Loading

ප්‍රජා භාරකාර අරමුදලේ(Community Trust Fund (CTF) හිටපු, කළමනාකරුවෙක් සහ මානව හිමිකම් ආරක්ෂකයෙක් වූ පට්ටානි රාසික් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරවනු ලබන්නේ 2010 පෙබරවාරි 11වන දිනය. ඉන්පසුව රසීක් ඝාතනය කර සගවා තිබූ ඔහුගේ සිරුර 2011 ජූලි මස 29 දින වාලච්චේන ප්‍රදේශයෙන් හමුවන අතර, රසීක්ගේ පුත් රිස්කාන් විසින්, එය තම පියාගේ සිරුර යයි හදුනා ගන්නා ලදී. මානව හිමිකම් ආරක්ෂක පට්ටානි රාසික් ඝාතනය කර 2021 පෙබරවාරි මස ට වසර 11ක් ගත වෙයි. මේ වසර 11ට පාලක කණ්ඩායම් දෙකක් ලංකාවේ බලය හොබවන ලද මුත්, තවමත් පට්ටානි රාසික් ඝාතනය කළ ඝාතකයින් සොයා ගැනීමට කිසිදු බළධාරියෙක්ට නොහැකි වී තිබේ. රාසික්ගේ සමීපතමයින්, දේශීය, විදේශීය සංවිධාන සහ පුද්ගලයින් කෙතරම් වෙහෙසුනද තවමත් ශ්‍රී ලංකා රාජ්‍යට මානව හිමිකම් ආරක්ෂකයෙක් වූ රාසික්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වී තිබේ. (Read More: https://www.vikalpa.org/article/7412) එහි තවත් විශේෂයක් වූයේ, එවකට, 2010 පෙබරවාරි 11වන දින සිට රාසික් අතුරුදහන් කර මාස 19කට ආසන්න කාලයක් ගත වී තිබුණත්, ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරීකයෙකු වූ රාසික් මහතා ඝාතනය කරන තෙක් ඔහුව සොයා ගැනීමට ලංකාවේ ආරක්ෂක අංශ සමත් වූයේ නැත. අවසානයේ ඔහුගේ පවුලට මෙන්ම සමීපතමයන්ට හමුවූයේ ඝාතනය කර වළදාමා තිබු රසීක්ගේ සිරුර පමණය.

| Pattani Razeek |

මේ පිළිබදව පසුගිය 2021 පෙබරවාරි 1 වන දින රසීක්ගේ පුත් රිස්කාන් තම පියාගේ නඩුවට සාධාරණය ඉටු කිරීම පිළිබඳව නීතිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට ලිපියක් යොමු කළේය. ලිපිය නිමාවන්නේ මෙසේය. “මගේ පියා සම්බන්ධ නඩුවේ ප්‍රගතිය හා තත්වය අපට දන්වන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික ක්‍රියාදාමය කඩිනම් කරන ලෙසත් මා සහ මගේ පවුලේ සාමාජිකයන් කාරුණිකව ඉල්ලා සිටිමු.” ලෙස යි. “අපේ පියා අතුරුදහන් වීම ගැනත්, පසුව ඔහු ඝාතනයට ලක්ව ඇති බව දැන ගැනීමෙනුත් අපි කම්පාවටත්, කණගාටුවටත් පත් වීමු. නඩුවේ තත්ත්වය නොදැන සිටීම සහ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමේ ප්‍රමාදය පිළිබඳව අපි දැන් කණගාටු වෙමු" ලෙස ලිපියේ ආරම්භයේ දී ඔහු පවසයි. කෙසේ නමුත් සති දෙකකට පසුවත්, ලිපිය භාරගැනීමක් හෝ ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කිසිදු බළධාරියෙක් කටයුතු කර නැත. (රුකී ප්‍රනාන්දු - https://groundviews.org/2021/02/17/pattani-razeeks-abduction-and-killing-11-years-wait-for-justice/)

