Loading

පොර්ට් සිටියට යටවුණු ආණ්ඩුවේ පොට කොහෙටද ? "ධිවර ප්‍රජාවේ මළගම" හෙවත් "පොර්ට් සිටි බිල්ලට" එරෙහිව 2017 නොවැම්බර් 26 වන දින මීගමුවේ බසියාවත්තේ පැවති ජනතා විරෝධතාව

අපි අපේ වෙරළ ආරක්ෂා කරන්න ඕනි. පොර්ට් සිටි හැදුවොත් කොළඹ ඉදන් හික්කඩුවට මුළු වෙරළම නැතිවෙනවා.අපේ ජනාධිපති මෛත්‍රී වුණායින් පස්සේ, අපේ ආණ්ඩුවක් යටතේ පොර්ට් සිටිය ගොඩ නැගීම නතර කරනවා -රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ නායක -වත්මන් අග්‍රාමාත්‍ය,

2015 ජනාධිපතිවරණ පොරොන්දු , මහා මැතිවරණ පොරොන්දු , යහපාලන ආණ්ඩුව , නීල හරිත අයවැය, දින 100, දුෂණ වංචා විමර්ශන, එකී නොකී වචන ගොන්නට වසර දෙකක ඇවෑමෙන් එක්වෙමින් යන වචනයක් බවට පමණක් මේවන විට පොර්ට් සිටියද පත්වෙමින් යයි. මිට කලකට ඉහතදී වත්මන් අග්‍රාමාත්‍ය එවකට විපක්ෂ නායකවරායව සිටියදී කරන ලද ඉහත ප්‍රකාශය අපට සිහිගන්වන්නේ දැන් මේ රට පාලනය කරන්නේ එතකොට ඔවුන්ට ද ඕනෑ විදියට නොවේද යන්නය. දැන් ඇත්තේ රනිල්මෛත්‍රී ආණ්ඩුවක් නොවේද යන්නයි. ඒ සියල්ලටම වඩා නැත්නම් ජනතාව වන අපිට ඕනෑ හැටියකට මේ ඔක්කොම සිදුවනවාද යන්නය. එහෙත් ඇත්තටම ජනතාව වන අපට නම් සිදුවී ඇත්තේ ජන්දය ද දී 225 ක් වූ පාර්ලිමේන්තු බබාලන්තයද නඩත්තු කරමින් සුප්පු පැළඳ අඩමින් සිටින එකී උන්දලා වෙනුවෙන් පාරට බැස කෑගසන්නටය. යහමග යන්නට බලකරන්නටය. සත්‍යග්‍රහ, උපවාස කර ජනතාව නොනිද සිටින බව නැවත නැවත මතක් කරන්නටය.

බැලු බැල්මට උඩ අතට අනාගතයේ ඉදිවීමට නියමිත මේ ඉහලට එසවුණු අපුරු කුලුණු දනවන්නේ ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඉහල ස්ථානික අගයක මංසලකුණු යයි කෙනෙකුට කිව හැකිය. එසේ වුවත් මතුපිට අර්ථයෙන් එහාට ගිය කතාව ඊට වඩා කුණු ගඳ ගහන්නකි. කටුක යථාර්තයක තරම කෙසේද යත් අද වන විට නම් මෙලෙස පෙනේනට නියමිතව ඇත්තේ ලංකේය ජන ජිවිතයේ විශේෂයෙන්ම ධිවර ජනයාගේ සොහොන් කුළුණු වල දිග පළලේ තරමේ බවය.

අහිතකර පාරිසරික තත්වයන් ඇතිකරමින් පොරොන්දු කඩකරමින් පරිසර තක්සේරු වාර්තා නොතකමින් දියත් කරමින් ඇති පොර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව දිගින් දිගටම විශේෂයෙන්ම ධිවර ප්‍රජාව හා එක්ව ධිවර , පරිසර, සිවිල් මෙන්ම ආගමික සංවිධාන පවා කොතෙකුත් විරෝධතා දක්වමින් සිටියත් ඒ පිලිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය නම් ඉතාම ඛේදනිය එකකි.

