Loading

මට හමුවූ ඇය සංක්‍රාන්ති ලිංගිකයන් ඔබේ ලෝකයට අයත් නැද්ද ?

කොළඹ නගරයේදී මේ මා හා ඇය දුරකථන සංවාද හරහා කතා බස් කොට හමුවීමට සැලසුම් කරගත් ස්ථානයයි. මම ඇය "සතිෂා" යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම ඇගේ සත්‍ය වචනය.මගේ රෙකෝඩරයේ ඇගේ හඩින් පටිගත වූ ඒවාය. අප මුණ ගැසුණේ හරියටම මාර්තු 5 වන දා උදෑසන ය. දුරකථනය හරහා පමණක් ඇය අමතා තිබු මට එක්වරම ඇය දුටු විගස මා හමුවීමට පැමිණියේ ඇය ද යන්න පිලිබඳ තිගැස්මක් ඇතිවිය. ඒ මගේ මනසේ ද අතොරක් නැතිව සමාජය විසින් පැළ කරන ළද නොයෙක් මතයන් අරක් ගෙන තිබු නිසා බව මම හොඳාකාරවම දනිමි. මෙතැන් සිට මම මගේ කතාව නිමා කරමි. ඇය මා වෙත කියූ කතාව නොවළහා ඇගේ වචනයෙන්ම මම ඔබ වෙත ලියමී.

විදුලි පංකාව නොනවත්වා කැරකෙමින් තිබුණි. ඇය කතාකරන්නට පටන්ගත්තාය.

ඔබට කාන්තාවක් වෙන්න ඕනී කියන ප්‍රබල හැගීම එන්නේ ඔබට මතක විදියට කොයි කාලේද? කොහොමද ඒ අත්දැකීම දැන් කල්පනා කරලා බලනකොට ?

මට හිතෙන්නේ මේක අපි ලබා උපන් හැටි. ඒක ඕනිම කෙනෙක්ට වෙන්න පුළුවන්. අපි ගෑනියෙක් ද පිරිමියෙක්ද කියන එක මේ ලෝකේ අපිට මුලින්ම වටින IDENTITY එක. මගේ ගැන ගත්තොත් මන් උපන්නේ පුරුෂ ලිංගයක් එක්ක උනාට මගේ සිතුවිලි ඔක්කොම කාන්තාවක් වගේ.මන් කැමති වුනේම මං කාන්තාවක් වශයෙන් ජිවත් වෙනවා දකින්න. එහෙම අරමුණක් මට තිබ්බා. ඊට පස්සේ මන් "TRANSGENDER" කෙනෙක් වෙන්න පටන් ගත්තා. හෝමෝන් TREATMENT කළා. මන් අවුරුදු 13 ක් 14 ක් වගේ වෙනකොට මට මතක හැටියට ගෑනු ළමයෙක් වගේ අදින්න පටන් ගත්තා.

ඔබට ඔය කියන ඇතුළතින් තමන් සොයන වෙනස, ඒ හැඟීම සමාජය ඇතුළේ පිටකරන්න කොච්චර බාධක ආවද?

