Loading

මරදන්කනි වසරක් ! මව්වරුන්ගේ කතා

උතුරේ යුද්ධයෙන් පසුව අතුරුදහන් වූ දරුවන්ගේ, එම පවුල් වල ඥාතීන්ගේ ඉල්ලීම් ගැන කතා කිරීමත්,ඒවා ගැන සංවේදී වීමත් , ඒ ගැන ලිවීමත් NGO වැඩක් බවට මෙරට සමාජය විසින් මේවන විට හංවඩු ගසා හමාරය. ඔවුන් ගැන ලිවිම ඩොලර් ඉපැයීමක් බවට අර්ථ කථනය වී තිබේ. ඒ නිසාම මේ ගැටලූවේ ඇති මුලික ආමන්ත්‍රණයන් සියල්ල යටපත් වී තිබේ. ඒ අනුව පොදු ලාංකේය සංදර්භය තුල අතුරුදහන් වීම් කොතෙකුත් වී ඇතත් උතුරේ සිදු වූ සියලු අතුරුදහන් වීම් ලංකාවේ පොදු අතුරුදහන් කිරීමි යන විශ්විය කුලකයෙන් වියුක්ත කොට තැබීමට මෙරට පාලකයෝ ඇතුළු සියල්ලෝම වග බලා ගනීති.අනෙක් අතට රාජ්‍ය මඟින් කරන ළද අනෙක් සියලු අතුරුදහන් වීම් හෙළා දකින බොහෝ දෙනෙක් උතුර වෙනුවෙන් පෙනී සිටීමට බිය වෙති. ඇතැම් ප්‍රගතිශීලින් ලෙස පෙනීසිටින බොහෝ දෙනෙකුටත් උතුර බිල්ලෙකි. ඒ නිසාම ඒ විෂය අත පත ගෑම නුවණට හුරු දෙයක් නොවන බවට බොහෝ දෙනෙක්ගේ හැසිරීමෙන් පෙනීයයි. මෙවන් වතාවරණයක් තුළ කෙසේවෙතත් අතුරුදහන් වුවන්ගේ ඥාතින් විසින් ආරම්භ කරන ලද සියලු උපවාසයන්ට පිළිතුරු නොමැතිවම වසරක් පිරි තිබේ. කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය,මුලතිව් නගර ප්‍රධාන කොට පැවති දිවා රාත්‍රී දීර්ඝතම උපවාසයන්ට දැන් දින 366 ක් ඉක්මවා තිබේ. මෙසේ තිබියදී 2016 අංක 14 දරණ පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාලය වෙත සභාපතිවරයෙක් ඇතුළු නිලධාරී මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ ජිනීවා හි මානව හිමිකම් සැසි ආරම්භ වීමත් සමඟ 2018 පෙබරවාරි මස 28 වන දිනය. එහි ආරම්භය සටහන් කරමින් අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ (OMP) සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මාර්තු මස 13 වන දින තම ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කළේය.

2017 දෙසැම්බර් මස ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම කාර්යාලයට තෝරා ඉදිරිපත් කරන ලද නම් ලයිස්තුවේ ඔහුගේ නම මුලින් සඳහන් නොවුනත් මෙම ක්‍රියාවලියට ජනාධිපතිවරයා විසින් අතරමැදි කාලය තුලදී සාලිය පිරිස් පත් කොට තිබේ. එසේම පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ජනපතිවරයාගේ නිල කාලය වසර 6 ක් යයි යන්නට තර්කය ඉදිරිපත් කලේ ද මොහුය. ඒ අතර 2018 වසර සඳහා OMP වෙත අයවැයෙන් බිලියන 1.4ක් ද වෙන් කොට තිබේ.මේ සඳහා ආයදීපා පුන්‍යමුර්ති , මේජර් ජෙනරාල් මොහන්ති පිරිස් , ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරක් රහීම්, සෝමසිරි ලියනගේ සහ කනපතිපිල්ලේයි වෙන්තන් යන අය අනෙකුත් සමාජිකයන් ලෙස පත් කොට තිබේ.

