Loading

අදෘශ්‍යමාන බාධක ඔන්ලයින් හා ඕෆ්ලයින් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට දරන පරිශ‍්‍රමය

යුද්ධය අතරතුර ද ඉන් පසුව ද ශ‍්‍රී ලංකාව තුළ සිය වැඩ කටයුතුවල නිරතව සිටිය දී අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන් පැහැර ගෙන ගොස් ඇත, රඳවා තබා ගෙන ඇත, ප‍්‍රහාරයන්ට ගොදුරු කර ඇත. වර්තමාන ආණ්ඩුව යටතේ පවා අදහස් පළ කිරීමේ නිදහස සීමා කිරීම අඛණ්ඩව සිදු වන අතර පසු ගිය වසරේ දී ක‍්‍රියාකාරීහු සුපරීක්ෂාවට, තර්ජනවලට හා ඍජු ප‍්‍රචණ්ඩත්වයට යටත් කෙරුණහ. කාන්තා ක‍්‍රියාකාරීහු මීට අමතරව වෙනත් අදෘශ්‍යමාන බාධකවලට ද මුහුණ දෙති.

කාන්තාවන් ඉතිහාසය පුරා ම වෙනස ඇති කිරීමේ ව්‍යාපාරවල ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කර ඇත. ‘කුලඟන සමිති’ හා ‘මහිලා සමිති’ වැනි ව්‍යාපාර නිදහසට පෙර යුගයේ සිට ම කාන්තාවන්ට ප‍්‍රසිද්ධ ජීවිතයට සහ කාන්තා අවශ්‍යතාවන් සපුරා ගැනීම පිණිස කටයුතු කිරීමට පිවිසිය හැකි වැදගත් ප‍්‍රවේශ ස්ථාන බවට පත් විය. එහෙත් මෙම ලිපිය ලිවීම සඳහා සම්මුඛ සාකච්ජාවට එක්වූ කාන්තාවන් පැවසූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ අතිශයින් ම අසාමාන්‍ය හේතු පදනම් කර ගෙන - උදාහරණයක් ලෙස ප‍්‍රසිද්ධ සංවාද මණ්ඩපවල දී ගැටලූ පිළිබඳව හඬ නගන විට, නිතර ගමන් බිමන් යන විට, ක්ෂේත‍්‍රයේ දී පිරිමින් සමග කටයුතු කරන විට හෝ වට්ස්ඇප් හෝ ෆේස්බුක් භාවිත කිරීම නිසා ම, තව මත් කාන්තා ක‍්‍රියාකාරීන් දෙස සැකයෙන් බලන බව යි.

මතභේදකාරී ගැටලූ ගැන කතා කරන විට කාන්තාවන්ට එරෙහිව එල්ල වන දරුණු විවේචන මෙම තත්ත්වය ප‍්‍රකට කරයි. 2017 මාර්තුවේ බී.බී.සී. සිංහල සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡුාවක් අතරතුර මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය :MMDA ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා කෙරෙන ඉල්ලීම ගැන කතා කළ නීතිඥ එර්මිසා තේගල්ට අවමානාත්මක අදහස් දැක්වීම්වලට මුහුණ දීමට සිදු විය. 2017 අගෝස්තුවේ මුලතිව් ප‍්‍රදේශයේ මහමග පසෙක පැවති අඛණ්ඩ විරෝධතාවකට සහභාගි වෙමින් සිටි අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයන් අතර කැපී පෙනුණු මරියසුරේෂ් ඊශ්වරී රාජ්‍ය බුද්ධි අංශ කාර්ය මාණ්ඩලිකයන්ගේ තර්ජනවලටත් ප‍්‍රහාරයන්ටත් ගොදුරු වූහ.

ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය පළාත් තුනක කාන්තා ක‍්‍රියාකාරීන් සමග කතාබහ කළේ ය. ඔවුන් තම ප‍්‍රජාවන්ට බලපාන ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර වෙනස්කම් කරන නීති පද්ධතිය අහෝසි කරන ලෙස බල කිරීම, හිංසනයට හා අපවාදයට ලක්ව දිවි ගලවා ගත්තවුන් ආරක්ෂා කිරීම සහ පළාත් පාලන ආයතන තුළ සිදු වන දුෂණයට එරෙහිව සටන් කිරීම වැනි විවිධාකාර ගැටලූ ඒ අතර වේ. තාක්ෂණය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය අත්දැක ඇති අය සමග වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් සහ වෛරයේ ඉලක්ක බවට පත්ව ඇති බව දැන ගත් විට තමන් ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය ගැන ඔවුහු කතා කරති.

ආනන්දි

තමන්ට තම පෞද්ගලික දත්ත ආරක්ෂා කර ගත හැකි ආකාරය බොහෝ දුරට නොදැන සිටීම නිසා සමාජ මාධ්‍යය තුළ දී අවුරුදු 19ත් 30ත් අතර වයසේ පසු වන තරුණ තරුණියන් කොතරම් පහසුවෙන් සූරා කෑමට ලක් විය හැකි දැයි ආනන්දි දැක ඇත. ඇය තම ප‍්‍රජාව තුළ තාක්ෂණය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ උදාහරණ වැඩි වෙමින් පැවතීමට විසඳුම් සොයන කාන්තා අයිතිවාසිකම් කණ්ඩායමක් සමග වැඩ කරයි. ‘පිරිමි ළමයි ගැහැණු ළමයි එක්ක යාළු වෙලා එයාලගේ නිරුවත් ජායාරූප එවන්න කියලා ගැහැණු ළමයින්ට බල කරනවා. සම්බන්ධතාව නරක අතට හැරුණා ම එයාලා ඒ ජායාරූප ඔන්ලයින් ක්ෂේත‍්‍රයට මුදා හරිනවා. මේ වගේ සිද්ධි නිසා වයස අවුරුදු 17 ගැහැණු ළමයි සිය දිවි නසා ගෙන තියෙනවා. ‘Revenge Porn" (කාමුක පලිගැනීම) නමින් හැඳින්වෙන මෙය ඇයගේ ප‍්‍රජාව තුළ බෙහෙවින් පැතිර පවතින්නකි.

මේ අයුරින් ඉලක්ක බවට පත්ව ඇති අයට සිය වැඩ කටයුතුවල කොටසක් ලෙස ප‍්‍රතිචාර දක්වන ආනන්දි ඔවුන්ට උපදේශනය ලබා දෙයි. බොහෝ විට තර්ජන එල්ල කෙරෙන්නේ ගොදුරු වන්නන් හොඳින් ම දන්නා හඳුනන පුද්ගලයන් විසින් බව ඇය සඳහන් කරයි.

