Loading

නුවරින් මෙපිටට නෑසුණු කතා “එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ " |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)

"මේ මගේ දුවයි ,මමයි හැමදාම කැටයේ එකතු කරපු සල්ලි. කැබිනට් එකේ තියල තිබ්බේ. සල්ලි කොළ එකක්වත් දැන් නම් හොයාගන්න නෑ.
මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික"

ඔහු තම දෑතින් කාසි එකින් එක අතගා බැලුවේ හිතේ සුසුම් හිරකරගෙනය

පිච්චී ගිය කාසි එකින් එක ඒ මත ගැටෙන විට මට ඇසුනේ ඔහුගේ හදවතේ හඬය . එය මහා බරක් බව මට දැනුණි . ඒවා මේ ඔබට පෙනෙන රුපියලක, දෙකක කාසියකට වඩා බොහෝ වැඩිය.

"අපි සිංහල මිනිස්සු එක්ක තරහා නෑ" ඒ ඔහු මා හා පැවසු අවසන් වචනය ටිකය.

දැන් කාටවත් මතක නැත. ඒ අමතක වීම ස්වභාවය කොට ගත් රටක හැටිය. මාස දෙකකුත් නම් මතක තබා ගැනීමට හොදටෝම වැඩි කාලයක් ය. මේ කියන්නට යන්නේ කාටත් නොඇසුණු කතාය. සැඟව ගිය ආත්මීය කතන්දරය. ඒවා හැමදාටම වලංගු වනවා පමණක් නොව සුව කළ නොහැකි සියුම් රිදුම් ඒවායේ ගැබ්ව තිබෙනු ඇත. මේ නුවරින් හරියටම අදට මාස දෙකකට පෙර ඇසී, නොඇසී ගිය, පෙනී නොපෙනී ගිය ජිවිත වලට කරන හරා බැලීමකි.

ඔබ මගෙන් ප්‍රශ්න කරාවී ඇයි මාස දෙකකට පස්සේ ලියන්නේ, ආයේ කුණු ගොඩක් අවුස්සන්නද ? එහෙත් ඔබට ඕනෑම මොහොතේ මා නොලිවිමට තීරණය කොට මේ මා මුණගැසුණු මිනිසුන්ට, ඔවුන්ට ඕනෑම මොහොතේ මේ ජායාරූප ඔබ වෙත ගෙන ඒමට මා තිරණය කළේම ඒ නිසාය. දැන් උණුසුම නැත , රස්නය නැත , මාධ්‍ය යන්නේ නැත , වාර්තා නැත. කොටින්ම ඉහත කිවාක් මෙන් කාටත් මතක නැත. අලුත්ගමට වුයේද , ගින්තොටට වුයේද , අම්පාරට වුයේද ඒ ටිකමය. එනම් වහා අමතක වීමය.

මුසල්මානුවා වහා තලා පෙලා ගිනි ගසා අළු දුලි කිරීමේ රෝග ලක්ෂණ වලින් මුලික වශයෙන් පෙලෙන , නිට්ටාවට තවමත් සුව කිරීමේ ක්‍රමයක් සොයා ගෙන නැති හදිසි රෝගාබාධයක් එක් වරම ජාතිඅනුරාගයෙන් පෙලෙනවා යයි කියන "සිහල බෞද්ධ" යැයි කියන පිරිසකට වැලදී ගියේ අදින් මාස 2 කට උඩදීය. ඒ අනුව වාහකයන් විසින් බෝ කරන ලදුව වහා පැතිර ගිය වසංගතය නතර වුයේ ජීවිත හා දේපල හානීයට පත්කරමින්ම පමණක් නොව 2018 කළු මාර්තුවක් කරමින් ඉතිහාසයට තවත් කනගාටුදායක පරිච්ජේදයක් ද එක් කරමිනි.

