Loading

ලේ කිරට අඬන අම්මලා අතුරුදහන් වුවන්ගේ මව්වරුන් විසින් වව්නියාවේ පවත්වාගෙන යන අඛණ්ඩ උපවාසයට 2019 නොවැම්බර් මස 15 වන දිනට දින 1000 ක් පිරුණි.

“පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන කන් ජිවත් වෙනවා. වෙන මොනවා කරන්නද? අපි තව කොච්චර ජිවත් වෙයිද කියලා අපි දන්නේ නෑ. අපේ දරුවෝ ගැන උත්තරයක් විතරයි අපි ඉල්ලන්නේ, සැනසීමේ මැරිලා යන්න”

ඈ මට ඇගේ මිනිපිරිය ද හඳුන්වා දුන්නාය. පුංචි කෙල්ලක වූ ඈ හා මා එකිනෙකාට සුබ පතා ගත්තේ මගේ කැඩුණු දෙමලෙන් හා අගේ කැඩුණු සිංහලෙනි.අම්මා අපි දෙන්නා වෙනුවෙන් එහාට මෙහාට වචන තේරුම් බේරුම් කිරීමේ කාර්යය හොඳහැටි කර දුන්නේ අප දෙදෙනාටම අලුත් වචන ද කියාදෙමිනි.

ඈ හොඳ සිංහලෙන් මා හා කතා කළාය.

“අම්මා කොහොමද ඔච්චර හොඳට සිංහල පුළුවන්” මම ඇගෙන් ඇසුවෙමි.
“මම උපන්නේ කෑගල්ලේ, 83 කලබල වලින් පස්සේ ඉතින් මෙහෙට එන්න උනා, අපේ තාත්තගේ පැත්ත සිංහල නෑයෝ. මගේ පුතාලා දෙන්නම නෑ. එක්කෙනක් අන්තිම කාලේ ෂෙල් එකකට අහු වුණා නැතිවුණා.අපි ජිවිතේ බේරගන්න විඳපු දුක කියන්න ඕනේ නෑ පුතේ. (කඳුළු සඟවා ගනිමින්) අනිත් එක්කෙනා අරන් ගියා ගියාමයි තාම නෑ”

කුඩාරම පුරා තැනින් තැන එල්ලා ඇති පින්තුර අතරේ විශාල බැනරයක ගසා තිබු තරුණ තරුණියන්ගේ පින්තුර රැසක් අතරේ ඔහුගේ රූපය ඈ මට පෙන්විය.

“ පොඩි පුතා ඔය”

සාරි පොට ගෙන ඇහැ අග්ගිස්සේ ඈ ඔබා ගත්තාය. හැමතැනින්ම මට ඇහුණේ වෙව්ලුම්ය. එතැන් සිට ඈ බොහෝ දේවල් මා හා බෙදාගත්තද අද මට ලිවිය හැකිව ඇත්තේ මෙපමණකි.

ඒ අම්මාට මම දෙමළ කියන්නද ? සිංහල කියන්නද?

මා මේ ලියමන ලිවිම දිගින් දිගටම කල් ඇරියෙමි. එලෙස මා කල් යවා ඇති කාලය අදට දවස් 10 කී.මේ අම්මා මට මුණ ගැහුණේ පහුගියදා අවසන් වූ ජනාධිපතිවරණයට (2019) දවසක් තියා, ගෙවී ගිය නොවැම්බර් 15දාය. ඒ අතුරුදහන් වුවන්ගේ මව්වරුන්ගේ විසින් වව්නියාවේ පවත්වාගෙන යන උපවාසයට හරියටම දවස් 1000ක් පිරුණු දවසේදිය. වසර ගණනින් නම් එය වසර තුනකට ආසන්නය. එනම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය වූ වසර 5 වසරකින් අඩකටත් වැඩි කාලයක් ඔවුහු මහා පාරේ උපවාස කොට තිබේ.

ඒ නිසා සංහිදියාව පිළිබඳ ලොරි ටෝක් දමා, පෑල දොරින්ම විශ්‍රාම ගිය සිරිසේන පුරාවෘත්තය ගැන දැන් කොමඩි පොතක් ලියා, බයිස්කෝප් එකක් හැදීම හැර කළ හැකි කිසිම දෙයක් ඉතුරු වී නැත. සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියත්, අභ්‍යන්තර යුක්තිය ඉටුවීමත් මුළුමනින්ම පොළොවට පස්ව ගිය ව්‍යාපෘතීන් පමණක් ව තිබේ.