"ඔවුන්ගේ පිටුවල තිබෙන ජායාරූප හා යූටියුබ් හී තිබෙන වීඩියෝ රූපාවලි යොදා ගෙන අසල්වැසි ගම්මානවල ජීවත් වන සියලූ කාන්තාවන්ට වෙනස්කම් හා අපහාස කරන කණ්ඩායමක් ෆේස්බුක් එකේ ඉන්නවා.’

ව්‍යාජ ප‍්‍රවෘත්ති පතුරවා හැර දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන් අතර ආතතියක් ඇති කිරීමට ප‍්‍රයත්න දැරීම මෙම කණ්ඩායමේ එක් ක‍්‍රමෝපායක් බව පෙනී යයි. දෙමළ ගැහැණු ළමයෙකු මුස්ලිම් මිනිසෙකුට අයත් ව්‍යාපාරයක සේවය කරමින් සිටිය දී

‘මුස්ලිම් මුදලාලි කෙනෙකු දෙමළ ගැහැණු ළමයෙකු ‘තබා ගෙන’ සිටින බවට කටකතා’ පැතිරවීම සඳහා ව්‍යාජ ප‍්‍රවෘත්ති පතුරවා හැරි ආකාරය ආනන්දි දැක ඇත.

ඔන්ලයින් ක්ෂේත‍්‍රයේ දී කාන්තාවන්ට නින්දා කිරීමේ මෙම චර්යාව ඕෆ්ලයින් ක්ෂේත‍්‍රය තුළ පැවතී ගෙන යන හා අලූතෙන් මතු වන ස්ත‍්‍රී ද්වේෂය පෝෂණය කරයි.

‘පිරිමි ළමයි තමන් ළඟට ඇවිත් කරන ලිංගික පෙලඹවීම්වලට ලක් වෙන්නේ නැතුව මෙහේ ගැහැණු ළමයින්ට පාරේ තනියම ඉන්න විදියක් නැහැ,’ ආනන්දි පවසයි.

සමහර අවස්ථාවල දී ඔන්ලයින් ක්ෂේත‍්‍රයෙන් ඇරඹෙන නින්දාව ඕෆ්ලයින් ක්ෂේත‍්‍රයට ද පැතිර යයි. තමන්ගේ මිතුරන් සමග ලිංගික සංසර්ගයේ නොයෙදුණ හොත් (ඔවුන්ගේ වචනයෙන් කියන්නේ නම් චෝදනාවට ලක් විය හැකි අතිශය පුද්ගලික ජායාරූප) ප‍්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් පිරිමින් විසින් තනිව ජීවත් වන කාන්තාවන් ඉලක්ක කර ගැනුණු අවස්ථා ඇත.

තේරුමක් නැති සහ ප‍්‍රකෝප කිරීමකින් තොරව එල්ල වන බව පෙනෙන ප‍්‍රචණ්ඩත්වය කනස්සල්ල දනවන ආකාරයෙන් පුපුරා යන අවස්ථා පවතී. ආනන්දි පැවසූ එක් පුවතකින් කියැවෙන කතාව ඇයට කොතරම් සමීප ද යත් බිය දනවන බව ඇය පවසයි. ඇයගේ කණ්ඩායමේ කටයුතු කළ කාන්තාවක් සිය වැඩ කටයුතු නිම කර නිවස බලා යාම සඳහා ත‍්‍රිරෝද රථයකට නැගුණා ය. ඇයගේ සැමියා සිටින්නේ දුර බැහැර බැවින් නිවසේ සිටියේ ඇය හා ඇයගේ යොවුන් දියණිය පමණි.

‘දවසක් එයා ගෙදර යන කොට පිරිමි කෙනෙක් එයා පස්සේ ගිහින් එයාත් එයාගේ දියණියත් ඝාතනය කළා.’

හිංසන ක‍්‍රියා වාර්තා කිරීම සඳහා නීතිය බලාත්මක කරන ආයතන වෙත අවස්ථා ගණනාවක ම ගොස් ඇති ආනන්දි මෙම ගැටලූව එම ආයතනවලට විසඳිය හැකි යැයි විශ්වාස නොකරයි.

‘කාන්තාවන්ට නින්දා කරන්න පොලීසියත් සහභාගි වෙනවා. ඉතින් පොලීසියට කියන එකේ තේරුම මොකක් ද?’ ඇය අසයි.

එවැනි සිදුවීම් වාර්තා කිරීමට තරම් ධෛර්යයක් ඇති අයට නිලධාරීන් දක්වන අසංවේදී ප‍්‍රතිචාර නිසා බොහෝ විට සිදු වන්නේ දිවි ගලවා ගත් අය තව දුරටත් මානසික කම්පනයන්ට ගොදුරු වීම යි.

”සූරා කෑමට ලක් වෙලා තියෙන්නේ තමන්ගේ ශරීරය නොවන නිසා” ආනන්දි වැනි කාන්තාවන් ගැටලූව ගැන මේ තරම් උනන්දුවක් දක්වන්නේ මන්දැයි අසමින් පොලීසිය මෙම තත්ත්වය තව දුරටත් නරක අතට හරවයි.

නිතර ගමන් බිමන් යන නිසා ප‍්‍රජාව විසින් සැක කරනු ලැබීමට මුහුණ දෙන්නේ ආනන්දි වැනි කාන්තාවන් ය. ආනන්දි නිර්භීතව මෙම තත්ත්වයට මුහුණ දෙයි.

‘දුරකථනයෙන් මට හිරිහැර කරන පුද්ගලයන්ට හරි ගෙදර යන කොට මගේ පස්සෙන් එන පුද්ගලයන්ට හරි කෑ ගහලා බණින්න තරමට මම නිර්භීත යි. ඒත් කවදා වත් මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා නැති යෞවනියන්ට මොකක් වේවි ද? එයාලා කොහොම ප‍්‍රතිචාර දක්වාවි ද?’

කාන්තාවන්ට එල්ල වන ප‍්‍රචණ්ඩත්වය හා නින්දාව වඩ වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් පවතී. අමතර පන්තිවලින් පිටත දී පුද්ගලයෝ අසභ්‍ය අන්තර්ගතයන් සහිත සංයුක්ත තැටි යෞවන යෞවනියන් අතර අලෙවි කරති. එබැවින් නිසි වයස් එළඹෙන්නට පෙර ම කාන්තාවන් හා ඔවුන්ගේ සිරුරු පිළිබඳ දුර්මත ඔවුන්ගේ සිත් තුළ කා වදියි.

