සංහිඳියාව දේශපාලන සිතියමෙන් ඉවතට තල්ලු වෙමින් යනවා

දෙවසරකට පෙර දේශපාලන කරළියේ ප්‍රමුඛම මාතෘකාවක්ව පැවති ‘සංහිඳියාව ගොඩනැගීමේ’ ක්‍රියාවලියේ වත්මන් තත්වය කෙබඳුද? මේ, ඒ පිළිබඳ නීතිඥවරියක, කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිණියක හා සංහිඳියා කාර්යය පිළිබඳ පුරෝගාමී මෙහෙවරක යෙදෙන්නියක ලෙස ප්‍රකට ජීවනී කාරියවසම් සමඟ කළ සාකච්ඡාවකි.

සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධයෙන් රටක් හැටියට අප ඉන්නා තැන පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

සමස්තයක් විදිහට රටේ තත්ත්වය බෙහෙවින් බලාපොරොත්තු විරහිත අඩියක තියෙන්නෙ. සංහිඳියාව පිළිබඳ ගැටලූවටත් ඒ තත්ත්වය බෙහෙවින්ම අදාළයි.

සංහිඳියාව ගැන තරමක කතාබහක් තාමත් ඇහෙනවා. බලය බෙදීමක්, නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැනත් කතා වෙනවා. නමුත් මට තියෙන්නෙ තරමක් අශුභවාදී අදහසක්. සමස්තයක් විදිහට අපි සම්පූර්ණ සිරවීමක් දෙසට යමින් සිටිනවා වගේම ජනවාර්ගික ගැටලූව විසඳන්න තියෙන ඉඩ පටු වෙමින් තිබෙනවා.

උදාහරණයක් විදිහට රටේ තියුණු වෙමින් තියෙන ආර්ථික දුෂ්කරතා විශාල ජනගහනයක් තුළ අසහනයක් වර්ධනය කරමින් තියෙනවා. මේ අසහනය උඩ ජාතිවාදය වපුරලා බලය ගැනීම ඉලක්ක කරගෙන රාජපක්ෂ මහත්තයා වැඩ කරගෙන යනවා.

මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්?

ජනවාර්ගික ගැටලූව විසඳන්න කළ යුත්තේ බලය බෙදීමය කියන මාතෘකාව ඉතාම ජනපි‍්‍රය තර්කයයි. නමුත් බලය බෙදීම කියන මාතෘකාව ඉස්සරහට ආපු ගමන්ම සිංහල මිනිහට මේක තේරෙන්නෙ මෙහෙම; ”දෙමළ මිනිහා සිංහලය විනාශ කරලා රටෙන් කෑල්ලක් කඩාගන්ඩ ආවා. ප‍්‍රභාකරන් කියන සිංහල ජාතිය ගැන වෛරයෙන් පෙළුණු මිනීමරු දුෂ්ටයා අහිංසක සිංහල මිනිහාව මැරුවා. අපි ඒ දුෂ්ටයාව ඉවර කරලා සිංහල ජාතිය බේරගත්තා. දැන් ආයෙත් බලය බෙදනවා කියන්නෙ පස්සෙ කාලෙක රට බෙදන්න බලපත්‍රයක් දීමක්”.

අපි සියලු දෙනා ‘බ්ලැක්මේල්‘වෙලා

මේ තමයි දශක ගණනාවක් තිස්සේ සාමාන්‍ය සිංහල ජනයාගේ කන්වලට පොම්ප කරපු මතවාදය. ජනවාර්ගික ප්‍රශ්නයේ ඉතිහාසය කියන්නේ සිංහල සමාජය ඇතුළේ නිල නොවන තහංචියකට ලක් කරපු මාතෘකාවක්. ඒ තහංචිය කඩන්න කාටවත් බැහැ. අපි ඒ තහංචිය අන්‍යෝන්‍යව නඩත්තු කරනවා. අපි සියලූ දෙනා ‘බ්ලැක්මේල්‘ වෙලා.

මේ තහංචිය කඩලා සිංහල සමාජය ඇතුළෙ ජනවාර්ගික ප්‍රශ්නයේ ඉතිහාසය ගැන ස්වයං-විවේචනාත්මකව කතා නොකර, බලය බෙදීම පිළිබඳ මාතෘකාව විතරක් කතා කරලා මේ ගැටලූව සාර්ථකව විසඳන්න පුළුවන් කියල මං හිතන්නෙ නැහැ.

