශපාලන පක්ෂයකට තියෙන අකැමැත්ත මත නෙමේ එහෙම කරන්නේ. ගැහැනියක් වීම නිසයි. ගැහැණු අපි නගර සභාවට පත් වීම ගැන අපිව මානසික පීඩාවට පත් වෙන විදියට, වෛරී සහගත දේවල් කියනවා. උඹ ගෑනියෙක් නේ උඹට මොනවද කරන්න පුලුවන් කියල අහලා තියෙනවා. දේශපාලනයේ නිරත වෙලා ඉන්න සමහර පිරිමින් අපේ චරිතය ගැන නොයෙක් නොයෙක් කතා නිර්මාණය කරලා පතුරවනවා. ඒ දේවල්වලට එදිනෙදා මුහුණ දෙමින් වැඩ කරන්න වෙන එක ලොකු පීඩනයක්. ගැහැනියක් ගැන ඒ වගෙ නරක කතා කිව්වම ගැහැනු බය වෙලා ඉඳිවි කියලා ඔවුන් හිතනවා ඇති. ගැහැනුන්ට දේශපාලනික වශයෙන් ඉදිරියට යන්න දෙන්නෙ නැතුව ගෙදරට කොටු කරලා තියාගන්නයි කැමති. අවුරුදු හතරකට නේ අපි පත් වෙලා ඉන්නේ. දේශපාලනිකව පත් වෙලත් මෙහෙම සලකනව නම් මේ කාලේ ඉවර වුණාට පස්සේ සමාජ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බැරි වෙයි. අපේ රටේ ජනගණයෙන් වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ ගැහැනු. අපි වැඩ කරන්න උත්සහා කරන්නේ ඔවුන් වෙනුවෙන්. අපි කතා කරන්නේ ළමා හා කාන්තා ගැටලු ගැන කියල දැනගෙනම සමහර කාන්තාවන් අපිට එරෙහිව කතා කරනවා. කාන්තාවන්ම කාන්තාවන්ට එරෙහිව වෙලා පුරුෂාධිපත්‍ය වෙනුවෙන් වැඩ කරනවා. ගැහැණුන්ට ඇති වන ප්‍රශ්න ගැහැණු තමයි ඉදිරියට ගේන්න ඕනේ. ගැහැණුන්ට පුලුවන් කියලා ගැහැනුන්ව සවිබල ගන්වන්න ඕනේ. ගැහැනියකට දේශපාලන නායකත්වය දෙන්නම ඕනේ කියන තැනට සමාජය ගේන්න ඕනේ. අපි අද සටන් කරන එක කවද හරි දවසක වෙනත් ගැහැනියකට හයියක් වේවි කියල මම හිතනවා.”

[ඇන්ටන් ජෝයි සෙල්වනායගී] “මගේ ස්වාමි පුරුෂයා ආබාධිත පුද්ගලයෙක්. ඇවිදින්න බැහැ. රෝද පුටුවක තමයි ඉන්නේ. එයාව එහෙ මෙහෙ ගෙනියන්න හැමදාම ත්‍රීවීල් රථ තියෙන අයගෙන් උදව් ගන්න සිද්ධ වුණා. ඒ උදව්වට එන පිරිමි වෙනත් දේවල් මගෙන් බලාපොරොත්තු වෙලා අපිට උදව් කළා කියලා තේරුණාට පස්සේ මම හිතුවා මටත් මේක කරන්න පුලුවන් වුණා නම් කාගෙන්වත් උදව් ගන්න ඕනෙ නැහැ නේද කියලා. මම ත්‍රීවීල් රථ පදින්න පුරුදු වුණා. ත්‍රීවීල් එකට මහත්තයව නග්ගගන්නවත් මම කිසි කෙනෙක්ගේ උදව් ගන්නෙ නැහැ. හැමෝම හිතනවා මම ගැහැනියක් නිසා මට එයාව උස්සන්න බැහැ කියලා. ඒත් මම තනියම එයාව උස්සලා ත්‍රීවීල් එකට නග්ගනවා. හදිසියේ ත්‍රීවීල් එක කැඩුණොත් හදාගන්නෙ කොහොමද කියලත් මම ටික ටික ඉගෙන ගත්තා. මම වතුර මෝටර් පිළිසකර කරනවා, විදුලි කාර්මික වැඩ කරනවා, මේසන් වැඩත් කරනවා. ත්‍රීවීල් එක පදින්නෙ නැති වෙලාවට මම ඇඳුම් මහනවා විකුණන්න. සමහර ආයතනවලින් උදව් කරන්න ආවා නමුත් අපි කිව්වා අපිට මොකක් හරි කරගන්න පුලුවන්, අපිට වඩා අසරණ මුකුත්ම කරගන්න බැරි අයට ඒ ආධාර දෙන්න කියලා. මන්නාරම ප්‍රදේශයේම ත්‍රීවීල් පදින එකම කාන්තාව මම. මම ත්‍රීවීල් එලවන එකට ත්‍රීවීල් එලවන පිරිමි අය මට අපහාස උපහාස කරනවා. එහෙම කෙනෙක් මම ගැහැනියක් නිසා මාව කොන් කරලා කතා කළාම මම කියනවා මට ත්‍රීවීල් එලවන්න පුලුවන්, ඔයාගේ බිරිඳටත් වාහන එලවන්න පුරුදු කරන්න කියලා. මගේ මහත්තයා මට ගොඩක් සහය දෙනවා. ඔහු නිතරම කියනවා මම ශක්තිමත් ගැහැනියක් කියලා. සමාජයෙන් මං ගැන කියන නරක කතා ඔහු ගණන් ගන්නේ නැහැ. අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු 20ක්. මම සල්ලි එකතු කරලා පිරිමි විතරක් පදිනවා කියලා හැමෝම හිතන ලොකු මෝටර් බයිසිකලයක් ගත්තා. මම ලොකු බයිසිකලයක් පදිනවා කියලා මගේ මහත්තයාගේ සහෝදරයෝ එයා එක්ක කතා කරන්නෙ නැහැ. රථ වාහන පොලිසිය දවසක් මගේ බයිසිකලය පස්සෙන් එලවගෙන ඇවිත් මට කිව්වා ඔයා ගැහැනියක් නිසා මේ වගේ ලොකු බයිසිකල් පදින්න එපා කියලා. ගැහැනුන්ට ඒක ගැලපෙන්නෙ නැහැ කිව්වා. ස්කූටර් බයිසිකලයක් පදින්න කිව්ව. මම කිව්වා ඔයාට ඕනෙ නම් ඔයාගේ බිරිඳට ස්කූටි එකක් අරන් දෙන්න කියලා. මම මහන්සි වෙලා හම්බ කරපු සල්ලිවලින් ගත්ත බයිසිකලේ පදින්න මට අයිතිය තියෙනවා, ඔයා කොහොමද මට එපා කියන්නේ කියලා මම ඇහුවා. පස්සේ මම පොලිසියට ගිහින් ඒ ගැන පැමිණිලි කළා. මෙහෙ ඉන්න ගොඩක් ගැහැණු අය මාව ගොඩක් අගය කරනවා. අක්කා ඔයා වගේ මටත් වෙන්න ඕනේ කියනවා. සමහර පිරිමි අය මාව පහු කරන් යනකොට නියමයි කියල කියලා අගය කරලා තියෙනවා.”

Photo and Story By Sanjula Pieterz | @2021

Credits:

Sanjula Pieterz

NextPrevious

Anchor link copied.

Report Abuse

If you feel that the content of this page violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.