අසභ්‍යත්වයෙන් පලි ගැනීමට උසි ගන්වන හෝ සාවද්‍ය හා ද්වේෂ සහගත තොරතුරු සැපයීමෙහි නිරත වන අය බොහෝ විට තම ක‍්‍රියාවන් සම්බන්ධයෙන් දඬුවමකට ලක් නොවන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විට පීඩාවට පත් වන්නේ ඔවුන් විසින් ඉලක්ක කර ගැනෙන කාන්තාවන් ය. සමහර අවස්ථාවල දී ප‍්‍රතිවිපාක මරණීය වේ. මෑතක දී කාන්තාවක වෙනත් පුරුෂයෙකු සමග සම්බන්ධයක් පවත්වා ගෙන යන බවට දිගින් දිගට පැතිර ගිය කටකතාවක් නිසා ඇය සිය සැමියා අතින් මරණයට පත් වූ බව ආනන්දි පවසයි.

ප‍්‍රජාවන් යුද්ධයේ බලපෑමට එතරම් ම ලක්ව ඇති නිසා සුරක්ෂිතතාව යනු ඔවුන්ගේ දිස්ත‍්‍රික්කය තුළ තව මත් සැලකිල්ලට බඳුන් වන කාරණයකි.

ඔන්ලයින් හා ඕෆ්ලයින් ප‍්‍රචණ්ඩත්වය සමහර විට ‘එල්ල වෙන්නේ එහෙම කරාවි කියලා ඔබ අඩුවෙන් ම හිතන අයගෙන්,’ ආනන්දි පවසයි.

ඇය කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ වැරදිකරුවන් පිටස්තරයන් නොවන බව හා කාන්තාවන් ළඟින් ම ඇසුරු කරන පුද්ගල කණ්ඩායම් තුළ ජීවත් වන්නන් බව සහ එහෙයින් එම කාන්තාවන් කරන කියන දෑ ගැන සමීප අවධානයකින් සිටින බව යි.

වර්තමානයේ තරුණ පරපුර නොමග යැවෙන බවත් හිංසනයට හෝ අපවාදයට ලක් වුව හොත් ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය බොහෝ විට නොදන්නා බවත් ආනන්දි අවධාරණය කරයි. ඇය සහ ඇයගේ සගයන් විවිධ වර්ගයේ හිංසනයන්ට විසඳුම් සෙවීමේ තම කාර්යයෙහි අඛණ්ඩව නිරතව සිටින නමුත් සමාජ මාධ්‍යය හරහා ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ පැතිර යන විට ඊට විසඳුම් සෙවීම දුෂ්කර බව පෙනී ගොස් ඇත.

‘ඔන්ලයින් ක්ෂේත‍්‍රයේ දී කියවන දේවල් නිසා තරුණ පරපුරේ ආකල්ප හා විශ්වාසයන් ඉතා පහසුවෙන් වෙනස් වෙනවා.’

කාමිලා

අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගැනෙන නිසා තාක්ෂණය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වී ඇතැයි කාමිලා විශ්වාස කරයි.

නීතිය බලාත්මක කරන ආයතන හිංසනය ගැන සඳහන් පැමිණිලි පිළිබඳව උනන්දු වන්නේ කලාතුරකිනි. උදාහරණයක් ලෙස නිර්නාමික දුරකථන ඇමතුම් පොලීසියට වාර්තා කළ විට සාමාන්‍යයෙන් පොලීසිය ප‍්‍රතිචාර දක්වන්නේ එම පුද්ගලයා හඳුනා ගත නොහැකි බව පවසමිනි.

අන්තර්ජාලය තුළ හෝ තාක්ෂණය හරහා ආරම්භ වන හිංසනයට විසඳුම් සෙවිය යුතු ආකාරය ගැන ඇත්තේ සුළු දැනුවත්කමකි.

‘රටේ මේ කොටසේ ජීවත් වෙන තරුණියන්ට සයිබර් අපරාධ ඒකකය වගේ ආයතන ඉතා ම දුර යි,’

ඇය පවසයි.මෙය හුදු භූගෝලීය දුරක් පමණක් නොවේ. මින් නිසැක වශයෙන් ම අදහස් වන්නේ අගනුවරින් පිටත ජීවත් වන අය මෙම ගැටලූව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පැවරුණු ඒකකයක් පවත්නා බව කිසි සේත් ම පාහේ නොදන්නා බව යි.

කාමිලා මාධ්‍යවේදිනියක සහ තම ප‍්‍රජාව තුළ ක‍්‍රියාකාරිනියක ලෙස කටයුතු කරයි. ‘මම හැම තිස්සේ ම ප‍්‍රශ්න කරන බව මිනිස්සු දකිනවා,’ ඇය පවසයි. ප‍්‍රාදේශීය බලධාරීන්, දේශපාලනඥයන් හෝ වෙනත් නායකයන් ඉදිරියේ වේවා ප‍්‍රජා අවකාශ තුළ දී ඇය බෙහෙවින් හඬ නගයි. අවාසනාවට මේ නිසා ඇය නාඳුනන පුද්ගලයන් මෙන් ම ආගමික පුද්ගලයන් වෙතින් ද එල්ල වන හිංසනයේ ඉලක්කයක් බවට පත් විය.

රෝහල්ගතව සිටි සිය මවගේ රැකවරණයට සිටිය දී කාමිලාට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. නිර්නාමික දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයා තමන් හමු වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේ ය. ඇය ඒවා පටිගත කර ගෙන පිරිමි ඥාතියෙකු ලවා වෙනත් දුරකථනයකින් එම අංකය ඇමතුවා ය. ඇමතූ පුද්ගලයා තරුණ මවුලවි කෙනෙකු බව අනාවරණය විය.

‘මගේ ඥාතියා තමන් DHL ආයතනයෙන් බව අඟවලා, යමක් භාර දීමට තිබෙන බව අඟවලා එයාගේ ලිපිනය ඉල්ලූවා,’ කාමිලා සිනා සෙමින් පවසයි.

ඇය ඔහුගේ දුරකථන අංකය හා ලිපිනය පොලීසියට ඉදිරිපත් කර පියවර ගන්නා ලෙස ඔවුන්ට බල කළා ය. පොලීසිය මවුලවි ඇමතූ විට තම දුරකථනය ‘නැති වී’ ඇතැයි ඔහු පැවසුවේ ය. දිගින් දිගට ම දුරකථන ඇමතුම් ලැබෙන්නට වූ විට

‘මගේ සැමියාට තරහා ගිහින් අපේ දුරකථනය කඩලා දැම්මා,’ ඇය පැවසුවා ය.

අවසානයේ ඔවුහු සමථකරණ කණ්ඩායමක් හමුවට ගොස් මෙම ගැටලූව විසඳා ගැනීමට එකඟ වූහ. කෙසේ වුව ද මවුලවි සමථකරණ සැසියට නීතිඥවරයෙකු කැඳවා ගෙන ආ බවත් පසුව ඔහුට පිටතට වී සිටින ලෙස පවසන ලද බවත් ඇය පවසයි.