ගොඩක් බාධා ආවා. පුතෙක් විදියට හිටපන්, මගේ අම්මා, තාත්තා, අයියලා ඔක්කොම,මට ගහලා ඉස්සර ගහලා තරවටු කරනවා. ඒ නිසාම තමයි මම අද මගේ උපන් ගෙදරට ඇවිත් මේ ඇවිත් කතා කරන්නත් හිතුවේ. මාව අවුරුදු 15 න් ගෙදරින් දොට්ට දැම්මා. සාමාජයේ වෙන දේ තමයි එයාලා කල්පනා කලේ. තමන්ගේ දරුවාගේ ඇතුළේ තියෙන දේ එයාලා දන්නේ නෑ. ඒ අයට තේරුමක් නෑ තිබුනේ මගේ ආශාව හරි හැඟීම් ගැන හරි. ඒක ඉතින් නොදැනුවත් කම තමා. මට ගොඩක් ප්‍රශ්න ආවා ඒ නිසාම. මන් පාරේ පවා බුදිය ගත්තා. අවුරුදු 16 දී කන්ඩ නැතුව හිටිය.තැන් තැන් වැටිලා හිටියා. මන් බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හැදුවා අන්තිමට . ඊට පස්සේ යාලුවෙක් තමා මාව බේරාගෙන මේ ගැන දැනුවත් කරලා මගේ නියම තත්වය තේරුම් කරගන්න පුළුවන් ආයතනයකට මාව යොමුකරේ. එතනින් පස්සේ මගේ ජිවිතේ ගොඩක් වෙනස් වුණා. මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉස්සර මන් දන්නේ HIV AIDS කියන එක විතරයි. කොන්ඩම් එකක් වත් USE කරන්න දැනන් හිටියේ නෑ. සෞඛ්‍ය ආරක්‍ෂිත කිසිම දෙයක් කවුරුත් අපිට කියල දීලා තිබුනේ නෑ.
දැන් මට අවුරුදු 35 ක් වෙන්ඩ යනවා.එත් අදටත් අපිව අඩන්තේට්ටම් වලට ඕන තරම් ලක්වෙනවා. මන් පුර්ණ වශයෙන්ම කාන්තාවක් බවට පත් වුණ කෙනෙක්. අනික කාන්තාවක් හරි පුරුෂයෙක් විදියට හරි පුරවැසිභාවයක් තියෙනවනම් ඒ යට අඩම්තේට්ටම් කරන්න කාටවත් බෑ. අපිව කොන් කරලා වෙනස් කොට සලකන්න, විවේචනය කරන්න, මේ වගේ වෙනස් කිරීමට ලක් වුණා එක්කෙනෙක් කියල පාච්චල් කරලා කතා කරන්ඩයි එපා. මං විදපු දුක මං හොඳටම දන්න නිසා මං කියන්නේ. ඔයාලගේ පවුලක එහෙම දරුවෙක් ඉපදුනොත් ඒ දරුවට අවශ්‍ය මග පෙන්න්විම කරලා උදව් කරනවා ඇරෙන්න, ඒ දරුවාව ගෙදරින් දොට්ට දාලා , නොමග යන්න අරින්න එපා කියලා මං හැමෝටම කියනව. ඊට පස්සේ ඒ දරුවා අනාචාරේ ගිහින් ජිවිතේ විනාස කරන්න ගන්න එකයි වෙන්නේ. වෙන වෙන දේවල් වලට මිනිස්සු ලේසියෙන්ම පොලඹ ගන්නවා. අපේ කට්ටිය ගොඩක් ඉන්නවා BEAUTICIAN ලා , DANCING වලට TALENT, මහන්න පුළුවන් අය හොඳට, උයන්න පුළුවන් අය ඒ වුනාට ඒ අයට කිසිම පිළිගැනීමක් වත් , රස්සාවක් වත් දෙන්න ගොඩක් අය කැමති නෑ. අන්තිමට ගොඩක් මං දන්න "TRANSGENDER" අයට වෙලා තියෙන්නේ අනාචාරයේ හැසිරෙන්න. ඊට පස්සේ පොලිසියෙන් අල්ලන් යනවා. සල්ලිත් නැතුව ඊට පස්සේ ජිවිත විනාස වෙනවා
පංගුවක් අය ඩොක්ටර්සලා පවා අපිට සලකන්නේ අමුතු විදියට . එක දවසක් එතකොට මන් හෝමෝන ට්‍ර්ට්මන්ට් අරගෙනත් නෑ. එක ඩොක්ටර් කෙනෙක් මගේ අත බලල කිව්වා මන් ප්‍රේග්නන්ට් කියලා. සමහර විට එයාලගේ ඉගෙනිම වැඩි කමක් ද මොකක්ද කියලා මං දන්නේ නෑ. සෙන්ගෙඩි වලට බෙහෙත් ගන්න ගියේ මම . ලඟදිත් ඒ වගේම සිද්ධියක් මට වුණා. අඩුම තරමේ වේද නලාව තියලා බල්ලන වත් එයාලා කැමති නෑ. ඩොක්ටර්ස් ලා. TG කියන්නේ මොකක්ද කියලා එයාලා දන්නේ නැද්ද කියන්න මං දන්නේ නෑ. එහෙම දැනුමක් තියෙන අයවත් එක පිළිගන්න කැමති නෑ .
අනිත් එක තමා අපි පාරක හිටන් හිටියත් හරි, බස් හෝල්ට් එකේ හිටියත් හරි අපිව අල්ලන් යනවා පොලිසිය , ගණිකාවෝ කියලා. ඒක පුදුම අසාධාරණයක්.ඒක පුදුම මානසික පීඩනයක් ඉස්සර . අපි වෙනුවෙන් පෙනිහිටින්න කිසිම් නීතීඥවරයෙක් නෑ, ඩොක්ටර් කෙනෙක් නෑ