ඒ අනුව මෙහි මුලික වශයෙන් ලියවෙන්නේ කුණ්ඩසාලේ, පල්ලේකැලේ ජනසවිගම සිංහල ජනපදය මැද පිහිටි එකම මුස්ලිම් පවුල් කීපය වෙත 24 පැය ජංගම මුර පොලිස් සේවයද ක්‍රියාත්මක වන මොහොතකදී මාර්තු මස 7 වන දින ජාතිවාදී මැර කල්ලි විසින් රාත්‍රී ප්‍රහාර එල්ල කිරිමෙන් පසු සටහන්ය. එනම් එයින් හානියට පත් පවුල් 4 ක ගැහැනුන්, මිනිසුන්, දරුවන් විසින් මා හා කියූ කතන්දරය. ඇතැම් විට ඔවුනට දැනුනු හැඟීම්ය . ඒවාට නමක් තිබේ දැයි ඇතැම් විට මම තවමත් කල්පනා කරමි. ඒවා ලිවිය යුතු පිළිවෙළක් වෙද්දැයි මම නොදනිමි. පිළිවෙලකට සිදු වූ සිදුවීම් විසින් මේ මිනිසුන්ගේ ජිවිත අපිළිවෙල කොට ඇති බව පමණක් මම දනිමි. මේ අපිළිවෙල වී ගිය ඒ ජිවිත කතාය .

අවුරුදු 21 ක් තිස්සේ අපි ඉන්නේ මෙහේ . 1997 දී 50 නිදහස් සංවත්සරයට චාර්ල්ස් කුමරයා නුවරට එනවා කියලා නගර අලංකරණ කටයුතු වෙනුවෙන් කියලා නාගරික සංවර්ධන අධිකාරීය මහනුවර බෝගම්බර පදිංචි වෙලා හිටපු අපේ පවුල් 6 ක් ස්ථීර නිවාස ලබාදෙනවා කියලා තාවකාලිකව ප්‍රේමදාස මහත්තයාගේ පල්ලේකැලේ, ගම්උදාවේ මේ ගබඩා කාමරය අපිට දුන්න. එදා ඉදන් අපි මෙතන තමයි ඉන්නේ .

මඩවල ප්‍රදේශයේ කඩයක එදිනෙදා වියදමට මුදල් උපයමින් ජිවත් වන මේ ගෙවල් පේලියේම ඇති පළමු නිවසේ හිමිකරු මොහුය . ඔහුගේ දිනක වැටුප රු.700 ක් බව ඔහුගේ බිරිඳ මා හා කළ කතාබහකදී කියා සිටියාය. ගින්නෙන් වැඩිම හානියක් වී තිබුණේ ඔහුගේ නිවසටය. ඉස්තෝප්පුවක් සහ කුඩා ඉඩකින් සමන්විතව තිබු මේ නිවාස වලට පසුකාලිනව පදිංචි කරුවන් විසින් කුස්සි, කාමර ආදීය එකතු කොට ගිනි බත් වීමට පෙර පැවති තත්වයට පත් කොට තිබේ.

මන් ගෙදර ඉන්න ගමන් පොඩි පොඩි ඇඳුම් මැහුවා. එකෙන් තමයි මන් අපේ පොඩි වුවමනාවලට වියදම් හොයාගත්තේ. මේ කාබරේ මගේ මැෂින් එක තිබ්බේ. අර බලන්නකෝ පිචිචිලා ගිහින් තියෙන විදිය. සාලේ මැද තමයි අපි එනකොට මැෂිම තිබ්බේ. කොහොම එහෙම උනාද අපි දන්නේ නෑ. මන් දැන් කොහොමද ආයේ ඇඳුම් මහන්නේ ? මට මැෂිමක් ආයේ ගන්න පුළුවන් කමක් නෑ.

එසේ කිව්වේ මේ ජායාරූයේ සිටින ඇය යි.

එසේ කියූ ඇය මා දෙස බලගත්වන් ම බලා සිටියා ය. මා කුමක් කිව යුතු දැයි නොදැන සිටියෙමි.කෙසේවෙතත් ඈ නොකී කතා බොහොමයක් ඇගේ දෑස් මත ඇදෙමින් තිබුණි.

මගේ දුව මුළු ගේ පුරාම ලස්සනට මෙහෙන්දි රටා ඇඳලා තිබ්බේ , ඔය හැමතැනම තියෙන්නේ ඒවා. එයා ලැජ්ජයි . තව ලස්සන ට හැමතැනම එක එක දේවල් හදලා තියලා තිබ්බ එයා

මගේ කැමරාව තුල සටහන් වූ ජායාරූප වලිනුත් ඔබ දක්කින්නේ තවත් අල්පයකි. එහෙත් ඒ දැවී අළු වී ගිය නිවස පුරා එහි සලකුණු සටහන් ව තිබුණි.

