Loading

ශ්‍රීලංකාවට මාධ්‍ය නිදහස සඳහා වූ දිනය යනු කුමක්ද ? 3 May 2018 |World Press Freedom Day #WPFD18

අද ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ වූ දිනයයි. එනම් World Press Freedom Day ලෙස සෑම වසරකම මැයි මස 3 වන දින ලොව පුරා රටවල් ගණනාවක් ජනමාධ්‍ය නිදහස සඳහා වූ දිනය සැමරීම සිදුකරයි. එහෙත් 2018 වසරේදී ලොව පුරා ජනමාධ්‍ය වලට මෙන්ම එහි නිරතවන්නන් වන ජනමාධ්‍යවේදීන්ටත් විශේෂයෙන්ම ලිපිය පුරා සාකච්ජාවට බදුන් වීමට නියමිත හා අවධාරණය කරන ලංකාවේ තත්වයද ඇතුළුව ලොව පුරාම ජනමාධ්‍ය නිදහස සැමරීමට සිදුව ඇත්තේ කටුක තත්වයක් තුළය .

ඉතාම නුදුරේදී, එනම් මීට දින කීපයකට ඉහතදී ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් වාර්තා වූ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 9 දෙනෙකුත්, තවත් වෙඩි තැබීමකින් 1 අයෙකුත් ඇතුළුව 10 දෙනෙක් සැලසුම් සහගත ලෙසම ඝාතනය කොට තිබේ. ඒ අනුව ඉහත කී ලෙසම ලෝ පුරා අප 2018 ලෝක ජනමාධ්‍ය නිදහස සමරන්නේ මෙවන් වාතාවරණය.

මුලික වශයෙන් ලෝක මාධ්‍ය නිදහස පිලිබඳ වූ දිනයක් ප්‍රකාශයට පත්වන්නේ 1993 දෙසැම්බර් මස දී පැවතී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදීය. ඒ එම වසරේදී පැවති එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන , විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO ) නිර්දේශයන් මත පදනම්වය. එදා සිට අද දක්වා ජාත්‍යන්තර වශයෙන් ලොව පුරා රටවල් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරති. ඒ අනුව ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය ලෙස වෙනම දිනයක් නම් කොට ගෙවෙන 25 වන වසර බවට 2018 පත් වේ.මුලික වශයෙන්ම මෙහිදී

1. මාධ්‍ය නිදහස පිළිබඳ වූ මුලික ප්‍රතිපත්තීන් සැමරීම

2. ලොව පුරා මාධ්‍ය නිදහස පිලිබඳ වූ තත්වය තක්සේරු කිරීම

3.මාධ්‍ය නිදහස වෙත එල්ලවන බලපෑම් හා ප්‍රහාරයන් වළක්වාගැනීම

4. තම යුතුකම් හා වගකිම් ඉටු කිරීම නිසා ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ජනමාධ්‍යවේදීන් වෙත පෙළගැසී උපහාරය දැක්වීම සිදුවේ.

2018 වසරේ ජනමාධ්‍ය නිදහස සඳහා වන දිනයේ තේමාව වශයෙන් "මාධ්‍ය , යුක්තිය හා නීතියේ ආධිපත්‍ය :පරික්ෂාව සඳහා බලය තබාගැනීම" ලෙස දක්වා ඇත. ඒ අනුව මේ වසරේ තේමාවෙන් ජනමාධ්‍ය නිදහස සඳහා නීතීමය පරිසරය තුළ ඉඩ හසර වෙන්කර ගැනීමත්, නිදහස් අධිකරණ පද්ධතියක් තුළ නිදහස් මාධ්‍යක් වෙනුවෙන් වන තහවුරු කරගැනීම වගකීම් සහගත කරගැනීමත්, මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද අපරාධයන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රියාමාර්ග ගැනීමත් අවධාරණය කෙරෙනු ඇත.

එසේම ස්ථාවර සංවර්ධනයක් සඳහා මාධ්‍යයේ කාර්යභාරය, විශේෂයෙන්ම මැතිවරණ පැවැත්වෙන අවස්ථාවන් හි මුර බල්ලන් මෙන් (Watch Dogs ) කටයුතු කරමින් ඒවායේ විනිවිද බව, නීතියේ පාලනය කෙරෙහි දැක්විය යුතු මාධ්‍ය වගකීම පිළිබඳවද මෙම තේමාව ඔස්සේ අවධාරණය කෙරේ. එසේම මෙම තේමාව ඔස්සේ භාෂණයේ නිදහස සහ අන්තර්ජාල තොරතුරු , අන්තර්ජාල කථනය නියාමනය කිරීම සම්බන්ධව වන අවදානමත් ඒ සඳහා වන නීතීමය පරතරයන් පිළිබඳවත් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වේ.

ඉහත කරුණු මත පදනම්ව සළකන කළ 2018 වසරේ තේමාවට අදාළ බොහොමයක් කරුණු පවතින ලාංකික සංදර්භය තුළ සත්‍යවශයෙන්ම යට ගැසෙමින් පවතින කතිකාවත් සහ පමා වෙමින් පවතින යුක්තිය ඉටුවීමේ කාරණයන්ට සෘජුවම අදාළය .

ඒ අනුව ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය ලෙස වෙනම දිනයක් නම් කොට ගෙවෙන 25 වන වසර බවට 2018 පත් වේ.