| Razeek’s son Riskhan |

'යහපාලන' කාලය

මේ පිළිබදව 2015 අගෝස්තු 05 වනදා 'විකල්ප' වෙබ් අඩවියට, සමල් විමුක්ති හේමචන්ද්‍ර මෙසේ ලීවේය. '............වඩා වැදගත්ම කාරණය වන්නේ රසීක්ගේ අතුරුදහන් වීම සම්බන්ධව ප‍්‍රධාන වශයෙන්ම සැකය යොමු වූ නිහමත් නම් පුද්ගලයා සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් සිදු නොවීමයි. නිහමත් යනු රසික් රාජකාරි කළ Community Trust Fund (CTF) ආයතනයේ රසීක් දැරු Trustee General of CTF නම් තනතුර දැරු පුද්ගලයායි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් වන්නේ රසීක් පැහැර ගනු ලැබූවන් විසින් කරන ලද කප්පම් කොන්දේසිවල එක් කොන්දේසියක් වූයේ CTF හී වත්කම් පිළිබද තොරතුරු හෙළිදරව් කරන ලෙසත් එම වත්කම් Nujoom Trust නම් අරමුදලට ලබා දෙන ලෙසත්ය. මෙම Nujoom Trust අරමුදල නිහමත් විසින් 2009දී ආරම්භ කරන ලද්දකි. මේ ආකාරයෙන් බලන කළ මෙම අතුරුදහන් කිරිම සහ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට පැහැදිලි සහ ප්‍රභල සාක්ෂි තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වටා ගොඩ නැගුණු ජන බලවේගයේ එක් කේන්ද්‍රීය ඉල්ලීමක් වූයේ අතුරුදහන් කිරීම්වලට සහ මරා දැමීම් වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීමයි. මහින්ද රාජපක්ෂ රජය සමයේ සියල්ලන්ම බියෙන් සිටින විට අතුරුදහන් කරවනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩ නම් තම ස්වාමිපුරුෂයා සොයා සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයා නැවති සිටි අරලියගහ මන්දිරය ඉදිරිපිට පොල් ගැසීමට තරම් නිරභීත වූවාය. වර්තමාන රජය(එකවකට යහපාලන ආණ්ඩුව) බලයට පත් වන්නේ මෙවන් අසාධාරණයට ලක් වූවන් දහස් ගණනකගේ උත්සාහයන් මැදිනි. එම නිසා වර්තමාන රජයට මෙවැනි කාරණ සම්බන්ධයෙන් නොදැක්කා සේ සිටිය නොහැක.'(https://www.vikalpa.org/article/24566)

නමුත්, 'යහපාලනයත්' සිය වසර 5කට ආසන්න කාලය තුළ ඒ කිසිවකටවත් යුක්තිය ඉටු කර නොදී, 'බැස ගියේ' ලැජ්ජා සහගත ලෙසය.

| පට්ටානි රාසික් ගේ අවසන් කටයුතු සිදුකල අවස්ථාව |

කෙසේ නමුත්, මානව හිමිකම් ආරක්ෂක පට්ටානි රාසික් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද්දේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළදීය. එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ය. නමුත් ඒ පාලන කාලය තුළ ද පට්ටානි රාසික් ඝාතනය කළ ඝාතකයා සොයා ගැනීමට රාජපක්ෂ පාලනයට නොහැකි වූයේ ඇයි? නමුත් එවකට අධිකරණ අමාත්‍යවරයා වූ රවුෆ් හකීම්, පට්ටානි රාසික් ගේ අවසන් කටයුතු පැවති 2011 අගෝස්තු 03වනදා මෙසේ පැවසීය.

'මේ පිළිබද කීපදෙනෙක් මා හමුවී මගේ ගන්න පුලුවන් පියවර පිළිබද කටයුතු කලා. නමුත් මම ගත්ත උත්සහයන් හැම දෙයක්ම අසාර්තක උනා. මේ පැහැරගෙන යාමට, ඝාතනයට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගේනවා. මට මේ පිළිබදව සහතික වෙන්න පුලුවන්.' (එවකට අධිකරණ අමාත්‍යවරයා වූ රවුෆ් හකීම්, පට්ටානි රාසික් ගේ අවසන් කටයුතු පැවති 2011 අගෝස්තු 03වනදා)

මේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රභල දේශපාලකයෙක් සම්බන්ධ බවද පුත්තලමේ පැතිර ගිය කතාවක් තිබූ අතර එහි ජනයා, එදවස පවසා සිටියේ, පොලීසිය විසින් සිදුකරන පරීක්ෂණවලටද ඇතැම් දේශපාලකයින් බාධා පමුණුවන බවයි.

ඒ පිළිබද ප්‍රදේශයේ පුද්ගලයෙක් 'විකල්ප' වෙත මෙසේ අදහස් දක්වන ලද්දේ, පට්ටානි රාසික්ගේ මළසිරුර හමුවීමත් සමග පුත්තලමේ දැඩි නොසන්සුන් තත්ත්වයත් ඇතිව තිබු 2011 අගෝස්තුවේදීය.

