ගෝත්‍රික අතීතයෙන් අත්මිදීමේ අරගලය සියවස් ගණනාවක් දුර සිට ආ වෙහෙසකර සැරිසර දිවියට ඔවුහු නැවතුම් තිත තැබූහ. මේ, අතීතයේ සෙවණැලිද අලුත් ජීවිතයේ අභියෝගද අතර තෝන්තුවා වන සංක්‍රාන්ති සමයයි.

‘‘අපිට හැමදාම සමාජයෙන් කොන්වෙන්ඩ බෑ. බස් එකේ ගියත් ගඳයි කියලා කවුරුත් ළඟ ඉන්නේ නෑ. මේ නයි නටවන රිලා නටවන ජීවිතේ අපට දැන් එපා වෙලා තියන්නේ. සාත්තර රස්සාවත් දැන් ඇති. අපි විඳපු දුක්බර ජිවිතේ මේ දරුවන්ට දෙන්ඩ බෑ…අපේ දරුවෝවත් රටේ අනෙක් මනුස්සයො වාගේ පිළිවෙළට ජීවත්කරවන්න තමා මං වෙහෙසෙන්නේ‘‘

ආර්. කාලි අම්මා මිහින්තලේ සියඔලාගස්වැව තෙළිඟු ගම්මානයේ ගෝත්‍ර නායිකාවයි. සමාජ අපවාදයට ලක් වූ කූඩාරම්ගත ජීවීතයෙන් අත්මිදීමේ අරගලය, කාලි අම්මා ආරම්භ කළේ 2006 වසරේදීය. රට වටා තැනින් තැන ගොස් කූඩාරම් අටවාගෙන ගෙවූ ගෝත්‍රික ජීවිතයට තිත තබන මහා පරිවර්තනයකට හේතු පාදක වූයේ මිහින්තලේ මහකනදරාව වැව ඉස්මත්තේ ලැගුම්ගත් සතියක කාලයයි.

සැරිසර දිවියට සමුදීම

පවුල් තිහක් හා ළමුන් හැටක් පමණ වූ මේ ගෝත්‍රය ආහාර පාන, සනීපාරක්ෂාව , බේත්හේත්, රැකී රක්ෂාවන් හා ආරක්ෂාව අතින් මුහුණ දුන් ඛේදනීය තත්ත්වය දුටු එවක මිහින්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එස්. සෙනෙවිරත්න මහතා මේ පිරිසට සෞඛ්‍ය සේවාවෙන් පටන්ගෙන ස්ථිර නිවාස ලැබෙන තාක් මානුෂීය සේවාවන් මාලාවක් ඉටුකර දුන්නේය. එකල ප්‍රාදේශීය ලේකම් වරිය වූ මංජුලා මඩහපොල මහත්මිය හා ග්‍රාම නිලධාරින්ද මහජන මිහින්තලේ ප්‍රාදේශීය සෞඛය සේවා නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ද මේ පරිවර්තනයේදී විවිධාකාරයෙන් දායක වූහ.

ජාතිය ගොඩනැගීමේ ඇමතිවරයෙක් වූ එස්. එම්.චන්ද්‍රෙස්න මහතා ඉදිරිපත් වී මෙම පිරිසට වෙනම ගම්මානයක් ඇති කළේය. ඒ අතර තුර උප්පැන්න සහතික, හැඳුණුම්පත් හා ඡන්ද බලය ආදී බොහෝ සේවාවන්ද රජයෙන් ඉටු විය. ඔවුන් මුලින්ම ඉල්ලා සිටියේ සාමාන්‍ය සිංහල ජනතාව අඳින පළඳින ඇඳම් ඇඳ ඔවුන්ගේ අපවිත්‍ර තෙළිඟු සාරිය ඉවත්කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසය. ඒ අනුව බොහෝ ආධාර කණ්ඩායම්වලින් විටින් විට ඔවුන්ට ඇඳුම් පැළඳුම් ලැබිණි. අද ඒ කතුන් සාය හැට්ට, ටී ෂර්ට්, ගවුම් මෙන්ම කලිසම්ද ඇඳ මහ මඟ යන්නේ ආඩම්බරයෙනි.

දිය ගෙනයෑමටත්, නෑමටත් ඉවුම් පිහුම් සඳහාත් මේ පවුල් 27ටම ඇත්තේ එක්ම එක නළ ළඳකි.

සංක්‍රාන්ති සමය

දැන් මේ කූඩාරම් වැසියන් ගෙවන්නේ ගෝත්‍රයටත්-සමාජයටත් දෙකටම නැති ජීවිතයකි. තමා වසර දහයකට කලින් අපේක්ෂා කළ රැකියා, ස්වයං රැකියා ආදිය මේ පරපුරට ලබාදීමට දැන් කාලය එළඹ ඇති නමුත් ගලා ගිය පරිවර්තනය ආපස්සට හැරීම ගැන කාලි අම්මා දැන් දුක්වෙයි.

