Loading

සුන් බුන් වැ ගිය ජිවිත අතර ඇවිද ගියෙමි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මසකට පසු මඩකලපුව සියොන් දේවස්ථානයේ සිට

එදා උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන් බුන් වැ ගිය ජිවිත පමණි. ඒවා ගැන මා ලියන්නේ මොනවද? මම අද උදෑසන අවදි වුයේ මීට මසකට පෙර මගේ ජීවිතය හා දැන් මගේ ජීවිතය අතර ඇති වෙනස මෙනෙහි කරමිනි. මට මගේ ආදරණියන් අහිමි වී තිබේ. මට මගේ නිදහස අහිමි වී තිබේ. මට මගේ මිත්‍රත්වයන් අහිමි වී තිබේ. කණපිට හැරි ගිය ජිවිත දිනෙන් දින මට මුණ ගැසෙමින් තිබේ. ජීවිතය අනියත බව හැබෑවකි. එහෙත් මගේ ජිවිත කාලය තුළ නැවත නැවත මිනිසුන්ගේ ජිවිත හරා පාදමින් මෙලෙස ඇවිද යන්නට වේ යයි මා සිතුවේ නැත.

නළලේ විභුතී ඇඳි හුරුබුහුටි ඔහු පියාගේ අතේ එල්ලෙමින් පල්ලියේ ගේට්ටුව අසලට පැමිණියේය. මා සිටියේ සුන් බුන් අතර ඇවිදිමිනි. මා ඔහුට අත වැනුවෙමි. ඔහු හීන් හිනාවක් සලමින් මා අසලට පැමිණියේය. මඩකලපුව සියොන් දේවස්ථානයේ අසල්වැසි නිවසේ මව, පියා සහ වැඩිමල් සොයුරිය සමඟ ඔහු පදිංචිව සිටියේය. ඔයාගේ නම මොකක්ද ? ඉමේයානන් ඔහු ශබ්දය නොනැගෙන සේ මට කිවේය. වයස? 14 යි ඔහු කඩිනමින් කිවේය. දැන්ම ඔහු මා සමඟ හිතවත් වී ඇත.

මං දැන් එනකොට බැනර් එකේ දැක්කේ. එදා මගේ අතට චුටි බබෙක් දුන්නනේ ඉනිමගෙන් උඩ ඉඳලා. එයාගේ අත ළඟ චුටි ලේ පැල්ලමක් විතරයි. කොහේ වත් තුවාල තිබ්බේ නෑ, ඒ වුනාට හෙල්ලුනේ වත් නැති හින්දා මන් බයට අම්මගේ අතට දුන්නා ටක් ගලා. එයාගේ රූපේ තිබ්බා බැනර් එකේ දැන්. දැනන් හිටියේ නෑ මං. යනකොට ඔයාට පෙන්නන්නම්

ඔහු කියාගෙන ගියේය. මා ගල් ගැසිණි. ඒ ජීවිතය. ඔහු ඒ කියන්නේ හුස්ම ගත් ජීවිත ගැනය . දැන් එවන් කතා වලින් මගේ කන් අගුල් වැටි තිබේ. ඒ නිසා ම යළිත් ඒවා ඔබට නොලියමි.ඉමේයානන් ප්‍රමිලාගේ එකම පුතුය. ඔහු පල්ලියේ ඔබ මොබ සැරිසරමින් මේ ඉතුරුව ගිය කැළැල් දෙස බලයි.

මැවිලා පේනවා මට. මායි තාත්තයි බයික් එකේ ඉස්සෙල්ලම ආවේ පල්ලියට සද්දෙයි දුම් යන්නේ ඇයි කියලයි බලන්න
දුව රෑට බය වෙලා දවස් ගානක් රෑ නිදා ගත්තේ නෑ. පල්ලිය ඉස්සරහින් යන්න බැරුව තිබ්බ නිසා අපේ ගේයි පල්ලිය අතරෙයි තිබ්බ පිටිපස්සේ තාප්පේ කැඩුවා අපි මිනිස්සු ගන්න,මන් හිතුවේ ෂෙල් එකක් කියලා. ඉස්සර ඒ සද්දේ හුරුයි. ඒත් අවුරුදු 10 කට පස්සේ එහෙම වෙන්න විදියක් නෑනේ. පස්සේ තමයි පල්ලියේ දුම් යනවා දැක්කේ, මන් මහත්තයට කිව්වා ඉක්මනට ගිහිං බලන්න කියලා. පස්සේ අපි ඔක්කොම ආවා.

