මේ මල් සමග ජීවත් වන මිනිසුන් ගැන කතාවකි. එය මල් තරමටම අප සිත් පුබුදුවයි. ඔවුන් උපද්දා, ලොකුමහත් කර රට පුරා බෙදාහරින මල්, සියලූ ජාති ආගම්වලට අයත් මිනිසුන් එකට බැඳ තබන මාලා දාමයක් වැනිය.
”මේ යායෙ පිපෙන ලස්සන මල් යාපනයට, මඩකලපුවට, ත්‍රිකුණාමලයට, කොළඹට, මීගමුවට කොටින්ම කියනවා නම් රට හැමතැනටම ගෙනියනවා. සිංහල බෞද්ධයන්ගෙ උත්සව සරසන්නේ, පන්සල් වල පිංකම් වලට ගන්නේ මේ මල්. පල්ලිවල මංගල්ලවලදී අල්තාරය ඉස්සරහ, සුරුවම් ළඟ සරසන්නෙ මේ මල් වලින්, හින්දු මිනිස්සු කෝවිල්වල උත්සවවලට ගන්නේ අපේ ගමේ පිපෙන කෝවිල් කපුරු. මුස්ලිම් මිනිස්සු එයාලගේ උත්සවවලට ගන්නෙත් අපේ ලස්සන මල්.”
එලෙස පවසන ධනසිරි හේරත් බණ්ඩාර දියතලාව පහළ කඳුරුගමුවේ මල් වගා කරන්නන් අතර ප්‍රමුඛයාය. දශක කිහිපයක සිට මේ ගමේ උරුමය ව ඇත්තේ නේක වර්ණ සුන්දර මල් වගාවයි. ස්වකීය මව්පියන්ගෙන් මල් වගා බිම් උරුමය ලද ධනසිරි අදින් වසර විසිපහකට පෙර පාසල් දිවියට සමුදෙන්නේ එවක මල් තරම් සුන්දර නොවූ ඔහුගේ ජීවිතය මල්වලින්ම සරසා ගැනීමේ අරමුණ ඇතිවය. අද ඔහු සාර්ථක මල් වගා කරුවකු ලෙස ජීවිතය දෙස තෘප්තියෙන් බලද්දි ගමෙහි තවත් පවුල් 70ක පිරිසක් මල් වගාවෙන් ජීවිතය දිනා ඇත.
හැම තැනම අපේ මල්
”ඉතිං මේ මල් එකතු කරන්නේ මිනිස්සුන්ගේ හදවත්. රට වටේ ඉන්න දෙමළ, මුස්ලිම් මිනිස්සු අපිට ආදරය කරනවා එයාලට මල් දෙන්නෙ අපි නිසා. අපි යාපනයට හරි ත්‍රිකුණාමලයට හරි ට්‍රිප් එකක් ගියාම අපිට සලකන්නෙ ඒ මිනිස්සු. දන්නවද කවදාවත් එයාලා අපිට වංචා කරන්නෙ නෑ. වෙලාවට මල් සල්ලි බේරනවා. අපිට හරි සතුටුයි. හැම දෙවි කෙනෙක් ළඟම අපේ මල් පූජා වෙනවා. හැම කෙනෙක්ම සතුටු වෙන මොහොතවල අපේ මල් එතැන තියෙනවා. දුක් වෙන තැන්වලත් අපේ මල් තියෙනවා.”
ධනසිරි විදාරණය කරන්නේ තමන්ගේ හෘදයාංගම බවය. මල් කෙත් වල පූදින ගමක සතුටය. දියතලාව පුංචි කඳුකර නගරය ප්‍රසිද්ධ වන්නේ දැවැන්ත යුද හමුදා හා ගුවන් හමුදා කඳවුරු සංකීර්ණය නිසාය. හමුදාවට අයිති බිම් පසු කොට මඳ දුරක් ඔහිය, හෝටන්තැන්න, බොරලන්ද ආදී ප‍්‍රදේශවලට යාහැකි මාර්ගයේ ගමන් ගත් විට හමුවන මේ දෙණි බිම් හමුවේ. දියතලාවෙන් සොල්දාදුවන් සිය දහස් ගණනක් පුහුණු කොට උතුරේ යුද බිම් කරා යැවුණු කාලයේද මේ බිම්වල පිපුණු මල් උතුරේ පුද බිම් කරා යැවිණි.