චෝදනාවට ලක් වී ඇත්තේ මවුලවි කෙනෙකු නිසා ප‍්‍රජාව තුළ ගෞරවයට පාත‍්‍ර වන්නෙකු බැවින් පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීම ‘දුෂ්කර’ වනු ඇතැයි පවසමින් පොලීසිය ක‍්‍රියාවලිය මන්දගාමී කළේ ය.

ආගමික පුද්ගලයෙකුගේ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විභාගයක් පැවැත්වීම ‘නුසුදුසු’ වෙති යි උසාවිය කල්පනා කළේ ය. ප‍්‍රජාව ද මේ කාරණය ගැන එකඟ වන බවක් පෙනී ගියේ ය.

කාන්තාවක හඬ නොනැගිය යුතු යැයි අපේක්ෂා කරන සංස්කෘතීන් තුළ දී එසේ හඬ නැගීම අභියෝගයක් බවට පත් වන බව කාමිලා අවධාරණය කරයි. හඬ නැගීම නිසා ඇය තනි වී සුපරීක්ෂාවට ලක් වූ නමුත් ඇයගේ වාසියට ද හේතු විය. ‘මට මොකක් හරි කරන්න හැදුවොත් මම පියවර ගන්නා බව මිනිස්සු දන්නවා,’ ඇය ප‍්‍රකාශ කරයි.

අන්‍යෝන්‍ය එකඟතාවකින් තොරව ඡුායාරූප ප‍්‍රචලිත කිරීම කාමිලාගේ ප‍්‍රජාව තුළ ද පවතින ගැටලූවකි. ගොදුරු වූවන් සිටින්නේ රටේ වෙනත් කොටස්වල නිසා ඔවුන්ට ප‍්‍රතිචාර දැක්වීම ද එතරම් ම ගැටලූ සහගත ය. ‘කාන්දු කළ වීඩියෝවක් පොලීසියට අර ගෙන ගියොත් එයාලා ඒක තමන්ගේ උපකරණවලට ඩවුන්ලෝඞ් කර ගෙන පසුව නරඹාවි,’ නීතිය බලාත්මක කරන නිලධාරීන් මේ අයුරින් ගොදුරු වූවන් තවත් නින්දාවකට පත් කරන ආකාරය ගැන සඳහන් කරමින් ඇය පවසයි.

මෙම පෞද්ගලික ජායාරූපවලින් බොහොමයක් මුල දී බෙදාහදා ගෙන ඇත්තේ විශ්වසනීය පුද්ගලයන් සමග පමණක් වුවත් ඒවා කාන්දු වූ පසුව බොහෝ විට ප‍්‍රදේශයේ ප‍්‍රජාව මෙම ජායාරූපවල පෙනී සිටින කාන්තාවන් තමන්ගේ මූණේ දැලි ගෑවුන් ලෙස නම් කරති. මෙහි ප‍්‍රතිඵල විනාශකාරී ය: ‘මේ වගේ ජායාරූප නිසා ගිවිස ගත් විවාහයන් බිඳ වැටිලා තියෙනවා, විවාහයන් කැඩිලා තියෙනවා.’ ‘සිද්ධ වෙන්න ඕන තාක්ෂණය නිසා අප ඉදිරියට යන එක යි, මේ තරම් ම ආ පස්සට යන එක නෙවි,’ කාමිලා තව දුරටත් පවසයි.
‘අපේ ප‍්‍රදේශයේ සංඥා කුලූනු කීපය යි තියෙන්නේ. ඒ නිසා අන්තර්ජාලය භාවිත කරන්න ජනතාවට තියෙන හැකියාව අඩු වෙනවා,’

ඇය පවසයි. කෙසේ වුව ද ළමයින් නුසුදුසු අන්තර්ගතයන්ට නිරාවරණය වන වෙනත් ක‍්‍රම පවත්නා බව කාමිලා අවධාරණය කරයි.

ඔවුන් වඩාත් හොඳ සෙලියුලර් ආදානයක් සහිත ප‍්‍රදේශවල පවත්නා අමතර පන්තිවලට සහභාගි වන අතර බොහෝ විට එම පන්ති මධ්‍යම රාත‍්‍රිය තරම්? බෝ වන තෙක් පැවැත්වේ. මීට ප‍්‍රධාන හේතුව ඔවුන්ගේ දෙමව්පියන් තම දරුවන්ට රජයේ රැකියා ලබා ගැනීමේ දැඩි අරමුණකින් පසු වීම යි. ‘මේ ළමයින්ට ආරක්ෂාවක් තියෙනවා ද?’ කාමිලා අසයි.‘මේ ගැනත් හිතලා බලන්න දෙමව්පියන්ට වගකීමක් නැද්ද?’

මෙම අවකාශවල දී ළමයින් අසභ්‍ය ප‍්‍රකාශනවලට හා මත්ද්‍රව්‍යවලට වඩ වඩාත් ගොදුරු වී ඇති අතර මෙය තම ප‍්‍රජාවේ ළමයින් අතර ශාස්ත‍්‍රීය කාර්ය සාධනය දුර්වල වීමට දායක වන ප‍්‍රධාන සාධකයක් යැයි කාමිලාට හැඟ්. මීට විසඳුම් ලබා නොදුන හොත් දුෂ්ට චක‍්‍රය අඛණ්ඩව පැවතී ගෙන යනු ඇත.

මාධවී

ආනන්දි මෙන් මාධවී ද කාන්තාවන්ට එරෙහි අපවාදයට හා ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් වැදීමට පරිශ‍්‍රම දරන ප‍්‍රජා පාදක කාන්තා සාමූහිකයක කොටස්කරුවෙකි. ක‍්‍රියාකාරකම්වල නිරත වීම නිසා තම ප‍්‍රදේශයේ දී අත්විඳීමට සිදු වන ඍණාත්මක ප‍්‍රතිවිපාක කවරේ දැයි ඇය මැනවින් දනී.

‘මෑතක දී පවත්වපු විරෝධතාවක මම ඉන්න ජායාරූප කවුරු හරි අප්ලෝඞ් කෙරුවොත් ගමේ අය මම පන්නා ගන්නත් ඉඩ තියෙනවා,’ විටෙක ඇය පවසයි.

අන්තර්ජාලය හරහා තමන්ගේ ජායාරූප වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි වීමේ ප‍්‍රතිවිපාක සහ තමන්ගේ ජායාරූප කොතරම් පහසුවෙන් සිය වුවමනාවන් සඳහා යොදා ගැනීමට වෙනත් අයට හැකි ද යන්න යෞවනයන් විශේෂයෙන් ම යෞවනියන් දන්නා බව මාධවී පවසයි.

තව මත් දුරකථන ඇමතුම් ලැබේ.