ඇයි එහෙම විසඳන්න බැරි?

බලය බෙදීම පිළිබඳ මාතෘකාවම විශාල කලබගෑනියක් ඇති කරන්න නියමිතයි. කොපමණ ප්‍රමාණයකටද බලය බෙදන්නෙ, ඒකෙන් දෙමළ සමාජය සැනසෙයිද?, මේ යන්නේ දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දෙන්න නෙවෙයිද? මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මගින් ඉදිරියේදී මූලික ගැටලූව ව්‍යාකූල කෙරෙන්න නියමිතයි.

දෙමළ විරෝධී ජන ඝාතක කැරලි හය හතක් ඇති වෙලත්, තිස් අවුරුදු මිලේච්ඡ යුද්ධයකට මුහුණ දීලත්, සිංහල මිනිහට නැති දෙමළ මිනිහට තියෙන විශේෂ ප්‍රශ්නය මොකක්ද කියල දන්නෙ නැති සමාජයක් මේක. ඉතින් තමන් දන්නෙ නැති ප්‍රශ්නයක් විසඳන්න කියල බලය බෙදන්න යනකොට, මේ අය එකඟ වෙයිද කියන එක විශාල ගැටලූවක්. සුළු ජාතීන් පිළිබඳ ප්‍රශ්නය විසඳන්න නම් ඊට පෙර සිංහල ජාතියට තමන් එක්කම අමාරු ප්‍රශ්නයක් විසඳගන්න තියෙනවා. මෙයට සිංහල සමාජ විඥානයේම විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි.

උතුරේ දෙමළ දේශපාලන විඥානයත්, දකුණේ සිංහල බෞද්ධ දේශපාලන විඥානයත් එම සමාජවල තහවුරු වෙලා තියෙන්නෙම එකිනෙකාට විරුද්ධවයි. මේ බැරෑරුම් තත්ත්වය වෙනස් කර ගැනීමට නොහැකි වීම තුළ සංහිඳියාව උදා කර ගැනීම අභියෝගයක් නෙවෙයිද?

ඔව්, මෙතනදි සිංහල බෞද්ධ දේශපාලන විඥානයම ස්වයං-විනාශකාරී උගුලක පැටලිලා ඉන්නවා.

අපි විනාශකාරී උගුලක පැටලිලා

එක පැත්තකින් දෙමළ මනුස්සයා හිතනවා තමන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙන බවත්, සිංහල පාලකයන් විසින් තමන් තමන්ගේම රටේ කොන් කරල තියෙන බවත්, සිංහල බහුතර ජනයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මීට සහයෝගය පළ කරන බවත්. අනෙක් අතට සිංහල ජනයා හිතනවා දෙමළ මිනිහා තමන්ට අනතුරක් කරන්න එන බවත්, දෙමළ මිනිහට පොඞ්ඩක් හරි ඉඩ දුන්නොත් සිංහලයට අවාසි වෙන බවත්. සුළු ජාතීන්ට සමානාත්මතා අයිතීන් දුන්නොත් තමන්ගෙ වරප්‍රසාද නැතිවෙයි කියන භීතියට ප්‍රතික්‍රියාවක් විදිහට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයක් ඇතුළෙ සිංහල ජනයා හිරවෙලා ඉන්නවා.

මේක කෙතරම්නම් තමන්ටම විනාශකාරීද කියල සිංහල සාමාන්‍ය ජනයා දන්නෙ නැහැ. රාජ්‍ය ව්‍යුහයේ හරය ප‍්‍රජාතන්ත්‍රීහරණය වුණාම ඒක සුළු ජාතීන්ට විතරක් නෙවෙයි අදාළ වෙන්නෙ. ඒ කියන්නෙ සුළු ජාතීන්ට එරෙහිව රාජ්‍යයේ සමානාත්මතාවය නැති කරලා වරක් ඒක විකෘති කළාම මුළු රාජ්‍යයම විකෘති වෙනවා. ඒ විකෘතියට වැඩිම ජනගහන කණ්ඩායම වෙන අවවරප්‍රසාදිත සිංහල පීඩිතයටත් මුහුණ දෙන්න වෙනවා. වැඩිපුර වාසි ගන්න ගිහින් සිංහලයා ලබාගත්ත දේට වඩා විනාශ කරගත්ත දේ වැඩියි. කොටින්ම කීවොත් බුද්ධාගමත් විනාශයි. වල්පොල රාහුල හාමුදුරුවෝ වෙනුවට දැන් අපට ඉන්නෙ ඥානසාර හාමුදුරුවෝ.