දැන් ඔබ පුර්ණ වශෙන්ම ශාරීරික වෙනස් කම්වලට භාජනය වුවෙක්, ඒ අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද ?

පුර්ණ වශයෙන් ශාරීරික වෙනස් කම් වලට භාජනය වෙන්න කලින්, අපේ සියලු මානසික තත්ව, අතීත සිදුවීම් ආදියත් එක්ක අවුරුදු දෙකක් මාව නිරීක්ෂණය කරලා ඉවර වුනාට පස්සේ තමයි මගේ ඩොක්ටර් හෝමෝන ප්‍රතිකාර පටන් ගත්තේ. මානසිකව හා ශාරීරිකව මන් ගැහැණියෙක් වීම පටන් ගත්තේ එහෙම.
දැන් මම අපි වගේම අය ගැන දැනුවත් කිරීම් කරන ආයතනයක රැකියාව කරනවා. ඒ මඟින් කරන වැඩමුළුවලට සම්බන්ධ වෙලා ගොඩක් දේවල් ඉගෙන ගන්න මට පුළුවන් උනා. මගේ අරමුණ ලස්සන විදියට ඉෂ්ට කරගන්න ඒක නිසා මට පුළුවන් වුණා. අද දැනුවත්ම කිරීම් කරන්න මන් මගේ දායකත්වයත් දෙනවා, ඒක මට ලොකු සතුටක් .අනික දැන් මට වැටුපක් ලැබෙනවා. මං කාටවත් අත නොපා ජිවත් වෙනවා.දැන් මගේ ගෙදරින් යම් දුරකට මාව පිලිගන්නවා, හැබැයි තාම එයාලට මම එයාලගේ පුතා විදියට තමයි සලකන්නේ. මගේ අක්කලා දෙන්නා ,නෑනා මට හරි ආදරෙයි. අයියා තමා අමනාපෙන් ඉන්නේ. ඒත් දැන් අයියා මාත් එක්ක කතා කරනවා. ඒ පිළිගැනීම මට ගොඩක් වැදගත්. හැබැයි තාමත් මන් පුර්ණ කාන්තාවක් බවට පත්වෙලා හිටියත් මගේ පවුලේ අය, අම්මා, අක්කලා , අයියා උනත් මට කතා කරන්නේ මල්ලි කියලා. ගෑනු ළමයෙක් විදියට මාව පිලිගන්න කම් මට තව කාලයක් බලාගෙන ඉන්න වෙයි.

දැන් ඔබට "කාන්තාව" කියන "සමාජ අනන්‍යතාවය" එක්ක ජිවත්වීමට ලැබීම දැනෙන්නේ කොහොමද ?