‘තරුණියක් දුරකථනයෙන් මට කතා කරලා මුදල් ඉල්ලූවා, නුදුන්නොත් මේ දැන් සිය දිවි නසා ගන්නවා කියලා කිව්වා.’

ඇය තම පෙම්වතා වෙනුවෙන් මුදලක් ණයට ගෙන ඇති බව පවසමින් ෆේස්බුක් පණිවුඩයක් සංසරණය වෙමින් තිබිණ. පණිවුඩය මුළුමනින් ම ව්‍යාජ වුවත් ඉන් ගැහැණු ළමයාට ඇති වූ බලපෑම මුළුමනින් ම සත්‍ය විය.

සමහර අවස්ථාවල දී රාජ්‍යය ප‍්‍රචණ්ඩත්වය අනුමත කරයි. ස්ත‍්‍රී දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලද රජයේ නිලධාරියෙකු තමන් විසින් ප‍්‍රසිද්ධියේ හෙළා දකින ලද අවස්ථාවක් මාධවී විස්තර කරයි. ඇයට දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. මුලින් ලබා දුන් ඇමතුම්වල දී නිහඬව සිටි ඇමතුම්කරු අවසානයේ අසභ්‍ය වචනවලින් ඇයට බැණ වදින්නට විය. වාචිකව නින්දා කළේ හිතාමතා ම බවත් ඇයගේ සැමියා දුරකථනයට පිළිතුරු දුන හොත් විවාහ ජීවිතය තුළ ගැටලූ ඇති කිරීමට බවත් මාධවී විශ්වාස කරයි. නාද වන විට තම දරුවන් දුරකථනය අතට ගත හොත් මේවා ඔවුන්ගේ කණ වැකෙනු ඇතැයි මාධවී කනස්සල්ලෙන් පසු වූවා ය.

ඇයට මෙන් ම ඇය නිරතව සිටින කාර්යයේ නිරත වන අනෙක් කාන්තාවන්ට ද සිය සැමියන් සමග පවත්නා සම්බන්ධතාවේ ස්වභාවය ඇය පැහැදිලි කළා ය. සැමියන් ඔවුන්ගේ කාර්යය කර ගෙන යාමට ඉඩ දීමෙන් සහාය වන නමුත් සමහර කරුණු සාකච්ජා කිරීමට සිදු වේ. උදාහරණයක් ලෙස ගත හොත් ඇමතුම්කරුගේ කූට උපාය සාර්ථක වූ අතර දුරකථන ඇමතුම් නිතිපතා ලැබෙන්නට වූ විට මාධවීගේ සැමියා ඇය සමග කතා කිරීම නතර කළා ය. කාර්යය සහ අනභිමත යැයි සැලකෙන කෙරෙන දේවල් අතර සීමා ඉරක් පවත්නා බව මින් පෙනේ.

මෙවැනි අපරාධකරුවන් දඬුවම් ලබන අවස්ථා සංසන්දනාත්මකව අඩු වීම මෙම ප‍්‍රචණ්ඩත්වය නොනැසී පැවතීමට එක් හේතුවක් වන අතර ඊට බොහෝ දුරට හේතු වන්නේ ඉලක්ක බවට පත් වන කාන්තාවන් ඔවුන්ට චෝදනා කරන්නේ කලාතුරකින් වීම යි. තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් නිලධාරියා හඳුනා ගත් නිසා මාධවී ඔහුට චෝදනා කළේ කිසි ම සැකයකින් තොරව ය. එහෙත් ඇය එසේ කළ විට ඔහු තමන්ගේ ආරක්ෂාව පිණිස පියවර ගත්තේ ය.

මාධවී මෙම ප‍්‍රජා කණ්ඩායම තුළ මෙම කාර්ය භාරය ඉටු කිරීමට පෙර සහන සපයන සංවිධානයක වැඩ කළා ය. එහි දී ඇය තම සේවා යෝජකයන් විසින් තැටිගත කෙරුණු ප‍්‍රවර්ධන වීඩියෝවක පෙනී සිටියා ය. ඇය පෙනී සිටියේ සේවා ස්ථානය වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝවල පමණක් වුවත් එක් අවස්ථාවක යම් කෙනෙකු ඇයගේ සැමියා දුරකථනයෙන් අමතා ඇය වීඩියෝවල රඟපාන බව පැවසුවේ ඒවා අසභ්‍ය වීඩියෝ බවක් අඟවමිනි. ඇයගේ සැමියා ඇයගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ඇයට තරවටු කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. සැඟවීමට කිසිවක් නැති බව ඇයට නිසැක වූයේ දිගට ම සංවිධානයේ වැඩ කිරීමට ඉඩ දෙන ලෙස තම සැමියා ඒත්තු ගන්වා ගැනීමට මාධවී සමත් වූවා ය.

‘එයා ඇමතුවේ වට්ස්ඇප් හෝ වයිබර් වගේ මෘදුකාංගවලට අවශ්‍ය කරන දත්ත සම්බන්ධතාව නැති සාමාන්‍ය දුරකථනයකින්. හානියක් කරන්න ස්මාට් දුරකථනයක් ම අවශ්‍ය වෙන්නේ නැහැ.’
‘මෙවැනි අවස්ථාවල දී පවුල් දැඩි පීඩනයකට ලක් වෙනවා,’ ඇය පවසයි. සහාය වීමට මිතුරන් හා සගයන් නොසිටියා නම් තමන් මීට වැඩි පීඩාවකට ලක් වීමට ඉඩ තිබුණු බව ද ඇය පැවසුවා ය.

නින්දාව බොහෝ විට ආරම්භ වන්නේ පවුල තුළින් බව මාධවී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියට පවසයි. යටත් පිරිසෙයින් ඇයගේ කාන්තා සගයන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය එය බව පෙනී යයි. ‘ඊට පස්සේ ඒක වර්තමානයේ භාවිත වන තාක්ෂණයත් එක්ක එකතු වෙලා ඊට වඩා කුරිරු දෙයක් බවට පරිවර්තනය වෙනවා.’ මෙය කාන්තාවන් තම අත්දැකීම් අනාවරණය කිරීම සඳහා ඉදිරිපත් නොවීමට එක් හේතුවකි. එහෙත් මාධවී හා අනෙක් අය ඔවුන්ට උදව් කිරීමට සැදී පැහැදී සිටිති.