යුද්ධය නිමා වී වසර 10 කට පසුව වත් අවම වශයෙන් වසර 5 බැගින් බලයේ සිටි ආණ්ඩු දෙකටම මේ මව්වරුන් ඉල්ලමින් සිටින සත්‍ය දැනගැනීමේ අයිතියවත්, යුක්තිය ඉටුවීමට ඇති අයිතියත්, හානි පුරණයේ අයිතියවත්, නැවත සිදු නොවන බවට වන තහවුරු කිරීම වත් කිරීමට නොහැකි වී තිබේ. අවම වශයෙන් ඒ කෙරෙහි වූ අව්‍යාජ අභිලාශයක් වත් ඔවුන්ට තිබුණේ නැත. ඒ වෙනුවට දිගින් දිගටම ප්‍රශ්නය මග හරිමින් කර ඇරිමත්, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් විශාල ව්‍යාජ චිත්‍රණයක් දකුණේ සමාජය තුළ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියත් ජයටම සිදු කෙරුණි. එහි කූට ප්‍රාප්තිය දැන් පැමිණ තිබේ.

52% ක ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති ලෙස අභිනවයෙන් පත් වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑය ඉදිරිපිට තම පළමු ජාතිය ඇමතීම කරමින් ජාතිවාදීන්ට රහ මීයක් කඩා අත හැර , හීන් සීරුවේ අත ලෙව කාගෙන තිබේ.

“මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මෙරට බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයගතව හැකිව තිබු බව මා දැන සිටියත්, මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා මේ ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න කියා.එයට ප්‍රතිචාරය නම් අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නෑ”.

දැන් දෙමළ සහ මුස්ලිම් සමාජය මෙම ප්‍රකාශය කෙසේ කියවා ගත යුතු ද? මගේ එක්තරා ටිව්ටර් පණිවිඩයකට කමෙන්ටුවක් පළ කොට තිබු එක පුද්ගලයෙකු සඳහන් කොට තිබුණේ ජනපති කළ ක්‍රියාව

“ වැරදි වැඩක් කළවිට, ආයතන ප්‍රධානියා ඔබව හුරතල් නොකරන බවත්, ගෙන්වා අවවාද කරන බවත්, එය අවශ්‍ය බවත්” වාගේ ඒකක්ය.

ඒ අනුව දෙමළ ජනතාවට හා මුස්ලිම් ජනතාවට අභිනව ජනාධිපතිවරයා තමන් අපේක්ෂා කළ මට්ටමට, තමන් කෙරෙහි කැමැත්ත පළ නොකළ හෙයින් සියුම් තරවටුවක් කොට හීනයට ඔලුව අතගා ටොක්කක් ඇනීම අප අනුමත කළ යුතු යයි දැඩි මහජන මතයක් ගොඩ නැගෙමින් තිබේ.

රටක මහජන මනාපයෙන් ජනාධිපති ලෙස පත්විය යුත්තේ කවුදැයි තීරණය කිරීමේ අවස්ථාව වෙනුවෙන් කෝටි ගණන් වැය කොට ඡන්ද පවත්වන්නේ රටේ සියලු ජනතාවගේ කැමැත්ත උරගා බලන්නටය. එය අපේක්ෂකයාට අවශ්‍ය පරිදි ලැබෙන්නට ඕනෑ එකක් නම් ඒවා නොවත්වා අපට නිකන් හිටිය හැකිය. ඒ නිසා අපේක්ෂකයින්ට අපේක්ෂිත මට්ටමින් ඡන්දය දීමට පුරවැසියා බැඳී නැති බව කියා සිටිය යුතුය.

දිගින් දිටමට යුද්ධයේ අළු දුලි වලින් අස්ථන්ව ගිය ජිවිත වල යාතාර්ථය නොදැක අපට පැලැස්තර විසදුම් කිව හැකිය, එහෙත් ඒවා පැලැස්තර මිස තුවාල හා වේදනාවන් සනීප කරන දිගු කාලින ඔසු නොවන බව අපි අමතක කරමින්ම සිටිමු . මා දුටු හැම අම්මා කෙනෙකුටම තිබුණේ ඇතුළට ගිලි ගිය ඇස් ය. වයසට වඩා වයස ගිය අතපය හා රැළි වැටුණු මුහුණුය. ඒවායේ වේදනාව නිරායාසයෙන්ම සිතුවම්ව තිබුණි. ඒවායේ ශෝකය එබ්බ වී තිබුණි.