ඒක ලොකු වෙනසක් . බල්ලෝ බලල්ලු වගේ තමයි ඉස්සර සමහර වෙලාවට අපි ජිවත් වුනේ. දෙකටම නැති ජාතියක් විදියට අපිව දැක්කේ. ඒක මට පුද්ගලිකව හිතට වදයක් වුණා. උපතින් කාන්තාවක් වීමයි , පසුකාලීනව අපි කාන්තාවක් බවට පත් වීමයි දිහා හැබැයි තාමත් වපර ඇහිං තමයි සමාජය බලන්නේ.
මට දැන් ජාතික හැදුනුම්පතක් තියෙනවා . මගේ සමාජ භාවය ස්ත්‍රී හැටියට එකේ සටහන් වෙලා තියෙනවා. මට දැන් තියෙන්නේ කාන්තා නමක් .2017 අවුරුද්දේ තමයි මන් ඒක ගත්තේ. ඒක ලොකු කතන්දරයක්. මානව හිමිකම් නඩුවක් පවා ගිහිල්ලයි මං මගේ හැදුනුම්පත ලබා ගත්තේ. මන් කියන්න ඕනි ඊට කලින් කාන්තා ස්වරුපය තියෙද්දී හැබැයි මගේ නම පිරිමි නමක් තියෙන කාලේ ලොකුවට ගොඩක් තැන්වලදී අපහසුතාවයට මං ලක්වුනා. හැමෝම මන් දිහා බලන්න පටන් ගන්නවා. DIFFERENCE කියලා. කලින් ඒ වගේ බැංකු වල ට ගියාම, ජන්දේ දාන්න ගිය වෙලේ සෙනග ඉස්සරහ අපහසුතාවට ඕනි තරම් පහසු තාවයට අපිව පත් වෙලා තියනවා. සමනලයා කියයි ඔය වගේ එක එක දේවල්.
සමහර අයට මාව ප්‍රහේලිකාවක්. මගේ කනටම ඇහිලා තියෙනවා ඒවගේ දේවල් පාරේ තොටේ දී, මගේ මුණටම සමහර තැන් වලදී කියනවා. "ලංකාවේ මෙහෙම එවුන් ඉන්නවද ?" "අඩේ කරලා බලන්න ඕනේ" , "මොනා හරි කරන්ඩ ඕනි." මගේ ආත්ම ගරුත්වය නැතිවෙන දේවල් වලට ඒ කියන්නේ ලිංගිකව හැසිරෙන්න අන්වර්ථ විදියට කතා කරනවා.
මන් එක්වරක් ආදරේ කරලා පිරිමියෙක් එක්ක ජිවත් වුණා . ඒත් ඒ වුනාට ඔහු මාව දැඩි ලෙස පිඩනයට පත් කළා, එ නිසා මන් ඉන් ඉවත් වුණා . මං දැන් ආයෙත් ආදරය කරනවා. මගේ ලොකුම බලාපොරෝත්තුවක් තමා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන එක. දරුවෙක් හදන්න. මට හදන්න බැරිවුනොත් අරන් හදාගන්න හරි මන් දැන් උත්සහා ගනිමින් ඉන්නවා. හොඳ යහපත් දරුවෙක් හදන්න මට ලොකු ආසාවක් තියෙනවා. කට පුරා මට "අම්මා" කියනවා අහන්න මං හරි ආසයි. දරුවන්ට මන් පන වගේ ආදරෙයි. ඒ නිසා පවුලක් හැටියට ඉන්න මගේ ලොකු බලාපොරෝතුවක් තියෙනවා .
අනිත් එක තමයි මගේ ලොකු බලාපොරොත්තුවක් තමයි අපි වෙනුවෙන් නියෝජනයක් පාරිලිමේන්තුව ඇතුළේ තියනව දකින එක. අපි වෙනුවෙන් පෙනී සිටලා කතා කරන්න කෙනෙක් අපිට ඉන්න ඕනි, ලංකාවේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියන එක, අපිව පිළිකුල් නොකර ඉන්න. රෝහල් , බන්ධනාගාර වලදී අපිට ගොඩක් වෙලාවට කරදර වලට මුණ පන්න වෙනවා රජයේ ආයතන වලට ගියත් හරි අපි ගැන දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පාසල් දරුවන්ට මේ අධ්‍යාපනය ගොඩක් වැදගත්. අපි ගැන වෙන සැමරුම් උත්සව ගොඩක් වෙලාවට වෙන්නේ බිත්ති හතර ඇතුළේ. ඒක මාධ්‍යකින් එලියට යන්නේ වත්, අනික් මිනිස්සු දන්නේ වත් නෑ.
අනික් අතට අපේ හෝමෝන ප්‍රතිකාර කරගන්න ණය පහසු කමක් හරි පහසු ගෙවීමේ ක්‍රමයක් හරි තියෙනවා නම් ඒක ලොකු දෙයක් ගොඩක් වෙලාවට . අපිට නිකම් උදව් ඕනි නෑ. එතකොට අපිට රැකියාවක් කරලා කොහොම හරි ඒක ටිකෙන් ටික ගෙවන්න පුළුවන්. ගැටලු ගොඩක් අඩුවෙනවා.
මන් කාන්තාවක් වීම ගැන අද ගොඩක් සතුටෙන් ඉන්නේ. අනිත් එක එහෙම මන් වගේම මානසිකව වද විදපු ගොඩක් ගොඩක් අයට සේවය කරන්න මට දැන් අවස්තාව ලැබිලා තියෙනවා. ඒක මට ලොකු තෘප්තියක්.