එතැන් පටන් ඔබත් මමත් දන්නා කතාවය. ඇතැම් විට නොදන්නා කතා ඇතුළේ ඔබත් මමත් වරු ගණන් හොරෙන් කඳුළු පිසදමින් දිවා රෑ දැන් මාසයක් පුරා අසන කතන්දරය. ජිවිතය තත්පරයකින් වෙනස් වී තිබේ. මා ජිවිත අහිමිව ගිය දරුවන්ගේ අම්මාවරුන්, සහෝදරයන්ගේ සහෝදරියන්, සැමියන්ගේ බිරින්දෑ වරුන් හමුවීමට නොගියෙමි.

අහිමි වීම් ගැන වැලපෙමින් සිටින මිනිසුන්ගෙන් මා නැවත අසන්නේ මොනවාද ?

ඒවා අසන්නට මට දිරියක් ද, ඒවා වචන වලට පෙරළා දහස් හිත් පාරන්නටද මට ඕනෑ නැත. එහෙත් ඒ වෙනුවට ඔවුන් ඉතිරි කොට ගිය පුංචි පුංචි මතක සමඟ සැරිසැරුවෙමි. පල්ලියේ තැනින් තැන ඇත්තේ ඒවාය.

ඒ අතර එක්කෝ තැනින් තැන වැටි ගිය බාටා කෑලිය, නැත්නම් දේව වැකි, පැන්සල්, පෑන්, පොත්පත්ය, නැත්නම් පාස්කුව වෙනුවෙන්ම මිලදී ගන්නට ඇතැයි සිතිය හැකි සපත්තු, කාසි, පිච්චි ගිය ෆොටෝ කෑලි අතර මිනිසුන්ගේ ලේ තැවරී දැන් කළුව ගොස් ඇති පොළොව මම දුටුවෙමි.

එදා උදෑසන දේවස්ථානය කොහොම තියෙන්නට ඇද්ද?

දරුවන්ගෙන් පිරි ඉතිරි ගිය, සිනහ රැළි ඇසෙන , ගීතිකා ගැයෙන, සැරසිලි, පහන්, සුවඳ පිරි ජිවයකින් මේ භුමිය වෙළාගෙන තිබුණු බවට ඕනෑ තරම් සාක්ෂි මට හමුවිය. ඒ බොහෝ තැන් වලින් මගේ කැමරා කාචය මම හිතා මතාම ඈත් කළෙමි.

ඒ අතර පාස්කු සැමරුමට එදා සකස් කර තිබු ආහාර තැනින්ප තැන පනු ගහනයට යටත්ව තිබෙනවා මම දුටුවෙමි

සියොන් දේවස්ථානය

මේවා නොලියා සිටිමින් මට මේ සත්‍ය වසන් කළ නොහැකි හෙයින් මා වචන වලට පෙරළිය නොහැකි මගේ සිතුවිලි අකුරෙන් අකුර ලිවිම වෙනුවට මගේ හැඟීම් මෙලෙස කැමරාවේ ලියා තැබුවෙමි.

දෙවියන් කොහිදැයි මම කල්පනා කළෙමි. එයට පිළිතුරක් මම නොදනිමි.ඒ වෙනුවට මා දුටුවේ නරුමයන් ක්ෂණයකින් විනාශ කළ මනු ලොවය.

මිට පෙර බුලට් වැදී හිල් වී ගිය බිත්ති මා වැඩි හරියක්ම දැක ඇත්තේ උතුරේ හෝ වන්නියේය. දැන් ඒවා සුලබ ලකුණු වී දැයි මට සිතේ. පිපිරිම හමුවේ මේසා විශාල කොන්ක්‍රීට් හා දැවැන්ත ගල් බැමි පළුදු වී ඇති තරමට එහි සිටි මිනිසුන්ගේ ලේ මස් ඇට නහර ගැන මා ඔබට අමුතුවෙන් ලිවිය යුතු නොවේ.

මං එනකොට බයික් එකක් ගිනි ගන්නවා. ඉස්සෙල්ලම කළේ එක අයින් කරන එක. ගින්දර පුපුරල යන නිසා. මගේ අතේ මිනිස්සු 3 දෙනෙක් නැතිවුණා.අපි පුලුවන් තරම් දේවල් කළා. කවුරුත් හරියට දැනන් හිටියේ නෑ මොකද වුණේ කියලා. බෝම්බයක් කියල නම් කියට වත් මන් හිතුවේ නෑ, එක පාරකුත් පල්ලියේ සවුන්ඩ් සිස්ටම් එක පිපිරිලා ඔය වගේ සද්ධයක් ආවා, මන් හිතුවේ ආයෙත් එහෙම වෙලා වෙන්න ඇති කියලා. කට්ටිය එක එක කතා කිව්වා. කොළඹත් පුපුරලා කියලා දැනගත්තේ පස්සේ.පැයකට විතර පස්සේ තමයි දැන ගත්තේ සුවිසයිඩ් බෝම්බර් කෙනෙක් කියලා.