ඒ අතර ගිනි තැබීම සිදු කළ මොහොතේ අක්‍රිය වී ගිය ඔරලෝසුව ද බිත්තිය මත විය .එහි අවසන් වරට සටහන් ව තිබුනේ 8.15 යන්නය.

ඒ අතර දින කීපයකට පසු නැවත මා ඔවුන්ගේ අසල්වාසී නිවැසියන්ට දුරකතනයෙන් කතා කර සැප දුක් විමසන අවස්ථාවේ ඔවුන් මා හා කියා සිටියේ හද කම්පා කරවන තොරතුරකි. එනම් මා සමඟ කතා කළ ඇය දින කීපයකට පසු යම් මානසික අසහනකාරී තත්වයකින් පෙලීම නිසා රෝහල් ගත කිරීමට සිදුවී තිබෙන බවය.

මා සමඟ තම පිච්චි ගිය කැටයේ තිබු කාසි ගැන සඳහන් කළ ඔහුගේ සැමියා ද හෘද සැත්කමට භාජනය වී සිටින රෝගියකු හෙයින් ඔහුද දැඩි මනාසික පිඩනයකට ලක්වී සිටින බව ඔවුන් මා වෙත කියන ලදී.කෙසේවෙතත් රාත්‍රී කාලයේ නිදී නොලැබීමත්, තම පරම්පරාවෙන් තමන් වෙත තම මවගෙන් උරුම ව තිබු යම් ආභරණ වගයක් ගින්නෙන් මුළුමනින්ම පිලිස්සී අළු වී යාම පිලිබඳත් ඇය දැඩි කනස්සලකින් පසු වුණු බව මට එහිදී දැනගන්නට ලැබිණි. ඒ අනුව තම නිවැසියන් හා කලහාකාරී හැසිරීමක් පෙන්වීමත් නිරන්තරයෙන් තනිවම කතා කරන බවත් නිරීක්ෂණය කරන ලදුව ඇයව රෝහල් ගත කොට තිබේ.

ඒ මොහොතේම මට මතක් වුයේ ප්‍රහාර වලින් සුන් බුන්ව ගිය ඔවුන්ගේ නිවසට මා ගිය මොහොතේ මා ප්‍රත්ක්ෂේප කරද්දීම ඈ විසින් පෙරැත්ත කොට මා වෙත ලබා දුන් කිරි කෝප්පයයි. ඔවුන් පත්ව තිබු අසීරුතාවය සියසින් දැකත් තවත් කරදර කරනු වැළකීම පිණිස මම එසේ කළත් මා තේ කෝප්පය බීම ඇගේ සියුම් සතුටට හේතුවන බව මම දැන ගතිමී. මා කිසි දින කතා කොට හෝ දැක නැති ජාතියෙන් මුස්ලිම් වූ ඇය ජාතියෙන් සිංහල යයි උප්පැන්නයෙන් දුන් මට දැක්වූ මනුෂත්වය හා හිතවත්කම පුදුමය . ඒ වනවිටත් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් මගේ ජාතිය නියෝජනය කළ “සිහළ නාඩි “ වැටෙන ඇතමුන් මහා විනාසක් කොට තිබුණි.

ගේ හරියේ මොකුත් නෑ ,අනේ ආපු එක කොච්චර දෙයක් ද ? සමාවෙන්න මෙච්චර තමයි දෙන්න පුළුවන්, බිස්කට් එකක් වත් නෑනේ. මට කිරි කෝප්පයක් සදා ගෙනවිත් දෙමින් ඈ කීවාය .

මගේ පුරුද්ද නම් කොහේ ගියත් පෙලෙන්ටි උගුරක් ඇඳ දැමීම වුවත් කිරි සඳහා වන මගේ පුරුදු අකමැත්ත පැත්තක තබා මම එය බීව්වෙමි. ඒ මුස්ලිම් ගෙදරක දීය, එහි සිටි එකම සිංහලයා මම වීමි. එහෙත් මට කිසිදු බයක් දැනුනේ නැත. ඒ බය දැනෙන්නට ඔවුන් ඇතුලු මා මුණ ගැසුණු කිසිදු මුසල්මානුවෙක් මට ඉඩ තැබූවේ නැත. මා ගිය බොහෝ නිවාස, කඩ සාප්පු , පල්ලි වෙත මා පිය නැගුවේ තනිවමය. ඒ සිංහලයා විසින් ගිනිබත් කොට , කඩා දබා සුන්නත් දුලි කොට දැමු ස්ථානය. එහෙත් ඔවුන් මා සමඟ අමනාපයෙන් කතා කලේ නැත. මගේ පැමිණීම පිලිබඳ හෝ සිංහල වීම මට එහිදී ප්‍රශ්නයක් වුයේ නැත. එහෙත් ඒ රටේම ඔවුන්ට මුස්‌ලිම වීම ප්‍රශ්නයක් වී තිබේ.