‘‘ ඉස්කෝලේ යවාගන්න බැරි ළමයි තාම ඉන්නවා. මොකද උප්පැන්න සහතික නෑ. උප්පැන්න සහතික නැත්තේ දෙමාපියන්ට කසාද සහතික නැති නිසා. දෙමාපියන්ට කසාද සහතික නැත්තේ ඒ අයටත් උප්පැන්න සහතික නැති නිසා. ඒ අයට උප්පැන්න සහතික නැත්තේ ඒ අයගේ දෙමාපියන් විවාහවෙලා නැති නිසා. එක ගෙදරක ළමයි තුන්දෙනෙක්ම ඉන්නවා, ඉස්කොලේ යවන්න බැරුව‘‘ කාලි අම්මා පැවසුවාය.

2008 දී කූඩාම් ඉවත්කර රජයෙන් තනා දුන් නිවාසවල වැඩ අවසන් වී නැත. ආණ්ඩු මාරුවත් නිලධාරින්ගේ ප්‍රමාදයත් නිසා එම නිවාස වලින් වැඩ ඉවර වී ඇත්තේ කීපයක පමණි. ඉඩම් බලපත්‍රද හිමි වී නැත. මේ නිසා ජන්මයේ පුරුද්දට මෙන් ඇතැම්හු මේ ස්ථිර නිවාසම කූඩාරම් බවට පත්කරගෙන සිටිති. ඒවාගේ මේස පුටු ආදී ගෘහ උපකරණ නැත. පිළිවෙළද පිරිසිදුකමද නැත.

එදා රෙදි පොට්ටනි ඔසොවාගෙන, මොණර පිහාටු අත දරාගෙන, තෙලිගු සාරියෙන් සැරසී සිටි බාහිර පෙනුම අද බොහෝ සෙයින් වෙනස් වුවද එතරම් පහසුවෙන් පැරණි ඇවතුම් පැවතුම්වලින් ඉවත් වීමට ඔවුන්ට එතරම් පහසුවෙන් හැකි වී නැත. තවමත් සුලබව සිදු වන ළමා විවාහ, අවුරුදු 15-16 වයසේ දෙදරු-තිදරු මව්වරු, කිසි රැකියාවක් නොකර තැන තැන රස්තියාදු වන තරුණයින්, වෙන කිසි බඩු මුට්ටුවක් නැති ගෙවල් ඇතුළේ රූපවාහිනී යන්ත්‍රවලට ඇස් අලවාගෙන සිටින ගැහැනු ඒ අර්බුදයේ සංකේත ය.

ගම්මානයටම පොදු වැසිකිළි දෙපොළක ඉදි කර ඇත. ඒවාට දිය ගෙනයෑමටත්, නෑමටත් ඉවුම් පිහුම් සඳහාත් මේ පවුල් 27ටම ඇත්තේ එක්ම එක නළ ළඳකි. මේ දිනවල වැව් සිඳී ඇති බැවින් තරුණියෝ ඉලුක් පඳුරුවලට මුවා වෙමින් මේ නළ ළිඳෙන් දිය නාන්නේ ඉතා අසීරුවෙනි. පානීය ජලය සඳහා ආධාර කණ්ඩායමක් මගින් පිරිපහදුවක් සවිකර ඇත. පිරිමින්ගේ එකම ජීවන වෘත්තිය වන මසුන් මැරීම මේ දිනවල නිෂ්ඵල රැකියාවකි. කාන්තාවෝ ඇතැමෙක් සිඟමනේ හෝ පුදබිම් අසල අත්ල බලා ශාස්ත්‍රකියන වෘත්තියට යති. එයද මේ යුගයේ යාදෙන්නක් නොවේ.

ළමා වැඩිහිටියෝ

මේ නිසා කාලි අම්මා කියන්නේ මේ අයට ස්වයං රැකියාවක් සොයාදීමේ පොදු වැඩපිළිවෙළක් අවශ්‍ය බවකි. ඇයට හිසරදය ගෙනදෙන ඊළඟ ප්‍රශ්නය දරුවන් පාසැල් යැවීමය. සියඹලාගස්වැව විද්‍යාලයට යන ළමයින්ට 5ශ්‍රේණිය දක්වා එහි ඉගෙනිය හැක. ඒය 1-5 ප්‍රාථමිකයකි. ඊළඟට ඔවුන් යා යුත්තේ තම්මැන්නාව විද්‍යාලයටය. ඉගෙනීමට පොත පත නැති නිසාත්, දෙමාපියන්ට එහි වටිනාකම් නොදැනෙන නිසාත් බොහෝ විට 9ශ්‍රේණියෙන් ඔබ්බට කිසිවෙක් පාසල් යන බවක් නොපෙනේ. 2008 මහකනදරා වැව් ඉස්මත්තේන් මේ ගමට එන විට 60කට වඩා සිටි ළමයින් වැඩි දෙනා දැන් අකාලයේම වැඩිහිටියන් වී හමාරය. වසය අවුරුදු 12න් 13න් විවාපත් ඔවුන්ටද දැන් දරුවෝ සිටිති.