කෙසේවෙතත් අතුරුදහන් වුවන්ගේ අරගලය පුරාම එම ඥාතීන් විසින් OMP වෙත තම අකමැත්ත දැඩි ලෙස ප්‍රකාශයට පත් කොට තිබුණි. මේ කාලය පුරාම ඔවුන් බලාපොරොත්තු වූ ලෙස රජය කිසිදු පියවරක් නොගෙන තිබිම පිලිබඳව ද මෙම පිරිස් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි අතර අතුරුදහන් වුවන්ගේ කාර්යාලය වෙත තම විශ්වාසය පළ කිරීමට කිසිසේත් එකඟ වුයේ නැත. දැන් මේජර් ජනරාල් වරයෙකුද පත්කොට ඇති තත්වය හමුවේ මෙය නොපිළිගන්නා තැනටම පත් වී තිබේ. ඒ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කරගත් සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත අතීතයට බලනොපාන අතර පනත බලාත්මක වන්නේ ඉදිරියටය. ඒ අනුව අතීතයේ සිදුවූ අතුරුදහන් වීම වල වගකීම ගන්නේ කවුද? ඒ පිලිබඳව යුක්තිය ඉටුවන තෙක් මේ ගිනි අව්වේ මහා පාරේ සිටින සමිපතමයන්ට ලැබෙන්නට නියමිත පිළිතුර කුමක්ද ? ඊටත් වඩා දැන් යුද්ධය නිමා වී වසර 09 ක් ගෙවෙන්නට තවත් මාස 2 ක් පමණක් තිබියදීත්, යහපාලනයට ද වසර 3 ක් ගෙවී තිබියදීත් දින ගණන් කරමින් තවමත් මේ ජිවිත මහපාරේ ය.

ඒ අනුව අද දිනට ප්‍රධාන නගරයෙන් ඔබ්බෙහි වඩමාරච්චි නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් මරදන්කනි හි තම දරුවන් , සහෝදරයන් , සැමියන් බිරින්දෑ වරුන් ලෙස අතුරුදහන් ව ගිය 165 දෙනෙකුට ආසන්න පිරිසකගේ ඥාතීන් විසින් ගෙන යනු ලබන උපවාසයට දින 365කි.ඒ අනුව මරදන්කනි ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද දින ඔවුන්ගේ විරෝධතාවය පැවැත්වේ.

දැන් මා මේ ජයාරූප සටහන තබන්නේ ඔවුන්ගේ උපවාසයට දින 343 ක් පිරෙන දින ඔවුන් හමුවීමට ගොස් මා හා බෙදා හදා ගත් කරුණු මත පදනම්වය. මා එහි යනවිට දිවා කාලය එළඹ තිබු අතර නගරයෙන් ඉපිට හුදෙකලාව පිහිටි මරදන්කනි උපවාසය ක්‍රියාත්මක වුයේ මාර්ගයට ඔබ්බේ අයිනට වන්ව පිහිටා තිබු ගසක් යට පොල් අතු හෙවිලි කොට තිබු කුඩා මඩුවකය. පිවිසුම අසල සියලු දෙනා තම සෙරෙප්පු ගලවා තිබුණි.උතුරේ පොලවට අවේනික වැලි සහිත බිමක් එහි විය. සැවොම පැදුරු එල බිම වාඩි වී සිටියහ. ප්ලාස්ටික් පුටු කීපයක් පැත්තක විය. එක අම්ම කෙනෙක් පමණක් පුටුවකට බරදී සිටියාය.

