Loading

ඔබට සතුටුයිද දැන් ? ඔවුන් අසා තිබුණා 2019 මැයි මස 13 වන දින මිනුවන්ගොඩ, හෙට්ටිපොළ ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කොට ගනිමින් ජාතිවාදී මැරයන් විසින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික ස්ථාන සහ පුද්ගලික ව්‍යාපාර හා දේපල වලට හානි පමුණු වමින් මුදා හළ භීෂණයේ ශේෂ

මේ වෛරය ඇති කළේ සම්පුර්ණයෙන්ම මාධ්‍ය වලින්. මේකට මුල ජනමාධ්‍ය තමයි ...

මිනුවන්ගොඩ ජුම්මා මුස්ලීම් පල්ලියේදී, මා සමඟ කතා කළ එක මුස්ලිම් සහෝදරයෙක් කියාගෙන ගියේය.

පසුගිය මැයි මස 13 වන දින සිට මා මේ සටහන ලියන මොහොත වන විට මාසයක් ගත වී තිබේ. මීට මාසයකට ඉහත දී ජාතිවාදීන්ට උපේක්ෂා සහගත වන සිංහල රාජ්‍ය ආරක්ෂාව යටතේ නැවත වරක් ඇඳිරි නීතියත්, හදිසි නීතියත් එකවරම ක්‍රියාත්මක වන මොහොතක, පාස්කු ප්‍රහාරයේ ගිනී නිවා ගැනීමටත් ප්‍රථම ව්‍යාජ ජාති ආලවකයින් තම හිලෑ නොවී ගිය අමු සොහොන් බලකා වල යකුන් නැගිටුවා ගෙන ගිනි පෙළහර දක්වා මුසල්මානුවන්ගේ දේපල හා ආගමික ස්ථාන නැවත වරක් විනාශ කොට තිබුණි. එය දැන් අලුත් අත්දැකීමක් නොවේ.

මේක පටන් ගත්තේ 21 වෙනිදා නේ. ඊට පස්සේ මාධ්‍ය වල ගිය ඒවා තමයි මේකට මුල. අපි කැමති සිංහල මිනිස්සු එක්ක හොඳට ජිවත් වෙන්න. ගොඩක් මාධ්‍ය වල ගිය ඒවා තමයි මිනිස්සුන්ට කා වැදුනේ. ඒ ගොල්ලෝ මුස්ලිම් ජනතාව ගැන සැකයක් ඇතිකළා. අපි ත්‍රස්තවාදියෝ කියලා මතයක් ඇතිකළා. මොනවා හරි කිව්වා ගමන් චෙක් කරලා අත් අඩංගුවට ගන්නවා, ඊට පස්සේ ගොඩක් වෙලාවට ප්‍රශ්න කරලා රිලීස් කරනවා. හැබැයි ඒවා කවදාවත් දාන්නේ නෑ, ඒ ගොල්ලෝ ත්‍රස්තවාදීන්ද? මිනිස්සු හිතන්නේ අම්මට හුඩු මුන් ත්‍රස්තවාදියෝ කියලා, ඒවා ගිහිල්ල ගිහිල්ලා හිතට කා වැදිලා අනිතිමට මිනිස්සු තරහ වුනා.

වසරක් පාසා උනුන්ගේ විනෝදයට තැන් තැන් තෝරාගෙන ජාතිය ඔද වඩා ගැනීමේ සටන් පාඨ පෙරමුණේ තබාගෙන මේ උන්මත්තකයින් තම න්‍යාය පත්‍ර වලට මිනිසුන් ඈදා ගනිමින් තිබේ.සාක්ෂි ඕනෑවටත් වඩා වැඩියෙන් ඇති නිසාම ඒවාට නීතිය ක්‍රියාත්මක වන්නේම නැත. අනෙක් අතට කොතරම් සිසිටිවී දර්ශන ඇතත් ජඩ මාධ්‍ය, අනෙක් වා මෙන් එම දර්ශන වල මුණු රවුම් කොට පෙන්වන්නේ නැත.