මේ එක හුදකළා සිද්ධියක් පමණක්මද ? නැත. මෙවන් කතා බොහෝ ගණනක් මා මුණ ගැසුණු මගේම මුස්ලිම් සහෝදරින් කියා තිබේ. සහෝදරියන් පමණක්මද? නැත . එක් තැනක තම දියණිය දැන් අඳුර වැටිගෙන එනවිට සෑම විට තමන් සොයා පැමිණ සැඟවෙන බවත්, මුණ වහගත්ත ගෝනි බිල්ලන් අදත් ඒවි දැයි තමන්ගෙන් අසන බවත් එම මව මා සමඟ කීවාය. ඇය දැන් කිසිවෙක් ඉදිරියට යන්නට බිය බවද මා සමඟ කීවාය .

“ අපි ගෙදර කුස්සියෙන් වත්තට පැනලා කලුවරේම කැලේ ඇතුළට දුවගෙන ගිය. වෙන මොනා කරන්නද ? ජීවිතේ බේරගන්ඩ එපැයි,මගේ චුටි බබාට මාස 2යි. උස්සගෙන පුළුවන් තරම් දිව්වා.

කෙන්ගල්ල පන්සල් පාරේ ගල් ප්‍රහාර එල්ල වී තිබු තවත් එක නිවෙසක පියෙක් මට මුණ ගැසුණි. සාපේක්ෂව ඔහුගේ නිවසට සිදු වී තිබුණේ සුළු හානියක යැයි කිව හැකිය. එහෙත් ඔහුගේ මනස හා සිත දැඩි ලෙස හානි වී තිබුණා පමණක් නොව එය බරපතල ඛේදවාචකයක් නොවේදැයි අද මට සිතේ.

ඔහුගේ වෙවුලුම් කටහඬ මගේ මනසේ නැවත නැවත ඇඳේ. කතා කරන අතර ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා ආ අතර ඔහු කිව්වේ එකම එක දෙයකි.

“දුව මන් කාටවත් වරදක් කරලා නෑ මෙහේ. මෙහෙම බයේ ජිවත් වෙලා වැඩක් තියෙනවද ? මෙහෙම බයවෙලා ජිවත් වෙන්නේ මොකටද ? “ එය බැරෑරුම් ප්‍රකාශයකි.

බයේ ජිවත් වීම යනු කුමක්ද යන්න නැවත නැවතත් පාඩම් නූඋගත් මේ රටේ ජනතාවටවත් , මෙරටේ නායකයින්ටත් කිව යුතු යයි මම නොසිතමි. එහෙත් එයට ඉඩ දී පාලකයන් බලා සිටීම රටේම අවාසනාවකි. අපේම එක මුසල්මානු සහෝදරයෙක්, සිංහල යැයි කියන අප නිසා බයෙන් ජිවත් වීම සිංහල වන අපට ආතල් එකක් වන්නේ කොහොමද යයි මට නම් කිසි විට නොවැටහේ. අනෙක් අතට අපේම දෙමළ සොහොයුරෙක් අතුරුදහන් වී සිටීම ගැන කතා කරද්දී "අනේ ඕකුන්ට හොඳ වැඩේ" යනුවෙන් වචන උච්චාරණය වන්නේද කෙසේ දැයි මට නොත්රේ.