මාධවීගේ ප‍්‍රජාවේ සාමාජිකයන්ට මෙවැනි නින්දාවකට ලක් වීමෙන් පසුව උපදේශනයක් ලැබෙන්නේ නැත. එය තව මත් පුරවා නැති හිදැසකි. ඇත්ත වශයෙන් ම මඩකලපුව ප‍්‍රදේශය තුළ තාක්ෂණය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් වැදීම සඳහා කටයුතු කරන ප‍්‍රජා පාදක සංවිධාන නොමැති බව ද මාධවී පවසයි. එබැවින් තව මත් බොහෝ දෙනෙකු ප‍්‍රශ්නයේ පරිමාණය දැක නැත. බොහෝ විවිධ මාධ්‍යයන් හරහා එවැනි ප‍්‍රචණ්ඩත්වයන්ට නිතිපතා අනාවරණය වන ඊළඟ පරම්පරාව එය සාමාන්‍ය දෙයක් ලෙස සැලකීම වැඩි වෙමින් පැවතීම ගැන ඇය සිය කනස්සල්ල පළ කරයි.

‘කවුරු හරි ඝාතනය කරන එක ඒ තරම් ලොකු දෙයක් නොවෙන තරමට දවසක ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වේවි කියලා මම කනස්සල්ලෙන් ඉන්නේ.’

පොලීසිය පවා කාන්තාවන් බොහෝ විට මුහුණ දෙන හිංසනය බැරුම්ව සැලකිල්ලට නොගන්නා බව මාධවී පවසන්නේ කලකිරීමෙනි.

‘අපි පොලීසියට ගිහින් ඒ වගේ සිදුවීම් වාර්තා කෙරුවා ම එයාලා ඒක නිසි පැමිණිල්ලක් විදියට සටහන් කර ගන්නේ කලාතුරකින්.’

ජුවයිරියා

ජුවයිරියා ජීවත් වන ප‍්‍රදේශයේ දී පිරිමි ළමයෙකු ලිංගික සම්බන්ධතාවක් ඇති කර ගැනීමට උත්සාහ කරන විට ප‍්‍රතික්ෂේප කළ හොත් බ්ලැක්මේල් කිරීමට පමණක් නොව අධ්‍යාපන අවස්ථා අහිමි වීමට පවා හේතු විය හැකි ය.

මෑතක දී ඇයට එවැනි අවස්ථාවක් දැක ගන්නට ලැබිණ. පිරිමි ළමයෙක් එක් පේ‍්‍රම සම්බන්ධතාවක් අවසන් කර එම පෙම්වතියගේ හොඳ ම මිතුරිය සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගැනීමට උත්සාහ කළේ ය. මිතුරිය එය ප‍්‍රතික්ෂේප කළ විට පිරිමි ළමයා අසභ්‍ය ජායාරූපවලට ඇයගේ මුහුණ යොදා ඒවායේ සිටින්නේ ඇය මෙන් පෙනෙන පරිදි සංස්කරණය කර ඇයට පෙන්වූයේ ය. අනතුරුව ඔහු ඒවා ප‍්‍රසිද්ධ කරන බවට ඇයට තර්ජනය කළේ ය.

ගැහැණු ළමයාගේ දෙමව්පියෝ අතිශය ගතානුගතික අය වූහ. උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට යාමට ඇයට වුවමනා කළත් මෙම සිදුවීමෙන් පසුව ඇයගේ දෙමව්පියෝ අධ්‍යාපන කටයුතුවල තව දුරටත් නිරත වීමට ඇයට ඉඩ නොදුන්හ. ‘යම් සහායක් ලබා ගන්න මට අමතන්න ඇයට පුළුවන්කම තිබුණත් හැම කෙනෙකුට ම මේ ප‍්‍රවේශය නැහැ,’ ජුවයිරියා සඳහන් කරයි. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගැනීමට තරම් අධිෂ්ඨාන සහගත වන්නේ සුළු ප‍්‍රතිශතයක් පමණක් බව සහ තම පවුලේ සාමාජිකයන් දැන ගැනීමට තිබෙන ඉඩකඩ අවම කළ හැකි වන්නේ නිහඬව සිටීමෙන් බව සහ මෙවැනි සිදුවීම් නිසා ඉතා විශාල ලජ්ජාවකට පත් වන අතර කටකතා විශාල වශයෙන් පැතිර යන බව ද ඇය පැවසුවා ය. පිරිමි ළමයාට එවැනි ප‍්‍රතිවිපාක අත්විඳීමට සිදු නොවේ.

ජුවයිරියාගේ ප‍්‍රජාව තුළ දී කාන්තාවන් පිළිබඳ සුපරීක්ෂාව ආරම්භ වන්නේ ගෙදරිනි. අසල්වැසියන් හා ඥාතීහු පණිවුඩ යවන මෘදුකාංග යොදා ගෙන බොහෝ විට බිරින්දෑවරුන්ට නොදැනෙන්නට ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව ඔවුන්ගේ සැමියන් ‘දැනුවත්’ කරති. මෙම සුපරීක්ෂාවට ලක් වීමෙන් පසුව තමන් හමු වීමට පැමිණි කාන්තාවන් පිළිබඳ පුවත් කිහිපයක් ජුවයිරියා පවසයි.

විදේශ රටක ජීවත් වන විවාහක කාන්තාවක සමග එක ම කාමරය බෙදාහදා ගෙන ජීවත් වන තවත් කාන්තාවක් උපන් දින උත්සවයක දී විවාහක කාන්තාව තම මිතුරෙකුට කේක් කෑල්ලක් කවන ආකාරය වීඩියෝ කළා ය. කෙසේ හෝ මෙම වීඩියෝව විවාහක කාන්තාවගේ සැමියා සමග බෙදාහදා ගැනිණ. ඔහු වහා ම සිය බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා සිටියේ ය.
තවත් කාන්තාවක් සිය සැමියා විදේශගතව සිටිය දී කෝවිලට ගියා ය. යමෙකු ඇය සාමාන්‍යයෙන් පලඳින සළුව නොමැතිව ඇය සිටින ජායාරූපයක් ගෙන එය ඇයගේ සැමියාට යැව්වා ය. විදේශයේ සිට දුරකථනයෙන් භාර්යාව ඇමතූ ඔහු ඇය ගියේ කොහේ දැයි ප‍්‍රශ්න කළේ ය. දැන් ඔවුන්ගේ දික්කසාද නඩුව විභාග වෙමින් පවතී.

දික්කසාදය ඉල්ලා සිටීමෙන් පසුව වට්ස්ඇප් මෘදුකාංගය හරහා චෝදනාත්මක හා තර්ජනාත්මක පණිවුඩ එවමින් මේ පිරිමි තමන්ගේ හිටපු බිරින්දෑවරුන්ට දිගින් දිගට ම හිංසා කරති. තම සැමියන්ගෙන් මෙවැනි සැලකුම් ලැබීමට තමන් සුදුසු යැයි එවැනි බොහෝ අවස්ථාවල දී මෙම කාන්තාවෝ කල්පනා කරති. ‘එයාලගේ ආකල්ප වෙනස් කරලා එයාලා මගේ ඉදිරිපිට දී ම සිම් කාඞ්පත මාරු කරනවා දකින තුරු ඉදිරියට යන්න එයාලට උදව් කරන්න පටන් ගන්න එක ලේසි වෙන්නේ නැහැ,’ ඇය පවසයි.