කුරානය ළඟ තබා ගැනීම හේතුවෙන් , කෙටි කතාවක් ලිවීම හේතුවෙන් ‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේ නඩු කර ගොනු කර, ඇප ලබානොදී රඳවා ගනිමින් තිබෙන රටක සත්‍ය ලෙසම වෛරී චේතනාවෙන් වාර්ගික ත්‍රස්තවාදය වැපිරූ පිරිස් අත් අඩංගුවට ගන්නේ ඇඳිරි නීතිය කඩ කිරීමේ වරදටය. ඒ නිසා ඒ අයට ගියාටත් වඩා ඉක්මනින් ඇප ලැබේ. ඒවා හාස්කම්ය. බොහෝ තැන්වල ඒ ඇඳිරි නීති කඩ කරන්නේ ද පොලිසිය ලඟ පාත සිටින විටය. ඒ මදිවාට ඒවා නොපෙනීමට තරම් පොලිසිය අන්ධය.

බොහෝ තැන්වල ඒ ඇඳිරි නීති කඩ කරන්නේ ද පොලිසිය ලඟ පාත සිටින විටය. ඒ මදිවාට ඒවා නොපෙනීමට තරම් පොලිසිය අන්ධය.

දැන් එදා මන් දැක්කා පෙන්වනවා මිනුවන්ගොඩ , සුළු සිද්ධියක් වුණා. ඇඳිරි නිතිය දාල තියෙනවා කියලා කියනවා. ටවුමේ මෙච්චර කඩ සම්පුර්ණයෙන්ම කඩවල් පුච්චලා තියෙනවා. අද වෙනකන් එක මිඩියා එකකින් වත් හරියට මේ එකක් වත් පෙන්නලා නෑ. මේ වෛරය ඇතිකළේ මාධ්‍ය වල ප්‍රවෘත්ති වලින්, පිහියක් තිබ්බම හෙඩ් ලයින් දාපු මාධ්‍ය මෙච්චර දෙයක් වෙලා කටක් හෙල්ලුවේ නෑ

මිනුවන්ගොඩ, කොටඹපිටිය , හෙට්ටිපොල ආදී ප්‍රදේශ වල දී මා හමු වූ බොහෝ මුස්ලිම් සහෝදර සහෝදරියනට කියන්නට තිබුනේ එකම කතාවකි. ඒ බොහෝ දෙනාම මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය දෙකක හැසිරීම සම්බන්ධයෙන් තම කනගාටුව ප්‍රකාශ කළහ. අන්තවාදයට තල්ලුවෙමින් සිටින සමාජයකට මාධ්‍ය තවදුරටත් යහමින්ම පොහොර දමමින් සිටින බව නම් අපි හොදාකාරවම පසුගිය කාලය පුරාම දුටුවෙමු.

මන් කඩේ ඇතුළේ ඉන්න කොට 6.15 විතර මගේ සිංහල සහෝදරයෙක්, මෙහෙ ඉදන් 2 km විතර අතින් ඉන්න ඉන්නේ එයාලා. එයාගේ වයිෆ් ඉදලා ඉඳලා තියෙන්නේ පොළොන්නරුවේ ඒ වෙලේ. එයාගේ වයිෆ් දන්නවා මමයි එයයි ආශ්‍රය කරනවා කියලා . එයා මට පොලොන්රුවේ ඉදන් කෝල් එකක් දීලා කිව්වා.මේ මල්ලි ඉක්මනට යන්න කඩේ වහලා.මිනුවන්ගොඩට ගහන්න කට්ටියක් එනවා කියලා. එතරම් අපි හිතවත්
අපි දවසට බිස්නස් එකක් කරොත් 99% ක් එන්නේ ඒ අය. මන් දැන් අවුරදු 25 ක් ටවුමේ බිස්නස් කරන්නේ. එතරම් තිබ්බ හිතවත් කම් පිච්චිලා ගියා. වේදනයි 21 වෙච්ච දේ අපි කවුරු වත් හිතපු වත් නැති දෙයක්.ඒකට කිසිම දෙයක් නොදන්නා අපි මොකද කරන්නේ, ඔහු කියාගෙන ගියේය.

එයට පිළිතුරක් ඇතත් එය මට ඔවුන් වෙත කියන්නට බැරිය.පාස්කු ප්‍රහාරය දඩ මීමා කරගෙන මෙරටේ එදා සිට ගත වී ඇති කාල පරාසය තුළ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ වෙනම න්‍යාය පත්‍රයකි. ඒවායේ පුංචි ඉත්තන් බවට පමණක් මෙරටේ සියලු පුරවැසියෝ නොදැනුවත්වම පත්වෙමින් තිබේ. මුස්ලිම් සමාජය වෙත මුදා හැරෙන දරුණු ෆොබියාවකින් වේලි ගොස් ඇති ලාංකේය මහා සමාජය දැන් දැන් ආහ්ලාදය ලබන්නේ ඔවුන් වෙත අයුක්තියේ ගල්මුල් විසිකිරීමෙනි.