ඇතැම් විට කෙනෙකුගේ තර්කයට මේවා වැඩකට නැති කාරණා වුවත් , සියුම් ලෙස අප කල්පනා කළ යුතු දීර්ඝ කාලින ගැටලු බවට මේවා පත් වේ.අඩුම වශයෙන් රජය විසින් මේ අවධානමට ලක්ව ඇති මෙම ජාතිවාදී පහර දීම් වලින් හානියට පත් ජනයාගේ මානසික තත්වය පිලිබඳ වන දීර්ඝ කාලින සැලසුමකට මාස 2 ක් ඉක්මව ගොස් හෝ වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබේද ? නැත. ඇතැම් ස්වේච්ජා සංවිධාන විසින් මේ සම්බන්ධ කුඩා වැඩපිළිවෙලවල් තැනින් තැන ක්‍රියාත්මක කළද විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාවය තවමත් තිබේ. එතන ඇත්තේ හිඩැසකි. මේ මානසික රිදුම් වල අවසන් ප්‍රථිපලය කුමක් විය හැකිද ?

.

මන් හර්නියා ඔපරේෂන් කරලා සති 2යි , මං විතරයි ගෙදර හිටියේ මං පැන්නනේ ,නැත්තම් මාවත් එක්ක පුච්චලා දායි කියල බයේ පැන්න වහලෙන්. මට පොඩ්ඩක් අමාරු වුණා පස්සේ . මට කලන්තේ වගේ
මේ පුතාලාගේ ටීවී,ඩේක්, කොම්පුටර් ,ලැට් ටොප් ඔක්කොම ඔතන තමයි තිබ්බේ. දැන් නෑ මුකුත් .ඒ ඉසදීන් පවුලේ පියාය .
මේ අපේ මාමගේ මෙඩුලූ යි, පොතුයි ,

කොහේදෝ සිට පැන ගෙන පැමිණි පවුලේ මුනුපුරෝ මගේ කැමරාව ඉදිරිපස සිටගත්හ. මේ ඔවුන්ගේ මාමා නම් මා සමග බොහෝ දෙනාට වඩා වෙනසක් අදහසක් බෙදා ගත් තරුණයෙකි. වයස අවු. 21 වන ඔහු නමින් අයි. එම්. නයීම් ය. මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා ඇති ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත්තේ කුණ්ඩසාලේ විවේකානන්ද දෙමළ විද්‍යාලයෙනි.

“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ .මේ සුළු පිරිසක් තමා ජාතිභේදය පටන් අරන් තියෙන්නේ. ඒ මෝඩ පිරිස. ඔක්කොගෙම ඉන්න මේ 10 පිරිස තමා , සිංහල උනත් , මුස්ලිම් උනත් දෙමල උනත් , බර්ගර් උනත් ඒ අය තමා මේක කරන්නේ, අන්තිමට මට වෙලා තියෙන්නේ ඔක්කොම නැතිවෙලා තියෙන එක. හැමෝම කතා කරන්නේ මගේ ගෙවල් නැති උනා, බඩු නැති වුණා කියල, එත් මට කියන්ඩ තියෙන්නේ වෙනම කතාවක්.
මං දැනට Account Assistanat කෙනෙක් විදියට රස්සාවක් කරගෙන යනවා. මගේ Educational Certificates , O/L, A/L ඔක්කොම පිච්චිලා. ඒවානම් ආයේ ගිහින් ගන්න හරි පුළුවන් . ඒත් මන් කරපු IT,AAT,ACC course certificate ඔක්කොම නැතිවෙලා. ගන්ඩ කිසිම දෙයක් නෑ. මං middle class family එක විදියට අපේ පවුල දිහා බලලා කියන්නේ අපේ පවුලේ A/L සමත් කරපු එකම ළමයා විදියට මන් විතරයි ඉන්නේ .අපේ තාත්තා කරන්නේ මාකට් එකේ කොස් විකුණන එක.
අපි ඉතින් මේ course කරන්ඩ ලක්ෂ ගාණක් වියදම් කරන්නේ පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතු කරලා, තාත්තා කරලා, අයියා කරලා, අයියලා රට ඉදලා පොඩි පොඩි ගාන එකතු කරලා. මට plan තිබ්බේ degree එකක් complete කරන්න. දැන් ඔක්කොම ඉවරයි. මං educated ද uneducated ද කියලා මං කොහොමද මේ රස්සාවෙන් වෙන එකකට යනවනම් ආයේ පෙන්නන්නේ, ඒ ඔක්කොම පිච්චිලා .
අපේ මල්ලි මේ සැරේ A/L ලියන්න ඉන්නේ, එයාගේ එක පොතක් වත් ගන්න දෙයක් නෑ. එයාට කට්ටිය උදව් කරයි, නොට් ගෙනත් දෙයි. ඒත් එයා දැන්ම එක අත ඇරලා. එයාට හිත කැඩිලා. එයා රස්සාවක් කරනවලු. ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ ආයේ කුලී වැඩට තමා යන්න වෙන්නේ”

ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන ඉසදීන් ෆාතිමා නදීරා තම දෙවැනි දරුවාගේ ප්‍රස්තුතියට සුදානම් වෙමින් සිටි අතර ඇයගේ කතාවයි මේ.