“ලොකුම කොටියා ළගම තියාගෙන,වෙඩි වදින්නේ නැති වාහන දීගෙන, රජ සැපදීලා පාර්ලිමේන්තුවේ තියාගෙන,ඒවාට මොකුත් කියන්නෙත් නෑ කරන්නෙත් නෑ. ඒ වෙනුවට අපේ අහිංසක දරුවන්ට දස වද දීලා අවුරුදු 10,12 වැලිකඩ තියාගෙන ඉන්නවා. එක්නෙනෙක් නිදහස් කරන්නේ නෑ , අනිත් දරුවෝ කොහෙද කියලවත් දන්නේ නෑ,”

වේදනාවේ අන්තය එක විටෙක ඔවුන් පළ කළේ කඳුලෙනි.තවත් විටෙක නිශ්ශබ්දතාවයෙනි. තවත් විටෙක ආවේගයෙනි. තවත් විටෙක උපේක්ෂාවෙනි. එහෙත් ඒ සියලු තැන්හි ඔවුන් දුක බෙදා ගෙන ඇත්තේ දිරා යමින් ඇති ටෙන්ට් රෙද්දකිනි.

අතුරුදහන් වු තැනැත්තන්ගේ කාර්යාලය තවදුරටත් මුනිවත රකිමින් සිටියි. එළිදක්වන ලද අතුරු වාර්තාවත්, වාර්ෂික වාර්තාත් මව්වරුන් චෝදනා කරන ලෙසම තවත් කොළ පිරවිල්ලක අවසානයට, කෙමින් ලඟා වෙමින් තිබේ. මෙවන් වාතාවරණයක් තුළ තවදුරටත් අපට අතුරුදහන් වුවන් වෙනුවෙන් යුක්තිය ඉටු වේ දැයි අපේක්ෂා කළ හැකිදැයි යන්න මා දන්නේ නැත. අනෙක් අතට එයට අභිලාෂයක් වත් වත්මන් ජනාධිපතිවරයාට තිබේද යන්න සාකච්ජා කිරිමම පවා කාලය කා දැමීමකි.

එහෙත් මොනම විදියකින් හෝ මේ අම්මාවරු ජිවත හුස්ම තියෙන තුරු තම සටන නොහරින බව නම් සපත කොට කීහ. ඒ නිසා මේ අම්මාවරුන් මම දුටු ශක්තිවන්තම ගැහැනුන් බව මම බය නැතුවම සටහන් කර තබමි. සත්‍ය දැනගැනීම වෙනුවෙන් මේ අම්මාරුන්ට ඇති අයිතිය පිළිගැනීමත් ඒ වෙනුවෙන් ඔවුන්ට පවතින ශක්තිය දිය නොකර හැරිමත් පුරවැසි අප හැමගේම වගකීමකි.

මේ හැම අම්මාගේම ප්‍රාර්ථනය නම් එකය. මා මිට කලින් වරෙක ලිව්වා සේම ඔවුන් හැමදාම කියා ඇත්තේ එකම කතාවකි. මම නැවත එය මෙහි ලියා තබමි.

“ මං තාමත් හිතනවා අපේ දරුවෝ මේ රටේ කොහේම හෝ තාමත් ජිවත් වෙනවා කියලා, මගේ හිත කියනවා මේ රටේ තාමත් අපේ දරුවෝ අපිට දකින්න සලස්සන්න තරම් මනුස්සකම කොහේ හරි ඉතිරි වෙලා ඇති කියලා. අද මට මගේ දරුවා දකින්න තිබුණනම් මම හෙට මැරුණත් මට කමක් නෑ. මට තවමත් පේනවා මගේ දරුවා අන්තිම වතාවට මගේ දිහා බලපු විදිය. ඒ ඇස් හැමදාම මට අඬගහනවා වගේ මට දැනෙනවා”

ඒ හැම අම්මා ළඟම තිබුණේ මගේ අම්මාගේ දහදිය සුවඳය. ඒ ඇයිදැයි මම නොදනිමි.

Created By
Ishara Danasekara
Appreciate

Credits:

Ishara Danasekara