මෙතැන් සිට පැය 3 කාලයක් ඔවුන් සමඟ ගෙවමින් ඔවූන් විසින් කියන ලද බොහොමයක් දේ මෙහි මම සටහන් කරමි. ඒවායේ පිළිවෙලක් නැත. මාද පිළිවෙලකට සටහන් කරන්නේ නැත. එහෙත් ඒවා හිතුළු නොවේ. වසර ගණනක් කැකැරෙමින් තිබු හදවත් හැමදාමත් කියන්නට බලා සිටි ඒවාය. ජීවිතය හා ගැටෙමින් ලබාගත් පරිඥානයන්ය.දුක්ඛ දෝමනස්සයන්ය.

මුලින්ම කතාවට වැටුනේ ඇයයි.

භාෂාව අපිට අපේ කතාව කියන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, ඒත් දැන් ඉගෙන ගන්න පුළුවන් මතකයක් නෑ . මෙහෙම ඉන්න ගියොත් කොහොමටත් නැතිවෙයි. D.S මේ දවස් 343 ටම මෙහෙ අවේ 1 පාරයි. G.S නම් 3 පාරක් ඇවිත් ගියා. හැමෝම හිතනවා අපිට අවුරුද්දක් වාඩිවෙලා ඉන්න පිස්සු කියල. ඒත් එහෙම නෑ.ආණ්ඩුව මාරු උනාට පස්සේ මොන හරි වෙයි කියලයි අපි හිතුවේ.ඒත් මෛත්‍රීයි මහින්දයි දෙන්නම එකයි,ඒගොල්ලෝ දෙන්න රහසින් එක එක්කෙනා කතා කරනවා ඇය කියාගෙන ගියාය .

කණ්ඩායම් නායිකාව වූ ඇය නැවත කටහඬ අවදි කළා ය.

යුද්ධය වෙලාවේ අපේ දරුවෝ මැරුණා නම් අපිට තේරුම් ගන්න පුළුවන්.යුද්ධෙකදී එහෙම වෙනවනේ. ඒත් ඊට පස්සේ උන මේ දේවල් .... අපි කැම්ප් වලට ගිහිල්ල බලපු අයත් ඉන්නවා. එකපාරටම නැතිවුණා. සමහරු පවුල් පිටින්ම හමුදාවට දරුවෝ භාර දුන්නේ

ඉන් අනතුරුව සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීමට ඔවුහු කොළඹට ගිය ගමන ගැන ප්‍රකාශ කළහ.

හදහන ඇරෙන්න අපිට ඉතුරුවෙලා තිබ්බ ලියකියවිලි ඔක්කොම අරන් ගියා.උදේ 11ට එනවා කියලා අවේ 3ට. අපි පරික්ෂා කරලා කැන්ටිමක තියල තිබ්බ.ඒත් කමක් නෑ කියල අපි හිටියා. අන්තිමට මගේ කාලේ කවුරුත් නැතිවෙලා නෑ කියලා ඔස්ටින් ප්‍රනාන්දුට ලියවිලි භාර දීලා එතුමා ගියා.දිස්ත්‍රික්ක 8 කින් කට්ටිය ඇවිත් හිටියා. එක්කෝ අපේ දරුවෝ මරුනනම් ඒ කොහොමද කියල අපිට දැනගන්න ඕනි. ගොඩක් අය කියනව අපේ දරුවෝ රට පැනල කියල. අපි කියන්නේ රටින් පිටට නිකන් යන්න බෑනේ, යනවනම් පාස්පෝර්ට් තියෙන්න ඕනි.එහෙම ගත්තනම් රජයේ ළඟ විස්තර තියෙන්න ඕනි.අපිට දැනගන්න ඕනි කොහොමද කියල

මේ ප්‍රකාශ නොසලකා හරිය හැක්කේ කෙසේද ? මේවා බරපතලය එමෙන්ම සත්‍යය. මඟ හැර ගිය ජනපතිවරයාට නම් එය මතක නොතිබූනා විය හැකිය .

මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉන්න කාලේ ඒ ඇමති මණ්ඩලේ දැන් ජනාධිපති හිටියනේ.එතකොට එයාට මගේ කාලේ ඒවා උනේ නෑ කියල මග ඇරලා ඉන්න බෑනේ මව්වරු එක හඬින් කියා සිටියහ.

ඇත්ත ,ඔහුට කෙසේවත් අත පිස දමා සිටීමට අයිතියක් නැත.

මේ තවත් මවකි , ඇය තම අත තිබු කහපැහැති ටියුලිප් බෑගයෙන් වහා කුඩා දිනපොතක් අතට ගෙන පිටුවක් පෙරලා මා දෙසට දික් කළා ය. "ආමි" යනුවෙන් එහි දෙමළ අකුරින් අංකයට යටින් සටහන් කොට තිබුණි

බලන්න,මේ නොම්මරෙන් මගේ පුතා කෝල් කලා මට 2012 ජුලි මාසේ දවසක. එයා කිව්ව තවත් අය එයා එක්ක ඉන්නවා, අපිට අදින්න ඇදුමුත් නෑ කියලා. ඊට පස්සේ මට ආයේ එයාට ඒ නොම්ම්රෙන් කතා කරන්න බැරිඋනා,වැඩ කලේ නෑ .එයාල මගේ දරුවා අරන් ගියේ යුද්ධෙන් පස්සේ,ඔක්කොටම වඩා මට දරාගන්න බැරි ඒකයි ඇය කිවාය.

උතුරේත් දකුණේත් අම්මාගේ දරු දුක එකමය. උතුරේ අම්මා ඒ අව්වට කළු ගැහි ගියාට ඇයට ඇත්තේද දරු කැක්කුමය. ජිවිතේ ගෙවාගන්නට ඇති ඉතිරි එක දවසකට හෝ තම දරුවා නැවත දැකීමේ බලාපොරොත්තුව පමණක් ඔවුනට තිබේ.

මේ කතා බහ සිදුවන අතරම මෝටර් බයිසිකලයක් එහාට මෙහාට යනු පෙනුණු අතර ඔවුන් එයට සිනා වී ප්‍රතිචාර දැක්වුහ

මෙතෙන්ට කවුරු හරි අවොත් CID එකෙන් බයික් එකෙන් රවුමක් යනවා. මගේ ගෙදර කඩේ බෝඩ් එකක් තියෙනව . එකේ මගේ නොම්මරේ තියෙනව. ඒ නිසා එයාල මගේ නොම්මරේ දන්නවා. උපවාසයට දවස් 300 පීරන දවසේ මට කෝල් කරලා ඇහුව අද මුකුත් කරන්නේ එහෙම නැද්ද කියල,මං කඩේ වැහුවොත් කෝල් කරලා අහනව කොහෙද ගියේ කියල

ඇය අවසන අගේ පුතු ගැන කියන්නට පටන් ගත්තාය.

මගේ පුතාට අවුරුදු 14 දී SHELL SHOCK ඇවිත් (PTSD) ඉස්කෝලේ ගියේ නෑ. එයාට එයාගේ නමයි අම්ම කියලයි ලියන්න පුළුවන්. එයා අතුරුදහන් වෙනකොට වයස 21 යි. දැන් වයස 29 ක් වෙනවා මං ළග හිටියනම් . පිටින් බලද්දී කිසිම වෙනසක් එයාගෙන් පෙන්නේ නෑ .ලස්සනයි. එයා දැන් ආවොත් මට අදුනගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. එත් මේ කකුලේ බෝතල් කටුවක් ඇනිච්ච් තුවාලයක් තියෙනව.එකෙන් අනිවාර්යයෙන් අදුන ගන්න පුළුවන් මට එයාව

මේ කතා සියල්ලම අසා සිටි එක නිහඩ මවක් සුසුම් හෙලමින් සිටිනු මම කිප වතාවක්ම දුටුවෙමි. නිහඩව සිටි ඇය කතා කලේ ඉතාම ටිකකි.එහෙත් මුළු හදවතම මේ ජායාරූප හරහා කතා කරන බව නැවත නිවසට පැමිණ මේ ජයාරූප බැලු මට සිතුණි .