ඊටත් වඩා ඔවුන් අත්විදින රාජ්‍ය ආසාධාරණය කොතෙක් ද යත් , හානියට පත් දේපල, රස පරීක්ෂක විසින් තක්සේරු කොට අවසන් කිරිමටත් මත්තෙන් මිනුවන්ගොඩ නගර සභාව විසින් පිරිසිදු කිරීමේ කම්කරු නිලධාරින් හානියට පත් ස්ථාන වෙත ඒවා තිබුණු අතර ඔවුන් විසින් සුන් බුන් ඉවත් කිරීමට පටන් ගැනුණි.

එය සියසින්ම මම දුටුවෙමි. සියල්ල සුන්දු බුන් වී දුම් රොටු පමණක් නැගෙමින් තිබුණු නමුත්, ඒවා නිසි ක්‍රමවේදය යටතේ තක්සේරු වී නොතිබෙන තත්වයක් තුළ එසේ කරන්නට අනුමැතියක් නගර සභාවට දිය හැකිද ? ජනතා විරෝධය මැද එම කටයුතු ප්‍රමාද කරන්නට ඒ අනුව ඔවුන්ට සිද්ධ විය.

ගෑනු අයට එළියට බහින්ඩ බෑ . බෙහෙත් එක ගන්ඩ බෑ. සතියකට කලින් අපේ ළමයි දෙන්නටම අසනිප වෙලා. අඩුවෙන්නේ නෑ. අපේ වයිෆ් කියනවා එන්ඩ බෑ කියලා. ඒ ගොල්ලන්ට පුරුදු වෙලා තියෙන්නේ වහගෙන ගිහින් නේ, මුහුණ වහන්නේ නෑ එයා. අබයා ඇදගෙන යන එක, ඒත් එක එක හොස්පිටල් වලින් ප්‍රශ්න අවානේ.ඊට පස්සේ ඒ ගොල්ලෝ එන්න බෑ කියනවා, පස්සේ දරුවෝ දෙන්නම අරගෙන මට තනියම යන්න උණා

මා හමුවුන තවත් අයෙක් කිය. මේ සියලු දෙනාගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට මම පොරොන්දු වූ හෙයින් මම මේ සත්‍ය ඔවුන්ගේම වචන වලින් පමණක් මෙහි ලියා තබමි. ස්ත්‍රීයගේ ඇඳුම තීරණය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් මට ඇත්තේ වෙනමම පෞද්ගලික අදහසකි. එය මෙහිලා නොව වෙනමම සාකච්ජා කළ යුත්තකි. රාජ්‍ය , ආගම, ජාතිය හෝ පුර්ෂ කේන්ද්‍රීය සමාජය විසින් නොව එය ස්ත්‍රියගේ අභිරුචිය මත ගොඩනැගිය යුත්තක් බව මගේ කියවීමයි . එහෙත් මේ උදා වී ඇත්තේ ව්‍යාජ බියක වෙලා තබමින් ස්ත්‍රිය තවදුරටත් , විශේෂයෙන් පුරුෂ කේන්ද්‍රීය සමාජ ආස්ථානයක සිටින මුස්ලිම් ස්ත්‍රිය තව දුරටත් එහිම සිර ගත කරමින්, ඇගේ අනන්‍යතා ලක්ෂණ වලට සෘජුවම බලපෑම් ඇති කරන තතත්වයකි. එය විසින් පිඩාවේ අත්‍යන්තයට පත්වන ප්‍රජාවක නැවත ප්‍රති උත්තර දක්වනු ඇත්තේ කෙලෙසද ?

මිනුවන්ගොඩින් නික්ම යන මෙහොතේ නගරය මැද සිංහල කඩ අතරමැද මුස්ලිම් කඩ මට ඉතා හොඳින් තෝරා බේරා ගත හැකිව තිබුණි.

එක්කෝ ඒවා ගිනි ගෙන දැවී ගොස්ය, නැත්නම් ඒවායේ විදුරු කැඩී බිමට පතිතව ගොස් තිබුණේය.