ජනතාව පවසන අන්දමට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මිගමු නගර සභා පිටියේදී පොර්ට් සිටියට එරෙහිව දියත් කළ මාරාන්තික උපවසයේදී ධීවරයන් හා බලධාරීන් අතර සිදුවූ ඒකඟතාවය වුයේ වෙරලේ සිට කිලෝමිටර් 10කට එපිටින් පොර්ට් සිටියට අවශ්‍ය වැලි ලබා ගැනීමටය.
එහෙත් එයද ජනතාවට කළ කොකා පෙනීවීමකින් වී හමාර වී බව දැනගැනීමට ලැබී ඇත්තේ 2017 සැප්තැම්බර් මස 20 වන දින මේ සම්බන්ධව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවීමට පොර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් ගිය අවස්ථාවේදීය. අදාළ බලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ඇති නීතිමය බලතල අනුව පොර්ට් සිටියට වැලි කැණීම සඳහා කිලෝ මීටර් 5ක දුරින් සිට අවසර ඇතිබවත් මාරාන්තික උපවාසවල ඒකඟතවන් තමන්ට කිසිසේත් අදාළ නොවන බවත්ය.

ඒ සමඟම වෙරළේ සිදුවන ඛාදනයන් සීග්‍ර වෙමින් පවතින අතර බසියාවත්ත ප්‍රදේශයට අමතරව වැල්ල වීදිය ප්‍රදේශයද, තලාහේන පේරුවේ වෙරළ තීරයද සීග්‍ර මුහුදු ඛාදනයකට ලක්ව ඇති බව ගුගල් සිතියම් අධ්‍යනය කළ විට පෙනීයයි. Map Here

තත්වය එසේ තිබියදී රජය කටයුතු කරන ආකාරය පිලිබඳ ධිවර ප්‍රජාව සමඟ එක්ව විරෝධතාකරුවන් තම දැඩි අප්‍රසාදය ඊයේ දින 2017 නොවැම්බර් 26 වන දින මීගමුවේ බසියාවත්තේ සංවිධානය කරන ළද විරෝධතාවයේදී ප්‍රකාශ කළහ.

අප වනසා සනසන්නේ කාවද ?

ධිවර කර්මාන්තයේම හා ධිවර ජනයාගේම මළ ගමට වලවල් හාරමින් සිටින ආණ්ඩුව දැන් කරන්නට යන්නේ කුමක්ද?

ආණ්ඩුවේ සිටින පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මුල් යෝජනාව වැලි ඝණ මීටර 650ක් ගැනීම සඳහා අවසර ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙවන් තත්වයක් තුළ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළුකොට ඇති යහපාලන හම පෙරවා ගෙන සිටින "ගැන් එක" අසත්‍ය කොට ඇත්තේ තමන් විසින්ම ජනතාව හමුවේ තමන්ගේ මුවින්ම කළ ප්‍රකාශයන් මෙන්ම එවකට පෙන්වාදුන් ප්‍රත්‍යක්‍ෂයන් ද වීම හාස්‍යට කරුණකි.

වසර දෙකක් යන්නට මත්තෙන්ම ආණ්ඩුවේ ඇහේ පොට ගෙවීම නිසා දුරදකිනා නුවන මොට්ට වී යාමෙන් තමන් බලයට පත්කළ ජනතාව අමතක වීම නම් යහපත් නොවන්නේ පොර්ට් සිටියට මුවාවී මුනුවත රකිමින් සිටියහොත් ආණ්ඩුව තම අවසන් නුල්පොටද ගලවාගන්නා දිනය වැඩි ඈතක නොවන නිසාය.

ඒ නිසාම ජනතාව අදටත් මේ රජයට හා බලධරයන්ට යළි යළිත් මතක් කර සිටින්නේ මෙයයි

වෙරළ අයිති නුඹලාට නොව අපටයි !
Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.