Loading

පාප්පෙන් නෑවෙන තාප්ප - මිලියන 45 ක මහජන මුදලින් ගැලවෙන ඡන්ද පෝස්ටර්

2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තම නාම යෝජනා ලබා දුන්නේ පසුගිය ඔක්තෝම්බර් මස 7 වන දිනය. එදින සියලු අපේක්ෂකයන් අමතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිලිබඳ පනතේ 74 වගන්තිය යටතේ නාම යෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා හා අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම හා බෙදා හැරීම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලුම අපේක්ෂකයින්ගේ සහ ආධාර කරුවන්ගේ අවධානයට ලක්කරමින් අපේක්ෂකයින් තම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය කළ යුතු ආකාරය සම්බන්ධව විශේෂ සඳහනක් කරන ලදී.එනම්

මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරණ ඡ‍ායාරෑපයක් හෝ එවැනි චිත්‍ර, ජන්ද සලකුණු, ධජ පතාක යන ආදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයට ඒ ස්ථානයේ හෝ ඒ ස්ථානය අසල හෝ විධිමත් ලෙස අවසරය ලබාගත් නිවේදිත ජන්ද කාර්යාල වල නිශ්චිත සීමා කිරීම වලට යටත්ව පමණි යන්නය.

අදාළ නිතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස්, ඒ වන විටත් පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඔක්තොම්බර් මස 8 වන දින,එනම් නාම යෝජනා භාරදීමෙන් පසු දින කොළඹ නගර සිමාව තුළ සහ ඒ අවට විශේෂයෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාව, කිරුලපන පොලිස් බල ප්‍රදේශය, මහරගම, රාජගිරිය සහ බත්තරමුල්ල ඇතුලු නගර කේන්ද්‍ර කරගනිමින් මා විසින් කළ සංචාරය තුලදී පොලිස් නිලධාරින් සහ සේවකයින් විසින් අපේක්ෂකයන්ගේ පෝස්ටර් ඉවත් කර දමා තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකිවිය. විශේෂයන්ම ඉතා විශාල ප්‍රදර්ශන පුවරු ( කටවුට් ) , බැනර් බොහොමයක් ඒ වන විට ඉවත් කොට තිබුණි

පාරක් පාරක් පුරා කිසිදු පාරිසරික සංවේදීතාවයකින් තොරව ඇලවෙන පෝස්ටර් හා විශාල ප්‍රචාරක පුවරු ගැලවීමට පොලිසිය විසින් ගන්නා උත්සාහය බොහෝ දෙනෙකුට සතුට දනවන්නක් විය හැකිය. කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව හා එක්ව ශ්‍රී ලංකා පොලිසිය විසින් එය ක්‍රියාත්මක වීම දක්වා ගෙන ඒම පැසසුම් සහගතය.

මන්ද නිලධාරි තන්ත්‍රයේ සිට සාමාන්‍ය මහජනයා දක්වාම දුෂණය හා අකර්මන්‍ය භාවය ඉහටත් උඩින් තිබෙන රටක, බොහෝ විට අපට ඇත්තේ සුරංගනා වචන පමණක් ම හෙයිනි. එහෙත් අප පිළිගත යුතු සත්‍ය නම් ඒ වන විටත් ඉහත කි නීති ප්‍රතිපාදන කඩකර දැමීමට අපේක්ෂයන් හා ආධාර කරුවන් ක්‍රියා කර ඇති බවය. එසේම කල යුතු පරිසර හානියත් ඒ වන විට සිදු වී අවසන්ය. තවත් කසල තොගයකට ඒවා ලොරි ගණන් එකතු වීම පමණක් සිදු වෙනු ඇත.

