Loading

"මගේ පුතා හොයල දෙනවද ඔයා. හොයලා දෙනවද ? " දින 366 ක් ඉක්මව.... කිලිනොචිචියේ කන්දසාමි කෝවිල ඉදිරිපිට

ඔබ දන්නවා වසර ගණනක් තිස්සේ අතුරුදන්වූවන් ගැන නගන හඬ. ඒ අතුරුදන්වූවන්ගේ සංගම්, දෙමාපියන්, ඥාතීන් සමග සාකච්ඡා කළා කිහිප අවස්ථාවකම. එයාලා කිව්වා ඒ අතුරුදන්වූවන් මේ රටේ හංගගෙන ඉන්නවා කියලා. එයාලා කිව්වා හමුදා කඳවුරුවල, පොලිසියේ, කැළෑවල ආණ්ඩුව හංගගෙන ඉන්නවා කියලා. නමුත් මම මේ ගැන හොයලා බැලුවා. මම ඉතාම කාරුණිකව කියනවා අද එහෙම හංගගෙන නැහැ කියලා. ඒ නිසා එයාලගේ පවුල්වලට රජය මගින් සුබසාධන දීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ අතුරුදන්වීම් සිදුවුණේ උතුරේ පමණක් නෙමේ. දකුණේත් මෙවැනි අතුරුදන්වීම් සිදුවුණා. ඒ නිසා රජය විදියට මම කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරන්න කටයුතු කරනවා - යාපනය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කළ කතාව – 2018-02-05 (උපුටා ගැනීම ජනා ධිපති මාධ්‍ය ඒකකයේ වෙබ් පිටුව )

http://www.pmdnews.lk/si/වසර-27-ක්-පුරා-වසා-දමා-තිබෙන-ක/

2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY ) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට නොහැකිව එකා දෙන්නා මිය යමින් සිටින අපේම වූ එහෙත් අපේම රටේ බහුතරයකට අපේම නොවූ අනෙකාගේ "දෙමළා" ගේ අරගලයේ තවත් දින 366 කි.

ඒ අනුව 2009 උතුරේ දෙමළ ජාතීන්ට විමුක්තිය උදා කර දී දකුණේ සිංහලයාට ඉවරයක් කර දී ඇතැ යි සැලකෙන මෙරට පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම මව් පියවරුන්, බිරින්දෑවරුන් තම දෑතින්ම විශ්වාසයෙන් යුතුව හමුදාව වෙත භාරදුන් තම දරුවන් වන දූ පුතුන්, අඹු සැමියන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිව ගෙවන 9 වන වසර බවට 2018 වසර පත් වෙමින් තිබේ. ඒ අතර 2015 තේරී පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයට වසර 3ක් ගෙවී හමාරය. දැන් දැන් අමාරුවෙන් තටමමින් සිටින "යහපාලන ආණ්ඩුව" ද බලයට පත් වී වසර 3 කට ආසන්නය.

එසේනම් පළාත් පාලන ජන්දයට පෙර ජනාධිපතිවරයා කල ඉහත ප්‍රකාශය තවත් බේගල් ඇදබෑමක් මිස වෙන කුමක් විය හැකිද? වසර 3 ක් යනු අතුරුදන් වුවන් සම්බන්ධ ගැටලුවට රජය ඇත්ත වශයෙන්ම සංවේදී නම් ඕනෑවටත් වඩා පිළිතුරු දිය හැකි තරම් වන කාලයකි. අතුරුදහන්වුවන් පිලිබඳ කාර්යාලය (OMP ) පිහිට වූ රජය දැන් ඒ මත හිදිමින් ගොලුබෙලිවත රකිමින් සිටින්නේ මේ දාඩිය මත ඔට්ටු වෙමින් ගිනියම් අව්වේ තමන්ගේ අවසන් හුස්ම දක්වාම බලාපොරොත්තු දල්වා සිටින අම්මවරුන්ගේ ද පියවරුන්ගේ ද බිරින්දෑවරුන්ගේ ද,දරුවන්ගේ ද සහෝදර සහෝදරියන්ගේ ද සියලු සුසුම් වාතලයට මුසුකරමිනි.

ඒ අනුව පසුගිය වසරේ ඒ සම්බන්ධව එකඳු හෝ විසදුමක් බලාපොරොත්තුවෙන් උතුරු නැගෙනහිර නොයෙක් නගර කේන්ද්‍ර කරගනිමින් ඇරඹි දිවා රාත්‍රී උපවාසයන්ට මේ වන විට දින 365 ක් දක්වා ආසන්න වෙමින් පවතී. ඒ අතර කිලිනොචිචියේ කන්දසාමි කෝවිල ඉදිරිපිට ආරම්භ කල උපවාසයට 2018 පෙබරවාරි මස 20 වන දිනට දින 366කි. එනම් වසරක් ගෙවී හමාර වී තිබේ.

එහෙත් ඔවුන්ගේ අවම ඉල්ලීම වන "අපේ දරුවන්ට මොකද උනේ ? ජිවත් වෙනවද නැද්ද ? මැරිලා නම් ඒ කොහොමද ? " යන්නට වත් පිළිතුරක් දීමට බලධාරීන් කිසිවෙකුත් සමත් වී නැත.එහෙත් ඒ වෙනුවට ජිවිත 8 ක් මහා පාරේම මේ වන විට යුක්තියේ හඬක් වත් නොඅසා තමන්ගේ හුස්ම හැර ගොස් තිබේ. කාය ශක්තියට අභියෝග කරමින් හිතේ හයියෙන් මේ ගෙවන ජිවිත වල වන්දිය දෙන්නේ කවුද?