ඒ අතර තෝරා බේරා ගත්තද ගින්න පැතිර යාමෙන් හානි වූ සිංහල කඩ හිමියන් සිටිනු ද දක්නට ලැබුනෙන් ජාතිවාදය කෙතරම් අන්ධවාදයක් ද යන්න පැහැදිලිව පෙනුණි.

බලාපොරොත්තුවේ අරුණැල්ලයි රටට

එසේ ලියා තැබූ ඉතා විශාල කටවුට් කීපයක්ම, ඊළගට හෙට්ටිපොළ නගර පිවිසුමේදී මම දුටුවෙමි.

අරුණලු කෙසේ වෙතත් ඒ අයගේ නම්, මේ ප්‍රහාර වල ගිනි දළු නංවන්නට නම් සහාය දී ඇති බව බොහෝ සාක්ෂි වලින් අනාවරණය වේ. අදාළ අය වලුන් , ප්‍රහාර වලට සම්බන්ධ පුදගලයින් වෙනුවෙන් සෘජුවම ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒවා ගැන අදටත් පරික්ෂණයක් වත් සිදුවනවා දැයි වාර්තා වන්නේ නැත.

තම්බි එපා

ශ්‍රී ලංකාවේ විශාලම පැස්ටා කර්මාන්ත ශාලාවේ ඉදිරිපස ගිනි තැබුවෝ එසේ ලියා ගොස් තිබුණි. දේශීය ආර්ථිකයට තම දායකත්වය සපයන, රැකියා අවස්ථා ගණනාවක් උදා කර දී ඇති එකී කර්මාන්ත ශාලාව ගිනි බත්වන අයුරු අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වනවා මමද මීට පෙර දුටිමි. මම මොහොතක් කල්පනා කලෙමි. මගේ හොඳම මිතුරිය රකිසාය . මගේ ජඩ කම් ඉවසන ආත්මීය සගයා නිශාත්ය. තම්බින් මගේ ජිවිතේ ආදරයම නොවේද? ආදරය, පාරක් පාරක් ගානේ ලියා යා යුතු මගේ රටේ වෛරය ප්‍රසිද්ධියේම ලියා ගොස් තිබේ.

මැරයන්ට මුකුත් ගත්තේ නෑ, අපිට තමයි ගැහුවේ .. අපේ මුස්ලිම් ජාතීන්ට ගැහුවා,ගහලා එලෙව්වා.. වෙඩි තිබ්බා, ඒ සිද්ධි සේරම කරලා තමා කළේ. සෙනඟ ඔක්කොම ඇවිත් මේවා ගිනිතියලා ගිහින්, ඇඳිරි නීති , හදිසි නීති ඔක්කොම තිබ්බනේ,ආණ්ඩුවෙන් කියල වතුර බවුසරයක් ආවේ නෑ, අපිට එන්න දුන්න නම් වතුර බාල්දියක් වත් ගහලා නිවා ගන්නවනේ , ගිනි ගන්ඩ කලින් මෙතන තිබ්බේ වාහන පාර්ට්ස්, ඔයිල් මාර්ට් එකක්. දවස් තුනක් දැන් ගින්දර පත්තු වෙනවා. දැන් අපිට ජිවත් වෙන්ඩ කිසිම දෙයක් නෑ

මොහොමඩ් අබ්දුල් බාරි, කුරුණෑගල හෙට්ටිපොල කොට්ඹපිටිය පදිංචි වෙළඳ ව්‍යාපාරිකයෙකි, දවස් තුනක් ඉනික්බිති අප එහි යන විටත් ගිනි දැල් වලින් දුම් රොටු අහසට යමින් තිබුණි.

තාම කවුරුත් ආවේ නෑ, මේ ඔක්කොම පිච්චිලා ගියාම ආයේ මොනවද තක්සේරු කරන්නේ
කඩේ ඇතුළට ගහගෙන ආවා. මට බය හිතුනා, මං ළමයි ටිකත් අරන් පැන්නා එලියට. ඊට පස්සේ සද්දයක් ආවා බෝස් ගාලා. කඩේ ගින්දර පත්තු වුණා.