යම් ප‍්‍රගතියක් අත් කර ගැනීමට මෙම කාන්තාවන්ට ඉඩ සලසා දීම සඳහා තමන් සිම් කාඞ්පත් කීයක් නම් විනාශ කර ඇත් දැයි විස්තර කරද්දී ඇය අතින් මුව වසා ගෙන සිනා සෙයි.
‘මම ඔයාට ආදරෙයි’ පවසමින් නොදන්නා අංකවලින් ජුවයිරියාට ද නිතර පණිවුඩ ලැබිණ. ඒවා සිනහවෙන් මග හැරිය හැකි සානුකම්පික සැමියෙකු සිටින නිසා තමන් වාසනාවන්ත යැයි ඇය පවසයි.

කෙසේ වුව ද සමහර පණිවුඩ එතරම් විනෝද ජනක නොවන අතර වඩාත් කනස්සල්ල දනවයි. බොහෝ විට මුස්ලිම් පූජකයෝ තනිකර ම ආගමික නොවන පණිවුඩ පැතිරවීම සඳහා සමාජ මාධ්‍යය යොදා ගනිති. කාන්තාවන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන පණිවුඩ ද ඒවා අතර පවතී. ‘එයාලා මම ගැන වීඩියෝවක් නිකුත් කළා,’ ජුවයිරියා පවසයි. ‘යූටියුබ් එක හරහා 22,000කට වැඩි පිරිසක් ඒක නරඹලා තියෙනවා.

’ ඉස්ලාම් ආගම වෙනුවෙන් පෙනී නොසිටින නිසා මෙම වීඩියෝ රූපාවලි ඇය වැනි සමාජ ක‍්‍රියාකාරීන් ‘සැබෑ මුස්ලිම් කාන්තාවන් නොවේ’ යැයි නම් කරයි. ‘මිනිස්සු දැන් අනෙක් අයට මම හඳුන්වා දෙන්නේ ‘අර වීඩියෝ ක්ලිප් එකේ හිටපු නෝනා’ කියලා,’ ඇය පවසයි.

පළමු වන වීඩියෝ රූපාවලිය නිශ්චිත කාන්තාවක ඉලක්ක කර නොගත් අතර එය අහම්බයක් යැයි ජුවයිරියා කල්පනා කරයි. කෙසේ වුව ද ඊළඟ වීඩියෝ රූපාවලි නිකුත් වූයේ ජනවාරි මාසයෙහි මැතිවරණයට පෙරාතු කාල පරිච්ජෙදයේ දී ය. ඇය සිය වැඩ කටයුතු හරහා කාන්තා අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සහාය දෙමින් සිටි අතර මේ වතාවේ එම වීඩියෝ රූපාවලි ඇය වෙන් කර ගෙන සුපරීක්ෂාවට ලක් කරන්නට විය. ඇය ඒවා ගැන පොලීසියට වාර්තා කළ නමුත් කිසි ම පියවරක් ගෙන නැත. ඇය පුදුම නොවේ.

‘දේශපාලන සම්බන්ධකම් තියෙන නිසා මේක කරන මවුලවිලාට දැවැන්ත ජාලයක් තියෙනවා. විමර්ශන වළක්වලා ආරක්ෂා වෙන්න එයාලට පුළුවන්.’

ඇයගේ ව්‍යාපාරය උද්ඝෝෂණය කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය (එය රටේ නීතිය යටපත් වන පරිදි පෞද්ගලික නීති විස්තර කරයි) අහෝසි කිරීම සඳහා වුවත් ඇය කටයුතු කරමින් සිටින්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පණත අහෝසි කිරීම සඳහා යැයි මවුලවි කියා සිටියේ ය. මෙම කාරණය සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ මන්දැයි ආගමික නායකයන්ගෙන් ප‍්‍රශ්න කළ ජුවයිරියා ප‍්‍රබල සාමූහික ප‍්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් මාස දෙකක් ම නිවසෙන් බැහැර නොගොස් සිටියා ය.

තම පවුලේ සාමාජිකයන් තමන් මෙන් විවෘත මනසින් කටයුතු කරන අය නොවේ යැයි ජුවයිරියා පවසයි. ඇය දකින බොහෝ විට ඔවුහු ‘ඔන්න ත‍්‍රස්තවාදියා එනවා’ වැනි කතා කොඳුරති.

ඇය සමස්ත ලංකා ජමියාතුල් උලමාවරුන්ගේ සම්මේලනයේ රැස්වීමකට සහභාගි වීමට නියමිතව තිබූ අතර ඇයට සම්බන්ධකම් පැවති එහි කටයුතු කරන පුද්ගලයෙකු පැවසුවේ ඇයගේ, ‘ත‍්‍රස්තවාදියාගේ’ පැමිණීම අපේක්ෂාවෙන් කාර්යාලය දින දෙකක් තිස්සේ සූදානමින් සිටින බව යි.

‘මිනිස්සු මගෙන් ප‍්‍රශ්න කරනවා, මා ගැන අසමින් අනෙක් අයගෙනුත් ප‍්‍රශ්න කරනවා,’ ඇය සඳහන් කරයි. මැතිවරණයට ඉදිරිපත් වන කාන්තාවන් ඇමතූ ජමියාතුල් උලමාවරුන්ගේ සම්මේලනය ‘එළියට වෙලා කරන්නේ මොනවා දැ’යි ඔවුන්ගෙන් විමසුවේ ය, ඔවුන් ජුවයිරියා සමග සම්බන්ධ දැයි ද ඇසුවේ ය. ප‍්‍රදේශයේ පල්ලිය ද ඇය සමග පවත්වන සම්බන්ධකම් ගැන අනෙක් ක‍්‍රියාකාරීන්ගෙන් බොහෝ විට ප‍්‍රශ්න කරයි. ‘මම සිදුවීම් 400කට හෝ 500කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් වැඩ කරනවා. ඒ නිසා මම සෑහෙන පිරිසක් අඳුනනවා.’

