Loading

ජාත්‍යන්තර තේ දිනය: තේ බොමින් පමණක් සමරමුද ? මැයි 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙනි.

තේ

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන ගණනක පවුල් සඳහා තේ නිෂ්පාදනය හා සැකසීම ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන අතර අවම වශයෙන් සංවර්ධිත රටවල් ගණනාවක ජීවත් වන මිලියන සංඛ්‍යාත දුප්පත් ජනයාගේ පවුල් ප්‍රධාන යැපුම් මාර්ගය වේ. ශ්‍රී ලංකාවේ සේම මේ බොහෝ රටවල ප්‍රධාන ආදායම් හා අපනයන ආදායම් මාර්ගය තේ කර්මාන්තය බවට පත් ව තිබේ. විශේෂයෙන් දුරස්ථ හා ආර්ථික වශයෙන් අවාසි සහගත ප්‍රදේශවල මේ හරහා රැකියා උත්පාදනය වෙතත් එය දැඩි ශ්‍රම ධාරිතාවක් අවශ්‍ය එකකි.

විශේෂයන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය සංවර්ධනය, දරිද්‍රතාවය අවම කිරීම සහ ආහාර සුරක්‍ෂිතතාව සඳහා “තේ” වලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි ලෙස ඉතා වැදගත් මුදල් බෝගයක් ලෙස හඳුනා ගෙන තිබේ.ශ්‍රී ලංකාව සේම ලෝකයේ බොහෝ රටවල ජනයාට තේ පානය සමඟ සුවිශේෂී නොබිදෙන සංස්කෘතික සහ සම්බන්ධයක් පවතී. එහෙත් විශාල ආයෝජන ව්‍යාපාරයක්ව පවතින “ තේ කරමාන්තයේ ” මුලික නිෂ්පාදන ක්‍රියාවලිය වෙත බිම් මට්ටමේ ශ්‍රම දායකත්වය ලබා දෙන ජනයාගේ ජිවිත අන්ත දරිද්‍රතාවය හා බැදී පැවතීම ඉතාම ඛේදජනකය.

ජාත්‍යන්තර තේ දිනය

ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම සහ සාම්ප්‍රදායික ආනයන රටවල ඒක පුද්ගල පරිභෝජනය පහත වැටීම ආමන්ත්‍රණය කිරීමට දරන උත්සාහයන්ට සහාය වීම සඳහා ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 21 වන දින ජාත්‍යන්තර තේ දිනය (International Tea Day) ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.තිරසාර තේ නිෂ්පාදනය හා පරිභෝජනයට පක්ෂව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ විශේෂයෙන්ම සාගින්න හා දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමේදී එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම හා පෝෂණය කිරීම මෙම දිනය මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරෙන බව ඔවුන්ගේ අදහයි.

නිෂ්පාදන ක්‍රියාවලිය හා පරිභෝජනය කෙරෙහි අවධානය යොමු වී ඇතත් එහි වාසිය එම කර්මාන්තය ජිවන උපාය බවට පත් කොට ගෙන සිටින ජනයා වෙත නැවත සෘජුව හෝ වක්‍රව ලැබේද යන්න දිර්ඝ කාලයක් පුරා පවතින ප්‍රශ්නයකි.“සිලෝන් ටී” නමින් ලොව පුරා සුප්‍රසිද්ධ වසර 153 ක් පුරා තේ නිෂ්පාදනය කරමින් සිටින ශ්‍රී ලංකාවේ තේ වතු ආශ්‍රිතව තම ජීවිකාව පවත්වා ගෙන යන ජනයාගේ ජිවිතය මෙය හොඳින්ම අවධාරණය කරන කරුණකි.