කිලිනොචිචියෙන් මා පැමිණියේ මේ ජිවිත පිලිබඳ වූ ව්‍යාකූල මනසකිනි. ඒවා මෙහි සටහන් කරන්නට තරම් වත් මගේ කැමරාවේ සටන් ව තිබු එහෙත් සටහන් ව නොතිබූ මේ ජිවිත කතා කියන්නටත් මට කෙසේවත් හැකි නොවනු ඇත. එහෙත් මෙතැන් සිට මෙහි සටහන් කරන මතකයන් තුන මා සිතේ දරුණුවට පැලපදියම් ව ඇත. එය මම ඔබට කිව යුතුමය.

පියවරුන්ගේ කදුළු දරුවන් දකින්නේ අඩුවෙන් යයි කියමනක් වේ. එහෙත් මේ තාත්තා මට එය එසේ නොවන වග කියා දුන්නේය. ඔහු මා දෙස බලමින් කැඩිච්ච සිංහලෙන් මෙසේ කියාගෙන ගියේය.

"මගේ පුතා හොයල දෙනවද ඔයා. හොයලා දෙනවද ? 8 මිනිස්සු දෙනෙක් මෙහෙ ඇවිල්ල මැරිලා අම්ම අප්පා, කාටවත් දන්නේ නෑ, අපිත් මැරෙන්ඩ තමයි යන්නේ තව සුමානයකින්"

කදුළු පිරුණු දෑස් මුවේම හංගා ගෙන ඔහු මෙය මගෙන් අසන්නේ පළවෙනි වතාවට නොවේ. එහෙත් එය අවසන් වතාව විය යුතු යැයි මම සිතමි.

දැඩි අව් රශ්මියේ තමන් ඇද සිටි තැබිලි පාට සිලික් සාරිය බෙල්ල වටේ ඔතාගෙන සිටි මේ අම්මා මා සොයාගෙන පැමිණියාය

"මේ මගේ පුතා, මේ බලන්න. එයාගෙයි මගෙයි ලොකු පින්තූරයක් ගන්න පුතේ ඔයා, ඒක එයා දැක්කොත්වත් එතකොට එයිනේ " වෙවුලුම් හඬින් ඈ කිව්වාය
"අපිටත් ඕනි ඔයාල වගේ සතුටින් ඉන්න, ලස්සනට ඉන්න එච්චරයි"

ඈට වුවමනා වූ නිසාම මම පින්තූරයක් ගැනීමට කැමරාව අතට ගත්තද දෙවරක්ම මගේ අත වෙවුලා ගියාය. මට කළ හැක්කේ කුමක් ද ? පින්තුර දැක මගේ පුතා ඒවි යැයි ඇයට ඇති අවිහිංසක ප්‍රාර්ථනාව මේ රටේ මිනිසුන්ට ඇසෙන්නට කෙසේ නම් කියන්නද ?

ඈ තනිවම සුසුම් හලමින් මොනවදෝ මුමුනමින් සිටියාය. අම්මා, එන්න අම්මා ..... ඈ මගේ අත තදින් වැළද ගත්තාය. මගේ ඔලුව අතගාමින් කිවූ දේවල් මට ඇසුනේ යන්තමින්ය. හෙමින්ය.

මම ඈ අසල බිම බොහෝ වෙලාවක් ඉදගෙන සිටියෙමි . ඈ නොනවත්වා හඬමින්, තම සාරි පොටෙනුත්, දෑතිනුත් හොරෙන් කඳුළු පිසදා ගනිමින් සිටියාය. මේ අවුරුදු 9 ටම ඈ කෙතරම් රහස් කදුළු හෙලන්නට ඇත්ද ? එහෙත් ඒවා ඇසු නැසූ කනින් මෙරටේ පාලකයන් මේ උපවාස භූමි පසු කොට ගොස් කතා පවත්වනවා පමණක් පෙනෙන්නට තිබේ.

"අපේ දරුවන්ට මොකද උනේ ? ජිවත් වෙනවද නැද්ද ? මැරිලා නම් ඒ කොහොමද ? අපි ජනාධිපතිතුමාට කියන්නේ අපේ දරුවෝ ගෙනත් දෙන්න"

මේ මයික්‍රෆෝන දහස් ගණකටම මේ අම්මාවරුන්ට හඬගා කියන්න ඇති එක ඉල්ලීම ද අවුරුද්දක් පුරා කියුවේදඑයයි.

කිව නොහැකි බොහෝ දේ මේ රූප රාමු අස්සේ මේ දුකින් පිරි ඇස් වලින් කියනු ඇත. මා හිනාමුණක් නම් මේ කිසිවෙකුගෙන් දුටුවේ නැත. ඒ ඔවුන්ට දැන් හිනාව අමතකව ගොස් නිසාය. හිනාවෙන්නට හේතු නම් තිබේද ? අවසනටඑම්.සත්‍යවේල් පියතුමන් තම "ගින්නෙන් මෝදු විය" කාව්‍ය සංග්‍රහයේ ලියන ලද කවියක් මම මෙසේ සටහන් කරමි.

"අපේ ගෙවත්තේ හරකුන් එළුවන් බළලුන් පුසන් පවා දමිළයෝ වුහ.අපේ දහඩ්යද ඉන් හටගත් අපේ ගෙමිදුලේ කෙසෙල් බට පඳුරු සමඟ වට්ටක්කා වැල්ද දමිළයෝ වුහ. එහෙයින් ඒ සියලල ගිනි අඟුරු බවට පත් විය ... කළුම කළු .
"දමිළ" වූ නිසාම ඉතින් යුක්තියට ද "දමිළයෝ " අයත් නොවේද?එහෙයින් ඔවුන් සියල්ලෝම ගිනි අඟුරු බවට පත් විය යුතුද... කළුම කළු .
Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.