එසේ කියන්නේ ඉමේයාන්ගේ පියාය, ප්‍රමිලාගේ සැමියා වන ඔහු නගුලේෂ්වරන් ය.

නගුලේෂ්වරන් ඇතුලු පල්ලිය අසල ජිවත් වූ සියලු අසල්වැසියෝ ප්‍රහාරයේ ගොදුරු බවට සෘජුව පත් වූ පවුල් වල අය සේම තවමත් එකී කම්පනයෙන් පෙලෙති. ප්‍රහාරය එල්ලවන මොහොතේ පල්ලිය ඉදිරිපිට තම නිවසේ මිදුලේ වාඩි වී සිටි අසල්වැසියෙකුගේ එක් කනක් දැන් ශ්‍රවන ආබාධිත තතත්වයට පත් වී ඇති බවද ඔහු මා සමඟ කිවේය.

මේවා නැවත නැවත නොලියන්නට මට වුවමනා වී තිබේ. එදා පාස්කු ඉරිඳාවේ දහසක් බලාපොරෝත්තු පොදී බැඳ පල්ලියට ගිය මිනිසුන් නැවත නිවසට ආවේ නැත. ඒ වෙනුවට මිනිසුන් මළ සිරුරු ලෙස පැයෙන් පැයට ගණනය විය. නැවත ආ මිනිසුන්ගේ හදවත් සිදුරු වී තිබුණි.

මම උපතින් බෞද්ධයකු වීමි.ගෙවී ගිය වෙසක් සතියම මා ගත කළේ අතීතය විසින් අපට අහිමි කළ මිනිසුන්ගේ සුසුම් මැද දැන් ජීවිතය ගෙවා දමන මිනිසුන් සමඟය. එහිදී සිංහලයෝද, දමිලයෝද මුසල්මානුවෝ ද යන සියල්ලෝම මට මුණ ගැසුණි.

මා සියොන් දේවස්ථානයේ ඇවිද ගිය පියවරක් පියවරක් පාසා නැවත කල්පනා කළෙමි.

නැවත එන්නට පිටත් වූ මට මගේ හදවතේ බර හොදොටෝම දැනුණි. මම ඇවිද යන අතරේ ආයෙත් කල්පනා කළෙමි.

මුලින් ජාතියේ නාමයෙන් පැමිණි මර බිය දැන් ආගමේත් ජාතියේත් යන නාමයන් යන දෙකේම ඈදී බළල් අත්වලින් මෙහෙය වෙමින් තිබේ. අප අවදි විය යුත්තේ මේ හැඩුම් නැවත නොවෙන්නටය. මේ රිදුම් නැවත නොවෙන්නට මිස අපේ රිදුම් අනෙකා පිට යැවීමට නොවේ. අපේ මනුෂ්‍යත්වය අප නැවත නැවත පරික්ෂා කළ යුතුව මේ මොහොත ගෙවෙමින් තිබේ.

ඔය ඔතන බලන්න. එයා තමයි ඉන්නේ.

මම සියොන් දේවස්ථානයේ පියවරක් පියවරක් පාසා දුරට ගිය සිතුවිලි වලින් අවදි වීමි. ඒ ඔහු කි බැනර් එකය. ඉමේයානන් මට පෙන්වන්නේ ඔහු කලින් කී ඔහුගේ අතේ සිටි සිගිති දියණියගේ රුවකි. ඇය දැන් ඇත්තේ දෙව් මරුලේ තුරුලේය. ඒ කිතුණු භක්තිකයන්ගේ විශ්වාසය විය හැකිය . බැනරය පුරා මා දුටුවේ ඈ පමණක් නොවේ. බොහෝ සිගිත්තන් එහි විය . ඒ නිසාම කිව යුතු යමක් නොදන්නා මා ගොලුව බලා සිටියෙමි.

ආදරය ඕනෑවටත් වඩා වපුරන්නට තැනු තැන් අපට තිබියදී අප ඉතිහාසය පුරාම ඒ වෙනුවට වපුරා ඵළ නෙලා ඇත්තේ වෛරයේ ය.

අප දෙවියන් දකින්නේ කොහිද? මම නැවත මගෙන් ඇසුවෙමි. මම නොදනිමි.මම මිනිසුන් සොයමි. මගේ රටේ මිනිසුන් මට තවදුරටත් අහිමි කරගත නොහැකිය.

පල්ලියෙන් නික්මෙන්නට මොහොතකට පෙර ආදරය, ප්‍රේමය නැවත මට හමුවිය. එහෙයින් මනුෂ්‍ය බලාපොරොත්තුවක් මම කැමරාවේ සටහන් කොට ගත්තෙමි.

Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.