තේමාවෙන් මාධ්‍යයේ දැක්විය යුතු මාධ්‍ය පදනම්ව

Reporters Without Borders විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවට අනුව 2018 වසරේදී ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වූ දර්ශකයේ 131 වන ස්ථානයට පත්ව ඇත. එනම් පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 10 කින් දර්ශකයේ ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත. එහෙත් එයින් සියල්ල නිමාවන්නේ නැත. ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක් වීමේ සිදුවීම් වාර්තා නොවීම ඇතුළු ප්‍රගතිගාමී තත්වයන් මත එය සිදු වී තිබුණත් වෙබ් වාරණයන් මෙන්ම භාෂණයේ නිදහස අර්ථකථනය කරගැනීමේ ගැටළුකාරී තත්වයන් ගණනාවක් මෑත කාලය පුරාම දක්නට ලැබුණි. අනෙක් අතට මෙවර ලෝක ජනමාධ්‍ය නිදහස දින තේමාවද වන විශේෂයෙන් ලංකාව තුළ පසුගිය වසර කිහිපය තුළ ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍ය සේවකයන්ට වෙත එල්ල කල කිසිදු අපරාධයකට මේ දක්වා කිසිවෙකුවත් නීතිය හමුවේ වරදකරුවෙකු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. Commitee to Protect Journalists (CPJ) අනුව ශ්‍රී ලංකාව තුළ 1992 සිට ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 19 ක් බව දක්වා තිබේ. කෙසේවෙතත් 2004 සිට 2010 දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව Journalists For Democracy In Sri Lanka (JDS ) වාර්තා කරයි.මේ සම්බන්ධ දීර්ඝව කරුණු සහිත ලිපියක් මීට පෙර විකල්ප විසින් #ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ යනුවෙන් ද සම්පාදනය කොට තිබේ.ඒ අනුව දැන් මෙහි ප්‍රධාන ගැටලුව කුමක්ද?

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ මියගිය,බලහත්කාරයෙන් අතුරුදහන් කළ , පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් කිරීම (End Impunity )ය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒවා අමතක වී ඇතුවාක් මෙන්ම යහපාලනය වසර 3 කින් මහලු වී ඇත්තේ ඒ කිසිදු යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියකට සාධාරණයක් ඉටු කරමින් නොවේ.

ඒ වෙනුවට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීමට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති හමුදා නිලධාරින් නිදහස් කල යුතු යයි අධිකරණ ආයතනවල අඩව් අල්ලන, ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත අධිකරණ සංකීර්ණ තුළදීම තිත්ත කුණුහරුප කියා බැන වැදීම් කළ ඇතැම් චීවරධාරීන් මහේස්ත්‍රාත් උසාවියකින් වරෙන්තු නිකුත් කොට තිබියදී රටේ ජනපතිවරයා නිල සංචාර කරමින් සිටින විට අමතන රැස්වීම් වල අහඹු ලෙස ඉදිරි පෙළ අසුන්ගෙන සිටිමින්ද , නැවත පෙරළා ගුවන් තොටුපලින් මෙරටටම පැමිණ , බන්ධනාගාරවලට ඇතුලු ජාතිවාදී නායකයින්ගේ සුව දුක් බැලීමට යාමෙන්ද, ඉන් අනතුරුව නිල වශයෙන් රජයේ කාර්යාලවල තේ බොමින් ඇතැම් අමාත්‍යවරුන් සමඟ නිල සාකච්ජා පවත්වමින්ද, රාජ්‍ය වෙසක් උත්සවයට සෘධියෙන් වැඩමකොට බණ දේශනා කරමින්ද සිටින්නේ කෙසේදැයි අපි නොදනිමු. ඒ අනුව දැන් යුක්තිය ඉටුවීමේ බලාපොරොත්තුව පවා අපට තබා ගැනීමට සිදුව ඇත්තේ යහපාලනය නම් නොකෙරෙන දීගය මතය.

ලසන්ත, සිවරාම්, කුගනාදන්, පොද්දල ආදී කොට අද හෙට අනිද්දා දැන් අපි තවදුරටත් දින, සති, මාස , අවුරුදු ,දශක ද ගනිමින් සිටිමු. ඒවා එකින් එකට ඔබ වෙත ලියා තැබිය හැකිය. අප මිට පෙරද ඔබ වෙත ලිව්වෙමු . හැකි සෑම විටම මෙන්ම බොහෝ දෙනා නොලියන විටද, කතා කරන්නට මැලි වන විටද අපි ලිව්වෙමු.දැනුදු ලියමු.

එහෙත් අවසාන වශයෙන් අපට කිරීමට සිදුව ඇත්තේ අපහසුම කොටසය; දැන් අප නැවත මාධ්‍ය නිදහස හෝ වේවා කිනම් හෝ නිදහසක් වෙනුවෙන් කැපවෙන සමාජයක් වෙත බලාපොරොත්තු අත නොහැර සිටීමේ ව්‍යායාමය ප්‍රගුණ කල යුතු යයි හැඟේ. ඒ මෙවන් වාතාවරණයක් තුළ මාධ්‍ය නිදහස සඳහා වන අර්ථවත් සාකච්ජාවක් හෝ ගොඩ නැංවීමේ හැකියාවක් අපි සතු වේද? යන දෙගියාවද සිත් තුළ බලවත් ලෙසම හොල්මන් කරමින් සිටින විටදීය .

2019 මැයි 3 ද තවත් එක් ජනමාධ්‍ය නිදහස සඳහා නම් කරන ලද දිනයක් පමණක් ම වේද ? එය එසේ නොවන්නට බලකිරීමේ දැවැන්ත අභියෝගය ඇත්තේද අප හමුවේය. දැන් යුක්තිය අප සොයා නොයෙන අතර අප යුක්තිය කරා යා යුතුව තිබේ.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.