එහෙයින් අප නිහඬව සිටිය යුතුද ? මිලියන 45 ක මහජන මුදල්

ඔක්තෝම්බර් 8 වන දිනම පොලිස් මුලස්ථානයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා තිබුණු පරිදි රුපියල් මිලියන 45.8 ක වියදමක් මැතිවරණ සමයේ ඇලවෙන පෝස්ටර් සහ අනෙකුත් නීතිවිරෝධී ප්‍රචාරණයන් ඉවත් කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇස්තමේන්තු ගත කොට තිබේ. එසේම ඒ සඳහා තාවකාලික පදනමින් මේ වන විට සේවකයින් බඳවා ගැනෙන බව හෙතෙම කියා තිබුණි.

ඒ අනුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන සඳහා තාවකාලික පදනමින් සේවකයින් 1045 ක් බඳවා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය වෙත අවසරය ලැබී තිබේ. මැතිවරණ මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවකයින් තිදෙනෙකු බැගින්ද, අනෙක් ස්ථාන වල පොදුවේ සේවකයින් දෙදෙනෙකු බැගින්ද ස්ථාන ගත කිරීමට සැලසුම් කොට ඇතියි ඔහු මාධ්‍යට ඒ අනුව ප්‍රකාශ කොට තිබුණි.

දැන් මේ මිලියන 45 කට වැඩි මුදල් කාගේද? ඒවා යන්නේ කාගේ පොකට්ටුවෙන්ද ? රට සුඛිත මුඛිත කරනවා යයි අපට දිව්‍ය ලෝක පොරොන්දු දෙන ජනාධිපති අපේක්ෂකයන් කරන මේ ප්‍රචාරණයන් ඉවත් කිරීමේ සම්පුර්ණ බර දැරීමට සිදුවී ඇත්තේ මහජනතාව වන අපටය. මේ අතිරික්ත රාජ්‍ය වියදම බැර වන්නේ අපේ ගිණුම් වලටම නොවේද?

සත්‍ය ලෙසම මහජනතාව සම්බන්ධයෙන් මේ කුමන හෝ පක්ෂයක අපේක්ෂකයෙක් සංවේදී නම් රටේ ජනතාව හමුවේ බර පැටවෙන මේ අනීතික ක්‍රියාවලියෙන් මිදීමේ ආදර්ශය සැපයිය යුතුය.

විශේෂයන් මෙලෙස ඕනෑ තරම් සාක්ෂි පෙනෙන්නට තිබිය දීත්, ඒ අපේක්ෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න අප ප්‍රශ්න කළ යුතුය.

පරිසර හිතකාමී ප්‍රතිපත්තියක තම ආදර්ශය ක්‍රියාවෙන් පෙන්වා සිටීමට මහජනයා මේ අපේක්ෂකයන්ට බල කළ යුතුය.

ඔවුන්ගේ වියදමෙන් ඒවා නැවත අය කර ගැනීමක් හෝ දඬුවම් පැමිණවීමක් කරන්නට තරම් අපි ශක්‌තිමත් නොවෙන්නේ මන්ද යන්න අප නැවත නැවත සිතිය යුතුය.

රැළියක් අවසානයේ නගර සභා සේවකයින් ලවා කුණු එකතු කොට, පරිසර හිතකාමිත්වය ගැන ලොරි ටෝක් දී මහජනයා රවට්ටන අපේක්ෂකයන්ගේ ඊනියා ප්‍රදර්ශනයන්ට යට නොවිය යුතුය.

ඒ නිසාම අප වෙහෙස විය යුත්තේ කුණු අයින් කිරීමට වඩා කුණු නිර්මාණය වීම වැලක්වීමට හැකි සමාජයකි.

එහෙත් මේ ජනාධිපතිවරණයටද එවැන්නෝ ඉදිරිපත්ව ඇත්තේ ද යන්න මේ මහජන මුදල් කාබාසිනියා කිරීමේ ව්‍යාපාරයට දායක වී ඇති අපේක්ෂකයින්ගේ පුර්ව හැසිරිමෙන්ම ඔබට නිගමනය කළ හැකිය.

Created By
Ishara Danasekara
Appreciate