දෙපසින් උස්ව නැගුණු කඳු පංතීන් අතරින් කුඩා දිය පහරක් ගලා යන පටු නිම්න භූමිය කිලෝමීටර් ගණනාවක් ඈතට සෘජුව දිවෙයි. කඳු ගැට මත හිඳ හෝ කඳු යා කරන පටු පාලම මත හිඳ වරු ගණනක් නිම්නය දෙස බලා සිටිය හැකි තරමටම ඒ දසුන නෙතට උළෙලකි. නෙත පිනන විවිධ වර්ණය. මෝස්තර දැමූ චීත්තයක් එලා ඇත්තාක් වැනි හැඩතලය. කඩිසරව වැඩකරන ගොවීන්, ගෙවිලියන් හා අතවැස්සන්ය.
කෝවිල් කපුරු, සුපර් ඬේසි, ක්‍රිසන්තමම්, ජර්බෙරා, රෝස වැනි විවිධ මල් වර්ග මේ ගම් වැස්සෝ වගා කරති. ඔවුහු සිය වගාවන් හි ශ්‍රමය යොදවන්නෝය. ඒ අතර සෑම ගොවිපළකම රැකියා විරහිත දෙතුන් දෙනෙකුට යැපුම් මාර්ග ස්ථීර වශයෙන් උදාකර දෙන අතර අවට වතුකරයේ බොහෝ ජනයාට කාලීනව ආදායම් මාර්ගයක් වන්නේද ඔවුන්ගේ මල් වගාවයි. මල් පැළ සිටුවන්නට, මල් නෙළන්නට හා මිටිමැද මල් කූඩා වල අසුරන්නට එන බොහෝ දෙනා වතුකරයේ කම්කරු රස්සාව කරන දෙමළ ජනයාය. ඔවුන්ට මල් ගොවිපල වලින් ලැබෙන දෛනික ආදායම ඉහළය.
උඩරට ගොවීන්ගෙන් වැඩිමනත් දෙනා එළවළු වගාවෙහි නියැළෙන්නවුන්ය. ඔවුන්ගේ ආදායම අවිනිශ්චිත වන්නේ එළවළු මිල උච්චාවචනය වන නිසාය. එහෙත් පහළ කඳුරුගමුවේ ජනයා නිශ්චිත හා සරු ආදායමක් ලබති. ඊට හේතුව මල්වලට ඉහළ මිලක් හිමිවීම සහ ඒවායේ මිල ස්ථාවරව පැවතීමයි.
මල් අපනයනය කරන්නටද හැකියාවක් ඇති නමුත් පහළ කඳුරුගමුවේ සාලිය පවසන්නේ දේශීය ඉල්ලූම සපුරා ගන්නටද අප තව තවත් මල් වගා කළ යුතු බවයි. බස්නාහිර මුහුදු බඩ ප‍්‍රදේශවලින් සේම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලින්ද ඔවුන්ට බොහෝ ඇණවුම් ලැබේ. මේ ඇතැම් මිලදී ගන්නන් අවුරුදු දහය පහළොව තිස්සේ ගනුදෙනු කළද දැක මුණගැසි නොමැත. ඔවුන්ට මල් ලැබුණු පරිදි ගිවිස ගත් පරිදි බැංකු ගිණුම්වලට මුදල් බැර කෙරේ. ඒ සබැඳියාවේ ඇත්තේ ජාති, ආගම් භේද ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හෘදයාංගම බැඳීමයි.
වෙළෙඳපොළේ තවත් ඉඩ
ධනසිරි පවසන අන්දමට ඔවුන්ගේ මල් අස්වැන්නෙන් වැඩි ප‍්‍රමාණය මිලදී ගන්නේ දෙමළ ජනයාය. වගාවට ශ‍්‍රමය සපයන්නේද දෙමළ ජනයාය. ඔවුහු ධනසිරිලාට ආදරය කරති. ඉදින් මේ ආදරය හුවමාරු කරන වගාවට තව තවත් පිරිස් එක් වෙනවාට ධනසිරි, සාලිය වැනි මල්කරුවෝ කැමතිය. ”කෝවිල්වලට එහෙම ඕන වෙන මල් තවම පිටරට වලින් ගෙන්වනවා. එහෙව් එකේ ඇයි අපිට බැරි තව තවත් මල් වවන්න. වවන මිනිස්සුන්ට පාඩුවක් වෙන්නෙත් නෑ. හැබැයි මේකට යොමු කරන්න ඕන පොඩි මිනිස්සු මිස ලොකු කොම්පැනි කාරයෝ නෙවෙයි. මේකෙන් පොඩි මිනිහට අපි වගේම ඔළුව උස්සන්න පුළුවන්” ඔවුහු පවසන්නෝය.