ඔහු බලාපොරොත්තු විරහිතව බලා සිටියේය. ඒ වනවිටත් කැමරා කාචයේ සටහන්ව තිබු බොහෝ දෑ නිසා මාද හෙම්බත්ව සිටියෙමි. හෙට්ටිපොල, කොටඹපිටියේ සිංහල බෙහෙත් බඩු විකුණපු අස්ලම් මුදලාලි, තම කුඩා කඩයටම අළලා තිබු නිවසේ සිට කිසිවක් ඉතුරු වී නැතත්

ළමයි ටික බේරුනානේ මට ඒ ඇති යයි කිවේය.

ගිනිදැල් අතර රැදි බොනික්කෙක් ඒ අතර මගේ නෙත ගැටිණි.

පොලිසියෙන් හිටියා, ඒ වුනාට ඒගොල්ලෝ මේ බලාගෙන හිටියා,එයාල කිව්වා අපිට ඔයාලා කොහොමහරි ගිහින් ආරක්ෂා වෙන්න කියලා, එලියට බහින්ඩ එපා ගේ ඇතුලටම වෙලා ඉන්ඩ කියලා

පුටු කැබැල්ල ඇරෙන්නට ගේ හරියේ කිසිදෙයක් නැත. මේ ජාතිවාදී උන්මත්තකයින් මේ මිනිසුන්ගෙන් පළිගැනීමට යන්නේ පාස්කු ඉරිදා එල්ලවුණු ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙසද ?

ගහපු අය ගමේ නෙවෙයි කියන්න බෑ, අනිත් දවසේ ඇවිත් ගහපු අයම කම්පා වෙලත් ගියා. අපිට හිතා ගන්නත් බෑ.මේ වැඩිහරියක් ණයට බඩු ගත්ත මිනිස්සු

රාජ්‍යයයේ ඇස් පියවි ඇත. කන් ඇසෙන්නේම නැත. පුරවැසියෝ තම අභිමතයෙන් යටින් දිවෙන උසිගැන්වීම් වලට නොදැනුවත්වම තම ශක්තිය ලබාදෙමින් සිටින්නෝය. අයාලේ ගිය රටක ශේෂ හැර කිසිවක් ඉතුරු වී නැත. පාස්කු ප්‍රහාරයට තවත් අපට ඉගැන්වීමට පාඩම් නැත.එහෙත් අප ඉගෙන ගෙන නැත.

ඔවුහු බියෙන් ගොළු වීද, කම්පාවෙන් සිත් රිදිමෙන්ද බලා සිටියහ. එහෙත් හැඟීමි වචන වලට පෙරළි තිබෙනු දකින්නට හැකිවිය.

රාජ්‍ය පාලනයේදී අප වෙත ඒමට නියමිත හා පැමිණ ඇති අලුත් විපත්තින්ද හදුනා ගැනීමට අපේ පාලකයන්ට ගෝචර නුවණක් තිබිය යුතුය. රාජ්‍ය පාලනයේ පරිණත බව ඇත්තේ එතැනය. හෙල්මට් පැළද , මුණු වසා පැමිණි මැරයන් ගේ ඊළඟ පැමිණීම චෝකලට් කෑල්ලක් මෙන් රසවත් නොවනු ඇත. ඒවාට සුදානම් විය යුතුය . එහෙත් ඒ සුදානම මේ රාජ්‍යට තවමත් ඇත්තේ නැත

මීට හරියටම වසරකට පෙර දිගන නගරය කේන්ද්‍ර කරගනිමින් ජාතිවාදී මැර කල්ලි විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් "නුවරින් මෙපිටට නෑසුණු කතා" නමින් මා විසින්ම ලියන ලද ජායාරූප සටහන අවසාන කරමින් එලෙස සටහන් කොට තිබු බව දුටුවේ මා මේ සටහන තබන්නට පෙරය. අවාසනාවකට මට එය නැවත ලියන්නට සිදු වී තිබේ. අප ඇතුලතින් ඉක්මනින්ම ප්‍රතිස්ථාපනය විය යුතුව තිබේ. එසේ නොකළ හොත් අපේ අදුර වැඩි ඈතක නොවන කනගාටුවෙන් යුතුව වුව ලියා තබමි.

එදා මිනුවන්ගොඩින් එන්නට පෙර දුම් රොටු නැගෙමින් තිබුනු සුන් බුන් අතර පිලිස්සි ගිය බෝ කොලයක් මා නෙත ගැටිණි. එය උත්ප්‍රාස ජනක නොවේදැයි මට දැන් සිතේ.

Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.