2018 පෙබරවාරි මැතිවරණය සඳහා තරග වැදුණු කාන්තාවන් කිහිප දෙනෙකු සමග ද ජුවයිරියා වැඩ කළා ය. ඇයට තර්ජනය කළ මවුලවිගේ මැදිහත් වීම නිසා ම බොහෝ විට මෙම කාන්තාවන්ගෙන් සමහරෙකු මුහුණ දුන් හිංසනය සිවිල් සමාජය මැතිවරණ නිලධාරීන් හමුවේ කරුණු කීමට හේතු විය. පශ්චාත් මැතිවරණ කාල පරිච්ජෙදයේ දී ඔවුන්ට ද දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ අතර ආසන දිනා නොගත් අපේක්ෂකයන්ට ටෙක්ස්ට් මැසේජ් එවමින් හිංසා කළ බව ජුවයිරියා පවසයි. කාන්තාවන් ඒවාට පිළිතුරු දුන්නේ නම් හෝ දුන් අවස්ථාවල දී ඔවුන් එවූ පණිවුඩයේ තිර දර්ශන රැගෙන වට්ස්ඇප් කණ්ඩායම් අතර බෙදා හරින ලදි.

‘මට සීඅයි.ඞී. එකෙන් නිතර ම දුරකථන ඇමතුම් ලැබෙනවා,’ ජුවයිරියා පවසයි. ඇය ඔවුන්ගේ සුපරීක්ෂාවට ලක්ව සිටින බව මින් පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ යුගයේ දී මෙම ඇමතුම් වඩාත් නිරතුරුව ලැබුණු බව ඇය සඳහන් කරයි. වරක් ගමට පැමිණි ඔහු ඇය සමග කතා කළේ ය. ‘ඔවුන් මට දුරකථනයෙන් කතා කරලා අහනවා අහවල් අය හඳුනනවා ද කියලා, මට එයාලා එක්ක තියෙන සම්බන්ධකම් මොනවා ද කියලා.’

තමන් ඇයගේ ප‍්‍රදේශයට වාහනයක් එවා ඇති බව ද ඔවුහු ඇයට පවසති. ඔවුන් එසේ පවසන්නේ ඇය බිය ගැන්වීම සඳහා ය. අවස්ථා කිහිපයක දී ම මෙම ඇමතුම් ලැබුණු පසුව කිසිවෙකු තමන් ලූහුබඳින බව හෝ තමන් බස් රථයට ගොඩ වන විට හෝ යම් කෙනෙකුගේ කටයුත්තකට ප‍්‍රසිද්ධ ස්ථානයකට යන විට තමන් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ඇය දුටුවා ය.

‘එයාලා ඒකාන්ත වශයෙන් ම මගේ දුරකථනය ටැප් කරන බව මම දන්නවා,’ ඇය පවසයි.

තරුණ සමාජ සේවකයන්ගෙන් සමන්විත ඇයගේ කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙක් ම පාහේ ෆේස්බුක් අඩවිය භාවිත කරයි. ඔවුන්ගේ ප‍්‍රජාව තුළ සිටින යෞවනයන් තම මිතුරු මිතුරියන් සමග අදහස් හුවමාරු කර ගැනීම සඳහා හෝ අලූත් මිතුරු මිතුරියන් ඇති කර ගැනීම සඳහා ෆේස්බුක් මෘදුකාංගය යොදා ගන්නා අතර තමන්ගේ නිව්ස්ෆීඞ් අංගය හරහා ලැබෙන සෑම තොරතුරක් ම විශ්වාස කරන බව ද ඇය පවසයි. ‘ඒක ප‍්‍රයෝජනවත් විදියට යොදා ගන්න, අධ්‍යාපනය හෝ අභිදේශනය සඳහා යොදා ගන්න උනන්දු වෙන්නේ ඉතා සුළු පිරිසක් විතර යි,’ ඇය පවසයි. පරිශීලකයන්ට තමන් දකින අන්තර්ගතය මධ්‍යස්ථ කළ හැකි ආකාරය පිළිබඳ තාක්ෂණික දැනුවත්කම ද නැත. අහම්බෙන් අසභ්‍ය අඩවි විවෘත කරන ළමයි අසභ්‍ය තොරතුරු එකිනෙකා සමග හුවමාරු කර ගනිති, නැත් නම් නොදැනුවත්ව මැල්වෙයාර් හුවමාරු කර ගනිති. දෙම්පියන්ට ළමයින් නුසුදුසු අන්තර්ගතයන් නැරඹීම වැළැක්විය හැකි ක‍්‍රම මෙම උපකරණ හෝ වේදිකාවල නැත් දැයි ජුවයිරියා අසයි.

සමාජ මාධ්‍ය වේදිකා ඒවායින් ජනතාවට සිදු විය හැකි හානිය සම්බන්ධයෙන් වග වීමට සැලැස්විය යුතු බව ජුවයිරියාට හැගේ

‘සමාජ මාධ්‍යය භාවිත කරන එක නවත්වන්න කියලා යෞවනයන්ට කියන්න බැහැ,’ ඇය පවසයි.

යෞවනයන් අනෙක් අයට විශේෂයෙන් ම යෞවනියන්ට හානි කිරීම සඳහා සමාජ මාධ්‍යය වඩ වඩාත් අවභාවිත කරන බව පැහැදිලි ය. මෙම ගැටලූව අගනුවරට සීමා වූවක් ද නොවේ. මෙම ගැටලූ ඉස්මතු කර දක්වන කාන්තා ක‍්‍රියාකාරීන් ද ප‍්‍රහාරයන්ට ගොදුරු වීමට ඉඩ ඇත. ග‍්‍රවුන්ඞ්වීව්ස් සමග කතා කළ කාන්තාවන්ගෙන් කිහිප දෙනෙක් තමන්ට ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේ යැයි ඉතා බියෙන් පසු වූ හෙයින් තමන්ගේ මුහුණු ජායාරූපයට නගනවාට කැමති නොවූහ. පුළුල්ව පැතිර පවත්නා, සැඟවුණු සමාජ ගැටලූ විසඳීම සඳහා මෙම ක‍්‍රියාකාරීන් කරන වැඩ කටයුතු ගැන ප‍්‍රජාව ආඩම්බර විය යුතු ය.

නැත් නම් ඔවුන් ‘නොවළහා කතා කිරීමෙන්’ සිදු වන්නේ ඔවුන් චලනය වන ඉලක්ක බවට පත් වීම පමණකි.

ඔබ සයිබර් හිංසනය පිළිබඳ සිදුවීමක් වාර්තා කිරීමට කැමති නම් කරුණාකර මෙම මාර්ගෝපදේශය කියවන්න.

ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ සුරක්ෂිතව සිටීම පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් Groundviews හී ඇති Digital Security Wiki වෙබ් අඩවියට පිවිසෙන්න.

*සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් වීම් නිසා ක‍්‍රියාකාරීන්ගේ ඉල්ලීම මත සමහර නම් සහ ස්ථාන අනාවරණය නොකළ බව සලකන්න.

මෙය Groundviews වෙබ් අඩවියේ Invisible Barriers: The Struggle to Combat Violence, Online and Off නමින් පළවු ලිපියේ සිංහල පරිවර්තනයයි

@Vikalpa

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.