මුස්ලිම් විරෝධය ප්‍රචණ්ඩව පුපුරා යන අනතුර ඉතිරි වෙලා

මේ හැම දෙයින්ම සිංහලයට වෙච්ච ලොකුම පාඩුව තමයි තමන්ට ලෝකෙ දිහා බලන්න තිබ්බ දැක්ම අහිමි වෙච්ච එක. අපි ඉන්නෙ සංකීර්ණ ඓතිහාසික උගුලකට ඇතුළු වෙමින්. නමුත් අපිට යථාර්ථය තුළ යකෙක්ව හදල යකා ඇතුළෙන් බලන්නෙ නැතිව ලෝකෙ පේන්නෙ නැති තැනකට තල්ලූ වෙලා ඉන්නෙ.

2009 න් පස්සෙ රටේ සිංහල බෞද්ධ අන්තවාදීන් අලූතෙන්ම හොයාගෙන ඉන්න යක්ෂයා තමයි මුස්ලිම් මිනිහා. ජනවාර්ගික ප්‍රශ්නයේ කටුක ඉතිහාසය ගැන අවබෝධයක් නැති, කාලයක් තිස්සේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ ගිලිල ඉන්න, මේ වගේ සංකීර්ණ සමාජ වෙනස්කම් තේරුම් කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් නැති තැනක මේ මුස්ලිම් විරෝධය ප්‍රචණ්ඩව පුපුරා යන අනතුර ඉතිරි වෙලා තියෙනවා.

සරල ව්‍යවස්ථා සංශෝධනයකින් මේ මහා ගැටලුවට පිළිතුරු සෙවීම විහිළුවක්. නමුත් ව්‍යවස්ථා සංශෝධනය ගැන ඉදිරි විවාදවලදී මේ වගේ තත්ත්වයක් ඉස්සරහ ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේගවලට තියෙන සිතීමේ හැකියාවේ උපරිම සීමාව මොකක්ද කියල අදහසක් ගන්න අපිට පුළුවන් වෙයි.

ප්‍රධාන පක්ෂ දෙක එක් වී ආණ්ඩුවක් පිහිටෙව්වට මේ වන විට ඔවුන් තම තමන්ගේ න්‍යායපත‍්‍ර අනුව වැඩ කරන්න යන තත්ත්වයක් දක්නට ලැබෙනවා. එවිට සංහිඳියාව කියන මූලික අදහසට හානි පැමිණෙනවා නේද?

ඔව් ‘සංහිඳියාව’ පිළිබඳ ක්‍රියාවලිය ස්ථිර වශයෙන්ම දේශපාලන සිතියමේ අද්දරට තල්ලූ වෙමින් තියෙන්නේ.

නමුත් පවතින තත්ත්වය අපි තේරුම් ගන්න ඕනෙ වෙනත් විදිහකට කියලයි මං හිතන්නේ. යහපාලන ආණ්ඩුව එනකොට අනාගතයට අදාළව වැඩපිළිවෙළක් විදිහට තිබුණෙ කාරණා, අභියෝග තුනක් මුල් කරගත්ත වැඩසටහනක්. පළමු අභියෝගය ආර්ථික වශයෙන් රට ස්ථායි කිරීම සහ ගෝලීය ආර්ථික ප්‍රවාහයන් තුළට රට වඩ වඩා ඇතුළු කරමින් ආර්ථික වර්ධනයක් ගැනීමයි. දෙවැන්න රටේ රාජ්‍ය ව්‍යුහය හැකිතාක් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමයි. ඒක පැතිමාන කීපයක් තියෙන සංකීර්ණ ක්‍රියාවලියක්. තුන්වැන්න ජනවාර්ගික අර්බුදය විසඳීමයි.