'පොලීසිය අපිට කිව්වා, අපිට අතගහන්න බෑ, මේක ලොකු තැන්වලින් මේක නතර කරන්න කියලා තියනවා කියලා, ඒ ගොල්ලො ඒකට පැටලෙන්න කැමති නැ කියලා. පුත්තලං ජනතාව ඔක්කොම දන්නවා රිෂාඩ් ඇමති තුමා, ආරක්ෂක ලේකම් තුමාට කියලා මේක නතර කරා කියලා තමයි පුත්තලම ජනතාව සේරම දන්නේ.'(2011 August 03/ Puttalam)

එපමණක් ද නොවේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම්(LLRC) වාර්තාවේද පට්ටානි රාසික් පිළිබද මෙසේ සදහන් වෙයි.(පරිවර්තනය 'විකල්ප')

5.31 ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවලට ගිය අවස්ථාවේ දී මහජනයා විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ චෝදනා අතර, පුත්තලමේ රාසික් පට්ටානි මහතා අතුරුදහන් වීමේ සිදුවීම පිළිබඳව කොමිෂන් සභාව කටයුතු කළ බලාපොරොත්තු සුන් ආකාරය නිසාවෙන්ම එය මෙහි සඳහන් වේ. කොමිෂන් සභාව විසින්ම මෙම සිදුවීම ප්‍රදේශයේ අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබියදීත්, නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයක් නිශ්චිතව ගෙන නොතිබීම, මේ මගින් මනාව පැහැදිලි වේ. කොමිෂන් සභාව සිය වාර්තාව සකසන අතරතුර රාසික් මහතාගේ සිරුර සොයා ගත් බව වාර්තා වේ. කොමිෂන් සභාව මගින් කාලෝචිත ක්‍රියාමාර්ග අනුගමනය කලේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණි.

5:32 පුත්තලම් හි අවතැන් වූවන්ට ආධාර සපයන රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරියෙකු ලෙස කටයුතු කළ රාසික් මහතා පැහැර ගනු ලැබුවේයැයි චෝදනා කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධානය මගින් ඇතැම් වියදම් සිදු කල ආකාරය සහ එහි සමහර අධ්‍යක්ෂවරුන්ගේ නම් යටතේ සමහර දේපල මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීම නිසාය. අධිකරණ නියෝගයකට අනුව පැහැර ගැනීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වූයේ මන්දැයි ප්‍රදේශයේ අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ සැකකරු සිටින ස්ථානය පොලිසිය නොදන්නා බවත් සැකකරු සිටින ස්ථානය මහජනතාව විසින් දන්නේ නම් පොලිසියට දන්වන ලෙසත් ය. සැකකරුගේ “දේශපාලන සම්බන්ධතා” හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම මග හැර ඇති බවට චෝදනා එල්ල විය. මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවන්නේ නම්, එමගින් මහජනතාව තුල පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය මුළුමනින්ම නැති කර දමනු ඇති අතර නීතිය හා සාමය පවත්වාගෙන යාමට මහත් බාධාවක් වනු ඇත. පොලිසිය පාර්ශවයෙන් සිදු වූ අඩුපාඩුකම්වලට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් ද හේතු වී ඇති බවට ද කොමිසම සැලකිලිල්ලට ගෙන ඇත.

(2011 අගෝස්තු 03 වනදා මානව හිමිකම් ආරක්ෂකයෙක් වූ පට්ටානි රාසික් මහතාගේ අවසන් කටයුතු සිදුකල අවස්ථාව සහ ඒ අවස්ථාවේ පුත්තලම ප්‍රදේශයේ ඇති ව තිබූ තත්ත්වය පිළිබද 'විකල්ප' වෙබ් අඩවිය විසින් තැබූ රූපමය සටහනක් පහතින් දැක්වේ. | Video publishd 2011 August 04)

දැන් එවකට අධිකරණ ඇමැති රවුෆ් හකීම් තවමත් පාර්ලිමේන්තුවේ ය. රිෂාඩ් බදියුදීන් එසේම දේශපාලනයේ(?) නිරතව සිටී. එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. එවකට ආරක්ෂක අමත්‍යංශයේ ලේකම් වූ ගෝඨාබය රාජපක්ෂ, වත්මන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාය.

එපමණක් ද නොවේ, පැහැරගෙන ගොස් මරා දැමූ මානව හිමිකම් ආරක්ෂකයා සම්බන්ධයෙන් විශේෂ සදහනක් කර ඇති, උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඇතුලු කොමිසම්වල වාර්තා ගැන නැවත සමාලෝචනය කරන්නැයි 'තවත් කොමිසමක්' ගොඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

මේ සියලු දේ මෙසේ තිබියදී, වින්දිතයන් වූ රාසික් ගේ පුතා වූ රිස්කාන් නීතිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයා වෙත, තම පියාගේ නඩුවට සාධාරණය ඉටු කිරීමට ඉල්ලා යැවු ලිපියට කිසිදු පිළිතුරක් එවීමට තරම් උනන්දු නොවීම තේරුම් ගැනීම පාඨකයාට බාර කරමු!

Created By
Sampath Samarakoon
Appreciate

Credits:

VIKALPA