"මේ ත්තාත මටම කියලා වෙන්ම කරලා දුන්න කාමරේ. බාබා හම්බුවෙන්න ඉන්නේ බඩුත් ඔක්කොම ගත්තා.හදිස්සිය නිසා මගේ බර්ත් සෙටිපිකට් එකයි , කිලිනික් කාඩ් එකයි විතරයි අරන් ගියේ මම . මගේ බෙහෙත් ඉදන් ඔක්කොම අලුවෙලා එනකොට.ළමයගේ පොත බෑග් ඔක්කොම අලුවෙලා ගිහින්. එයාව ඉස්කෝලේ යවන්ඩත් විදියක් නැතුව තමා ඉන්නේ. ඇඳුමේ ඉදන් අද අදින්ඩ ඇදුමේ මාරු කරගෙන ආයේ තව අදින්න ඇදුමකුත් නැති තරම් "

තව බොහෝ කතා ඈ මට කීවාය . කෙන්ගල්ල, බලගොල්ල,දිගන තෙල්දෙණිය , අඹතැන්න මේ ආදී මා මුණ ගැසුණු බොහෝ දෙනෙකු මා හා බොහෝ දෙ කීහ. ඒවා ලියන්නට දහසක් පිටු ලිවාත් නොහැකිය. එහෙත් දැන් මේ කතා දහසකුත් ඇත්තේ කාලයා තුළම සැඟවී ය . ඒවා නුවරින් මෙපිටට නෑසුණු ඒවා යයි මම ඔබට කියමි. ඒවාට සියයට සීයක පිළියම් දිය නොහැකි බව මම දනිමි. එහෙත් ඒවායේ මුල් වලට අර දුන් , තුඩු දුන් , ඒවා පැතිර බෝ කර හැරි ප්‍රධාන වාහකයන්ට රාජ්‍ය දක්වමින් සිටින අනුග්‍රහය නම් අප්‍රසන්නය. ඒ නයින්ම අවබෝධ කොට ගත හැක්කේ මේ කිසිවක් රාජ්‍යට වැදගත් නොමැති බව නොවේද?

අනෙක් අතට මේ ජනයාගේ නිවාස පෙළ ඉදිරිපිට පේන දුරින් මීටර්මේ 100ක වත් නොවන දුරින් මේ පෙනෙන්නේ මධ්‍යම පළාත් මහා අමාත්‍යවරයා වන සරත් ඒකනායකගේ පෞද්ගලික නිවසය. ආරක්ෂක කැමරා හා ආරක්ෂකයන් මේ නිවස අසළ සිටිති. එහෙත් අඩුම තරමේ මේ සිදුවීම සිදුවීමෙන් පසු හෝ මේ ජනයා බලන්නට හෝ අඩුම වශයෙන් තමන් සමඟ වචනයක් හෝ කතා කරන්නට ඔහු නිකමට වත් නොපැමිණි බව මේ සියල්ලෝම මා සමඟ දැඩි සිත් වේදනාවෙන් පැවසුහ.

ඒ සියල්ල පසෙක හැර මහනුවර සිට කෙලින්ම දිගනට තම කළු විදුරු වාහනයේ ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඒ පැත්ත පළාතේ නිකමට වත් නොගොස් මල්වත්ත හා අස්ගිරිය පමණක් ඇසුරු කර පැමිණි අතිගරු මෙත්පාල ජනපති තුමාටත් අද වනවිට මේ කිසිවක් වැඩකට ඇත්තදැයි නොදනිමි . ජාතිවාදී ගිනි ඇවිලූ මහා ලොකු වීරයන්ගේ හපන්කම් වලට සමස්ත ජනතාවගේම බදු මුදලින් යම් වන්දියක් නියම කොට මේ මිනිසුන් වෙත බෙදා හැරීමෙන් 'චැප්ටර් ක්ලොස්' ය.