‘සංහිඳියාව’ කියල ලස්සන වචනයකින් ආවේ ඒ ක්‍රියාවලිය. පළමු ඉලක්ක දෙකේ අර්බුදයක් විසින් තුන්වෙනි අර්බුදය උත්සන්න කරනවා. ඒ වගේම අතීත ප්‍රශ්නයක් විසඳීමකට වඩා අනාගතයේ ඕනෙම මොහොතක ඉතා ප්‍රචණ්ඩ ආකාරවලින් පුපුරා යා හැකි අර්බුදයක් විදිහට සමාජ දේහය තුළ ජනවාර්ගික අර්බුදය ගිලිලා තියෙනවා. 2009 යුද්ධයෙන් පසුව ජනවාර්ගික අර්බුදයේ අනාගත රූපකාය තීන්දු කරන නීතිරීති අපි කාටවත් පේන්නෙ නැතුව යන්න ගත්තා. අපි දැනගෙන හිටියෙ නැහැ යටින් වෙමින් යන්නෙ මොකක්ද කියලා. නමුත් 2014 රාජ්‍ය අනුග්‍රහය ලත් අලූත්ගම මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය විසින් ජනවාර්ගික අර්බුදයේ අනාගත ගමන් පථයට අදාළව යම් හැඩගැස්වීමක් කරල තියෙන්නෙ දැනටමත්. එහි අනාගත හැඩය තීන්දු කරන්න දැනටමත් බලවේග ගණනාවක් පොරකමින් ඉන්නවා.

මේක සංකීර්ණ බල ගැටුමක්

සමාජය මුහුණ දෙමින් ඉන්න සංකීර්ණ ප්‍රශ්න ගැන හොඳින් විස්ථාරණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකටම නැහැ. ජවිපෙටත් නැහැ. ඒ නිසා මේක ප්‍රතිපත්ති ගැටුමක් නෙවෙයි. ප්‍රධාන පක්ෂ දෙක ප්‍රධාන බල කේන්ද්‍ර තුනක් අතර සංකීර්ණ බල ගැටුමක් විදිහට ක්‍රියාත්මක වෙන්නෙ. මෛත්‍රිපාල මහත්තයාගේ ශී‍්‍රලනිපය, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එජාපය සහ රාජපක්ෂ මහත්තයාගේ මල් පොහොට්ටුව විදිහට මේ බල කේන්ද්‍ර වැඩ කරනවා. ඊට අමතරව මේ හැම කේන්ද්‍රයක්ම අභ්‍යන්තරයෙන් බෙදිලා ඉන්නෙ. ඒ නිසා මේවා එකිනෙක විනිවිදලා තියෙන්නෙ. කාටවත් ගැළවෙන්න අමාරුයි. හැමෝම බලන්නෙ අනෙක් බලවේග දෙකට එරෙහිව අනාගතයේදී තමන්ගේ බලය සුරක්ෂිත කරගන්න නම් කොයි කොයි ඉත්තොද අදින්නෙ කියන එක. ඒ නිසා තමයි හැම බුද්ධි අංශ වාර්තාවකින් පස්සෙම මේ කේන්ද්‍ර තුන ඇතුළෙ ලොකු කලබගෑනියක් ඇති වෙන්නෙ.

යහපාලන ආණ්ඩුව පත් වන අවස්ථාව වන විට, ඊට මුල් වුණ දේශපාලන බලවේග අතර තිබුණු පොදු න්‍යායපත්‍රය දැන් අහෝසි වෙලාද?

යහපාලන ආණ්ඩුව පත්වුණාට පස්සෙ ලංකාවේ ඓතිහාසික සමාජ ව්‍යුහයේ, අවම තරමින් සමහර ක්ෂේත්‍රවලටවත් අදාළව තීරණාත්මක ව්‍යුහාත්මක වෙනස්කම් වෙන්න ඉඩකඩක් ඓතිහාසිකව විවර වුණා. ස්වභාවයෙන්ම එවැනි ඉඩකඩක් පවතින්නෙ කෙටි කාලයක් පමණයි. දැන් ඒ ඉඩ වැහෙමින් යන්නෙ.