පවුලේ සියලූ දෙනා සමඟ එක්ව මල් වගාවට හවුල් වන ලක්ෂාන් පාසැල හැර ගියේ අවුරුදු පහකට පෙරය. ඔහුද මල් වවන, ඒවාට ජලය යොදන කාර්යයන්ට ශ‍්‍රමය සපයන අතර අවශේෂ ශ්‍රමිකයන් දෙදෙනෙකුට දිනකට රුපියල් දහස ගණනේ වැටුප් ගෙවයි. නැකැත් රහිත මාසවල ආදායම තරමක් අඩුවුවද පොදුවේ එළවළු වගාවට වඩා වැඩි ආදායමක් ලැබිය හැකි මල් වගාව කෙරෙහි ඔහුගේද ඇත්තේ දෘඩ බැඳීමකි. ”අපේ ගම එකම මල් යායක්. හැමෝගෙම අතමිට සරු වුණේ මල් වගාවෙන්. රට වටේම මිනිස්සු මේ ගම ගැන දන්නෙ ලස්සන මල් නිසා. අපේ හීනය තව තවත් මල් වගාව දියුණු කර ගන්න එක. ඒ නිසා පොලිටනල් හදලා ජර්බෙරා වගාව එහෙම ලස්සනට කරන්න අපි කවුරුත් කැමැත්තෙන් ඉන්නවා.” ලක්ෂාන් අනාගත හීන පිළිබඳව පවසයි.
දහස් ගණනක් මිනිසුන්ගේ හදවත් වල මල් පුබුදුවන මේ හීන දිනන්නට ඔවුන්ට අත්වැලක් අවශ්‍යය. ඒ රාජ්‍ය සහයෝගයයි. ඇත්තෙන්ම සහයෝගය යනු රජයේ උදව් මත යැපීම නොවේ. දියුණු මල් වගා ක්‍රම හඳුන්වාදීම, සුන්දර මල් වර්ගවල රෝපණ ද්‍රව්‍ය ආනයනයට උදව් කිරීම, ආදිය ඔවුන් අපේක්ෂා කරන අතහිත දීම්ය.
ධනසිරි පවසන අන්දමට රාජ්‍ය මූල්‍ය ආයතන වලින් නම් ඔවුන්ට කිසිම සහයෝගයක් නොලැබේ. ”ආණ්ඩුවේ බැංවලින් උදව් නෑ. ඇපකාරයෝ හොයන්නයි දහසක් ණය කොන්දේසි. පුද්ගලික බැංකු අපිව හොයාගෙන ළඟට එනවා. ඒත් පොලී වැඩියි. අපිට ණය ඕන නෑ. ඒත් බැංකු එක්ක කරන්න පුළුවන් දේවල් තියෙනවා. එයාලා තේරුම් ගන්න ඕන ඒකයි. පහළ කඳුරුගමුවේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. බැංකු ඒ ගැන බය නොවී අපිත් එක්ක විශ්වාසෙන් ගනුදෙනු කරන්න ඕන.” ධනසිරිගේ අදහස් වල සාරාංශය එයයි.
දියතලාව පහළ කඳුරුගමුවේ මිනිසුන්ගේ ජීවිත මල්බරය. ඒ නිසාම ඔවුන් තුටිනි. සෙස්සන්ගේ ජීවිතවල සතුට මලින් සරසන්නටද, දුක් කඳුලූ මලින් පිසලන්නටද ඔවුන්ගේ ශ‍්‍රමයට හැකිය. වටිනාම කතාව උතූර, දකුණ, නැගෙනහිර හා බටහිරද යා කරන මනුස්සකමේ දාමය ගෙතෙන්නේ ඔවුන්ගේ කෙත්වල පිපෙන මල්වලින් වීමයි.
-ලසන්ත ද සිල්වා
Credits:
Lasantha De Silva