එහෙත් එය එසේද ?

එහෙත් අපට නම් පෙනෙන්නේ මේ රජය නයි රෙද්ද අස්සේ දාගෙන නලවලින් , කවමින්, පොවමින්, ඇති දැඩි කරමින් ලොවට පෙනෙන්නට කනෝ කනෝ කියමින් කරන රංගනයක් පමණි. නැත්නම් යහපාලන රජයක් මැර චීවර ධාරීන්, 'හම්බයන්ට කෙළවනවා ' යයි ප්‍රසිද්ධියේ ම කියන ගල් ගොඩවල් අවිහිංසා වාදය හා සමානාත්මතාවය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ තෙමගුල් දින සමරන රාජ්‍ය වෙසක් උත්සවයට හිටි හැටියේ පාධුර්භූත වන්නේ නැත. අනෙක් වා ගැන කතා කිරීම තවදුරත් අවශ්‍ය නොවේ. මේ කතන්දර නැවත නැවත ලිවීමට අපට සිදු නොවිය යුතුය. එහෙත් මේ මාරු වන කැබිනට්ටූ ඔලු වලින් හෝ මහා තැන් දෙකෙන් එය ඉටුවන බවට සේයාවක් නැත.

අවසානයට මෙසේ ලියමි. මා සමඟ මේ ගමන් බිමන් වලදීම මිත්‍ර වී සගයා වූ මගේ මුස්ලිම් ජාතික මිතුරෙක් මට අපුරු කතාවක් කිවේය. ඒ රනිල් වික්‍රමසිංහයෝ දිගන පල්ලියට පැමිණි වෙලාවේ සිදුවුවකි . ඔහුගේ පැමිණීම මගේ මිත්‍රයා විසින් වීඩියෝ ගත කොට තිබු අතර ඔහු දෙස බලා සිටි අගමැතිවරයා ඔහු වෙත කතා කොට අසා ඇත්තේ ඔය චොකලට් කෑල්ලක්ද ? ඔය මොකද කරන්නේ ඕක තියාගෙන යනුවෙනි. ඔහු අත තිබී ඇත්තේ “Gopro” කැමරාවකි.තාක්ෂණික උපකරණ පිලිබඳ නොනිම වරදක් හෝ සිනාවට කරුණක් නොවේ . අනෙක ඒවා සියල්ලන්ටම එක සේ නොවැටහිම අරුමයක් ද නොවේ.

එහෙත් තාක්ෂණය කෙසේවෙතත් රාජ්‍ය පාලනයේදී අප වෙත ඒමට නියමිත හා පැමිණ ඇති අලුත් විපත්තින්ද හදුනා ගැනීමට අපේ පාලකයන්ට ගෝචර නුවණක් තිබිය යුතුය. රාජ්‍ය පාලනයේ පරිණත බව ඇත්තේ එතැනය. හෙල්මට් පැළද , මුණු වසා පැමිණි මැරයන් ගේ ඊලග පැමිණීම නැත්නම් චෝකලට් කෑල්ලක් මෙන් රසවත් වනු නොවනු ඇත. ඒවාට සුදානම් විය යුතුය . එහෙත් ඒ සුදානම මේ රාජ්‍යට තවමත් ඇත්තේ නැත.

අද වන විට නම් යහපාලන හැව පොරවාගෙන සිටින මේ පාලකයන් කිසිවෙකුට හෝ ඒ සඳහා වන මැදිහත් විම කළ යුතු ලාංකික පුරවැසියන්ගෙන් බහුතරයකට හෝ එම අවශ්‍යතාවය තියා ඒ සඳහා වන සත්භාවය වත් නොමැති බව ද මම පෙරළා කියමි . ඒ වෙනුවට පැසවමින් රිදුම් පමණක් සමතැන ඉතිරි වී තිබේ.

මෙහි පළවන සියලුම ජායාරූප ඉෂාරා ධනසේකර විසින් 'විකල්ප' වෙත ගන්නා ලද අතර එහි එන කිසිදු ජායාරූපයක් විකල්ප වෙබ් අඩවියේ පුර්ව අවසරකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.

Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.