තේ නිෂ්පාදනය සහ තිරසාර සංවර්ධන ඉලක්ක

තේ නිෂ්පාදනය සහ සැකසීම අන්ත දරිද්‍රතාවය අවම කිරීම (ඉලක්කය 1), සාගින්නට එරෙහි සටන (ඉලක්කය 2), කාන්තාවන් සවිබල ගැන්වීම (ඉලක්කය 5) සහ භූ ගත පරිසර පද්ධතිවල තිරසාර භාවිතය (ඉලක්කය 15) සඳහා දායක වීම යන්න තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමට තේ නිශාපාදනය හරහා බලාපොරොත්තු වෙතත් එය සම්බන්ධ බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාවය තදින්ම තිබේ.මෙය බොහෝ විට වචනයට පමණක් සිමා වී තිබේ.ග්‍රාමීය සංවර්ධනය හා තිරසාර ජීවනෝපායන් සඳහා තේ වල වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ 2030 තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයට දායක වීම සඳහා තේ අගය දාමය වැඩි දියුණු කිරීම සඳහා හදිසි අවශ්‍යතාවයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තව දුරටත් දක්වා සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ තේ කරමාන්තයේ දී සිටින පහළ මට්ටමේ ශ්‍රමිකයින්ගේ දිනක මුලික වැටුප රු 1000 ක අවම තත්වයකින් පවත්වා ගෙන යාමට වත් හැකි වී නැත. මේ සඳහා වසර 2 කට අධික කාලයක් සිට කෙරෙන අඛණ්ඩ අරගලයකින් පවා එය තවමත් ඉටු කර ගත නොහැකිව තිබේ. අනෙක් අතට දැනට ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය හමුවේ ඉතා වැඩි ආර්ථික සහ සෞඛ්‍ය අවධානමකට පත්ව සිටින කාණ්ඩ අතරට මේ ජනයා පත්ව තිබිම ඉතාම ඛේදජනක තත්වයකි.

තේ සහ දේශගුණික විපර්යාස

තේ දේශගුණික වශයෙන් ඉතා සංවේදී බෝගයකි. විශේෂයන්ම වැඩි ගංවතුර හා නියඟයන්, උෂ්ණත්ව හා වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම් අස්වැන්න, තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ මිල ගණන් කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත් අතර එය තව දුරටත් ශ්‍රමිකයින්ගේ ආදායම් අඩු කිරීමට සහ ජීවනෝපායන්ට තර්ජනයක් ඇති කරමින් තිබේ. මෙම කාරණය වතු කමකරුවන් වෙත අවම පහසුකම් සැලසීමේදී පවා කර්මාන්ත හිමියන් විසින් තම වාසිය උදෙසා ප්‍රයෝජනයටද ගනිමින් සිටියි.විශේෂයෙන්ම මෙම දේශගුණික විපර්යාසයන් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන අතර හදිසි අනුවර්තන ඒ නිසා අවශ්‍ය වෙමින් තිබේ.ඊට සමාන්තරව තේ නිෂ්පාදනයෙන් හා සැකසීමෙන් කාබන් විමෝචනය අඩු කිරීමෙන් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දායක වීමේ අවශ්‍යතාව පිළිබඳ වැඩෙන පිළිගැනීමක් තිබේ.

1867 දී ජේම්ස් ටේලර් විසින් මහනුවර ‘ලූල්කදුර වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමඟ ඇරඹි තේ කර්මාන්තයට සිය දහඩිය, කදුලින් දායකත්වය දක්වන වතු දෙමළ(මලෛග තමිල්) ප්‍රජාව තවමත් නිවාස නොමැති, සේවයට සරිලන වැටුපක් නොමැති, පෝෂදායි ආහාර නොමැති, ඉක්මනින් ළගා විය හැකි රෝහලක් නොමැති, අධ්‍යාපනයට අවස්ථා අවම විශේෂයන්ම පුරවැසි ගෞරවය අහිමි පිරිසක් ලෙස දැඩි සමාජ ආර්ථික පීඩනයක් දරමින්ම අපේ දාහය නිවන තේ කෝප්පය වෙනුවෙන් තම ලෙය දිය කර හරින බව අපි අමතක නොකළ යුතු වෙමු.
Created By
Ishara Danasekara
Appreciate