මේ අයට ස්වයං රැකියාවක් සොයාදීමේ පොදු වැඩපිළිවෙළක් අවශ්‍යය

එවැනි අවානාසනාවට ගොදුරු වූ පවුල් රැසක්ම එහිදී හමු විය. මේ කණ්ඩායමේ සමාජ සේවා වැඩවලට කැප වූ ආර්.ඇලෝසියස්ගේ දියණිය කේ.සමන්තිට වයස අවුරුදු හතරහමාරක දරුවෙකි. ඒ දරුවාට උප්පැන්න සහතිකය නැති නිසා පාසල් යැවීමට නොහැකිය. විසි අටහැවිරිදි කාලිදාසන්ට දරුවන් 4 දෙනෙකි. ඒ කාටවත් උප්පැන්න සහතික නැත. එයට හේතුව ඔහුටද උප්පැන්න සහතිකයක් නැති වීමය. ඔහුගේ දියණිය මධුෂානි, පාසල් යාමේ අශාවෙන් පරණ පාසල් පොතක් නිරුවත් ළයට තුරුළුකරගෙනමිදුලේ වැලි සෙල්ලම්කරයි.

නිවාස සඳහා බලපත්‍ර සකස් කර ගැනීමටත් නිවාස ආධාර ලබාගැනීමටත් තමා අපමණ වාර ගණනක් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, අනුරාධපුර නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයටත් ගිය මුත් වසර ගණනක් තිස්සේ එම කටයුතු ප්‍රමාද බව ඇලෝසියස් කියයි. කාලි අම්මා නම් රැහේ නායිකාවගේ සැමියා රෙංගසාමි ද ඒ ප්‍රමාදය ගැන කතා කළේ කණගාටුවෙනි

‘වෙනස් කරන්න අමාරුයි’

මේ සම්බන්ධයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් නිවාස අධිකාරියේ ප්‍රධානියා හා තමා සාකච්ඡා කර ඇති බවයි. උප්පැන්න සහතික සකස් කර දීම ගැනද තමා නිලධාරින්ට වගකීම් පවරා ඇති බව ඒ මහතා කීවේය.

එමෙන්ම මේ ජන ජීවිතයේ දීර්ඝකාලීන සංවර්ධනයක් සඳහා තමා ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව ඒ මහතා කීය. එමෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග රහස් සාකච්ඡාවක් කර මේ ළමුන් සම්බන්ධයෙන් විශේෂ තීරණ කීපයක් ගත් බව ද ඒ මහතා කීය. රහස් සාකච්ඡාවක් පවත්වා ඇත්තේ සාමාන්‍ය පවුල්වල අය හා ඇතැම් ළමුන්ද ගුරුවරුන්ද දක්වන යල්පැන ගිය ආකල්ප හමුවේ පාසල් තුළ ඇතිවිය හැකි නොමනා තත්ත්වයන් ඇති වීම වැළැක්වීමටය.

‘‘මම මේ අයට වඩු කාර්මික පුහුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නා. අවාසනාවට දහ දෙනෙක් එක්කාසු කරගන්න බෑ. රැකියාවක් කරන්නේත් නෑ. ඒකට සහභාගී වෙන්නේත් නෑ. බොහෝ දෙනා හැඩ ගැහිලා ඉන්න ක්‍රමය වෙනස්කරන්න ඉතා අමාරුයි. ඒත් අපි උත්සාහ කරනවා. ඒකට තව කල් යයි.‘‘

ළමයින් වැඩි දෙනා දැන් අකාලයේම වැඩිහිටියන් වී හමාරය.

නිවාස සිහිනය

මෙම නිවාස සදහා ණය මුදලක් නොව ආධාර මුදලක් ලබාදීමට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කර ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කලමනාකාර ආර්.එම්. පියතිස්ස මහතා කියයි.

‘‘ මේ වැඩසටහන ඉක්මනින් කරන්න කියලා ඇමති තුමා මුදල් ප්‍රතිපාදන වෙන් කළා. මේ වන විට මුදලත් අපට ලැබිලා තිබෙන්නෙ. ගැටලුව තමා ඉඩම නිරවුල් වෙලා නැති එක. මේ ඉඩම නිරවුල් කරගන්න අපට වනජීවි දෙපාර්තමේන්තුව හා සාකච්ඡාකළ යුතු වෙනවා. ඒ සඳහාද අපි අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරලා තිබෙන්නේ. අනුමැතිය ලද වහාම ඉඩම් නිරවුල් කර බලපත්‍ර ලබාදීමට ප්‍රාදේශීය ලේකම් තුමාට යවනවා‘‘ යි පියතිස්ස මහතා කීවේය.

අයාලේ යන ජීවිතය වෙනුවට එක තැනක නතර වී ‍ජීවිතය ගොඩනගාගැනීමේ අයිතිය දැන් ඔවුන්ට ලැබී ඇත. ඔවුන්ට අනෙක් අයිතින් හා හිමිකම් දීම සමාජය සතු වගකීම නොවේද?

- සරත් මනුල වික්‍රම

Credits:

Sarath Manulawickrama

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.