මේ තත්ත්වය තුළ ආර්ථිකයට අදාළ පළමු අභියෝගය හැමෝම ඉස්සරහ ඉතිරි වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව බැරිමරගාතේ හරි ‘සීරියස්’ විදිහට ගැටෙන්නෙ මේ එක්ක විතරයි. පිස්සුවක් වගේ තියෙන ලංකාවේ ආර්ථිකය ධනේශ්වර ලෝක ආර්ථික රටාව තුළ දියුණු කරන්න පුළුවන්ද කියන මාතෘකාව ඇතුළෙ සියලූ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ පැටලිල ඉන්නෙ. මේකට ජවිපෙත් ඇතුළත් වෙනවා. පසුගිය අවුරුදු දෙතුන් සීය ඇතුළෙ ධනවාදී ලෝක රටාව මුහුණ දීල ඉන්න දරුණුම ආර්ථික සිරවීම මැද තමයි මෙහෙම වෙන්නෙ.

අනෙක් අතට රාජ්‍ය ව්‍යුහය ප්‍රජාතන්ත්‍රිකරණය පිළිබඳ ගැටලූව දේශපාලන පක්ෂවල අවධානයෙන් ක්‍රමානුකූලව ගිලිහෙමින් තියෙනවා. ඒ සටන් පාඨය නැවත වතාවක් සිවිල් සමාජ බලවේගවල ක්ෂේත්‍රයට ඇතුළු වෙමින් තියෙනවා. මහජනයාගේ අවධානයත් මේ මාතෘකාවෙන් ඉවතට, ඒ කියන්නෙ ආර්ථිකය දිහාවට තල්ලූ වෙලයි තියෙන්නෙ.

සංහිඳියාව පිළිබඳ ගැටලූව තමයි මේ අතරින් වඩාම තීරණාත්මකව ඉවතට විසිවෙමින් තියෙන්නෙ.

සංහිඳියාව පිළිබඳ ගැටලූව ඉවතට විසිවෙමින් තිබෙනවා

සිවිල් සමාජ ව්‍යාපාර සමාජ කේන්ද්‍රීය නොවී පුද්ගල කේන්ද්‍රීය වීම තුළ ආණ්ඩුවට බලපෑම්කළ හැකි ශක්තිය හීනවී ගොස් තියෙනවද?

මං හිතන්නෙ ගැටලූව එච්චර සරල නැහැ කියල. අපිට ඔය විදියට පේන්නෙ සිවිල් සමාජ ව්‍යාපාර දැනටමත් දුර්වල වෙලා කියන එකේ රෝග ලක්ෂණය. නැතුව ඕක රෝගය නෙවෙයි. ඔතැනින් තවත් එහාට ගියොත් අපි සංවිධානය කියන සංකීර්ණ විෂය මාතෘකාවට තල්ලූ කෙරෙනවා.

නමුත් අපි සරලව අනෙක් පැත්ත හැරිල බැලූවොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. ආර්ථිකය වඩ වඩා පීඩාකාරී වෙමින් තියෙන තතු තුළ ප්‍රජාතන්ත්‍රිකරණය පිළිබඳ ගැටලූව ගැන සිවිල් සමාජ සාකච්ඡාව ඊළඟ ආණ්ඩු පෙරළියක ජනප්‍රිය මාතෘකාව බවට විතරක් පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඒකට වර්ගවාදී සටන්පාඨ සමඟ තරගයක් ඇතිවේවි. මෙහෙම ගියොත් එකම චක්‍රය නැවත පුනරාවර්තනය වෙනවට වඩා දෙයක් වෙන්නෙ නැහැ.

ඇත්ත ජීවිතේදි අපි කලින් කතා කරපු ගැටලූ තුන චක්‍රයක් සේ එකිනෙක වෙලී පැවතුණත්, මතවාදී දේශපාලන ජීවිතේදි මේව එකිනෙකින් ඈත් වෙලා හුදෙකලා වෙලා යමින් තියෙනවා. මේ හැම සටන් පාඨයකම බලය නැති වෙමින් යනවා. ආණ්ඩු මාරු කළාට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

දිලීෂා අබේසුන්දර

Created By
Catamaran org
Appreciate

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.