ඇය දිරිය ගැහැනියක බව නොකියාම බැරිය. ඇගේ හඬ ප්‍රභලය.ඇගේ සිතුවිලි ප්‍රභලය. ඇගේ හදවත ශක්තිමත්ය. ගැහැනියක ලෙස දැරිය හැකි අපිරිමිත ඉවසුම් දරමින් , කෙනෙහිලි කම් උසුලමින් , එහෙත් සතුටින් ඇය ජිවිතයට මුහුණ දෙමින් සිටින්නිය. ආදරය අපේක්ෂිත ලෝකයක ඇය ඇගේ අරගලය නොපිරිහෙළා ඉදිරියට ගෙන යමින් සිටින්නීය.ඇය මා හා කතාබහ අරාම්භයේදීම සටහන් කළ දෙයක් නැවත මම මෙහි ලියමි.

මන් උපන්නේ පුරුෂ ලිංගයක් එක්ක උනාට මගේ සිතුවිලි ඔක්කොම කාන්තාවක් වගේ.

දැන් ඇයට ඇති අභියෝගය ද ඇගේ ස්ත්‍රී ලිංගය බව මතක් කොට දෙමි. ඒ අප සමාජ සංස්ථාව තවමත් මිනිසුන්, මිනිසුන් ලෙස ගනිමින් වන යාතාර්ථය දැකීමට බිය නිසාම එය පිළිකෙව් කරමින් දෙපිට කැපෙන දෙබිඩි වචන දොඩමින් "ආතල් " ගන්නට පමණක් උත්සාහ කරන නිසාය.

සමානාත්මතාවය ව්‍යවස්ථාවේ හෝ පාසල් පෙළ පොතේ හෝ තිබී වැඩක් නැත. ඔබට මට මෙන්ම ඔබේ ලෝකයේම වෙසෙන ලිංගික සංක්‍රාන්තින්ටද එය එක සේ පොදු විය යුතුය. අපි සියල්ලෝම හැඟීම් දැනීම් ඇති මිනිසුන් වෙමු. ඒ නිසාම මෙය සටහන් කරමි.

මගේ අන්තිම හුස්ම හෙලන්න කලින් මගේ එකම එක ප්‍රාර්ථනාවක් තියෙනවා. මගේ අම්මා මට "දුව" කියලා කතා කරන කන්.එහෙම කතා කරන දවසක් එනකම් මං මගේ ජිවිත කාලේම බලන් ඉන්නවා.
Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.