“ අපි කොහොමද නඩු කියන්නේ, ඒකෙන් අපේ ළමයින්ට වෙන සෙතේ මොකක්ද ? අනික උදේ හවස මෙතෙන්ට 8KM බස් එකේ එන්න අපි සල්ලි හොය ගන්නෙත් බොහොම අමාරුවෙන්. අපි කොහොම නඩු කියන්නද ?

මම ගල් ගැසී ගියෙමි. මේ ජිවිත වල ඇති බලාපොරොත්තු මං කෙසේ නම් ලියා හමාර කරන්නද ? මම වහා දෙනෙතට නැගුනු කදුළු සගවා ගත්තෙමි.මගේ සටහන එකින් නෙක අහුලා ගත් තැන්වලින් වියවුණු රටාවක් බවට පත්ව තිබේ. එහෙත් මේ කතා ඇසුරින් කියැවෙන්නේ වසර 30 ක් නොකියවුණු කතා ය.මෙරටේ පාලකයන්ට පොදු මහජනයාට නොඇසුණු කතාය. එක අතකින් එය මේ රටේ හරස් කඩකි. අනෙක් අතින් පාලකයන්ගේ රාජ්‍ය පාලනයේ තතුය . මේවා මග හරින්නට බැරි සත්‍ය වන්නේ ඒ නිසාය.ඔබද මේ හඩට ඇහුම් කම් දිය යුතු යයි මා සිතන්නේ එහෙයිනි.

මරදන්කනියට අදට වසරකි ! හෙටට තවත් දවස් 366ක අවසානයකි ! එහෙත් ඉන් පසු ඔවුන් එන්නේ කවදා ද? මේ දෙනෙත් වල ඇති එකම එක බලාපොරොත්තුව දකුණේ ප්‍රබුද්ධයන්ගේ බර වචන වල ඇති ස්වයං තීරණය , බලය විමධ්‍යගතකිරිම හෝ ඊළාමය, ජාතිකවාදය හෝ අන් කිසිවක් නොව සතුටින් එකම එක දවසක් තම දරුවන්, තම සැමියන්, තම සහෝදරයන් සමඟ එකට සිනා සි පොංගල් බත් කටක් කන්නට පමණි. ඒ දවස උදා වන තුරු මේ දෑස් පියෙන තුරු බලා සිටින බව නම් ඒකාන්තය. ඒ හයිය මේ දැඩි හිරු රැසින් පිච්චි ගිය ජිවිත වල තවමත් ඇත.

මා නැවත කොළඹට එනතුරුම පැමිණියේ මේ සිතුවිලි වල වරෙන් වර හැපෙමිනි. මේ බිම මිනිසුන්ගේ ඇඩුම් වලින්ම සැදුම් ලත්තකි. රතු පාටින් වැගිරි ගිය රිහිරු කොතෙකුත් ඇද්ද ? ඒවා මේ පොළොවට උනා මුල් බැසගෙනය . එහෙත් ඊට උඩින් මිනිසුන්ගේ තුවාල වලට තාවකාලිකව මැහුම් දමා සංවර්ධනයේ කාපට් අතුරා තිබුණි. යාපනයෙන් පිටත් වන විට තල් ගස් අතරින් හිරු බැස යමින් තිබුණේය. ඒ මොහොතේ මගේ සමීප මිත්‍රයෙක් මගෙන් නිරතුරු අසන පැනයක් මගේ හිසට වද දෙමින් තිබුණි. "ලේ මුල් බැහැපු මේ පොළොවේ තල් කොළ තාමත් කොළ පාට ඇයිද කියල මට කියපන්" මම එදා මගෙන්ම ඇසුවෙමි. අද මම ඔබෙන් අසමි!

Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.