Loading

#VIKALPA10 #YearInReview2018 විකල්ප මතක 2018 වසර පුරා විකල්ප විසින් ලියන ලද සුවිශේෂී ලිපි සහ සමාජීය මැදිහත්වීම අළලා සකස් කරන ලද වසරේ මතක පෙළගැස්ම

2018 වසර ගෙවීයන්නේ මෙරටේ ඉතිහාසයට සුවිශේෂීම පරිච්ජේදයක් එකතු කරමිනි. ගෙවී ගිය දින 365 ඇතුළත රට තුළ වූ විවිධ මනෝ සමාජීය, දේශපාලනික මෙන්ම ආර්ථික සංදර්භයන් හමුවේ මෙරට පුරවැසියාට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීම් අනන්තය.

විකල්ප වෙබ් අඩවිය ලෙස අපි වසරක් 10 ක් අප සහෘද පාඨකයින් සමඟ එකම වේදිකාවක සිටිමින් හඬක් නොමැති පුරවැසියන් වෙනුවෙන් වන මාවත සකසා දෙන අතරේම මෙරට සමාජය මුහුණ දෙන චින්තනමය දරිද්‍රතාවය දුරලීම වෙනුවෙන් මේ වසරේදී ද කැප වී කටයුතු කළ කළෙමු. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් වන සුවිශේෂි පුළුල් ප්‍රායෝගික මැදිහත් වීම් රැසක් මේ වසරේදී වෙබ් අවකාශයෙන් ඔබ්බට ගොස් මහජනයා අතරේ සිදු කරන්නටද අපට හැකි විය. ඒ අනුව 2018 වසර විකල්ප වෙබ් අඩවිය අතිශය වැදගත් සංධිස්ඨාන රැසක් සහ අභියෝග රැසක් පසු කළ වසරකි. ඒ අනුව අප ඔබ වෙත මේ වසර පුරා වාර්තා කරන ලද සුවිශේෂී පුරවැසි සිදුවීම්, අනාවරණයන් හා අප සාමජිය ලෙස ඉටු කළ මැදිහත් වීම්, අභියෝග සහ ජයග්‍රහණ අළලා සකස් කරන ලද 2018 විකල්ප මතක #VIKALPA10  #YEARINREVIEW සාරාංශ සටහනක පෙළගැස්මක් මෙසේ ඔබ හමුවේ තබමු.

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ නමැති ඡායාරූප ප්‍රදර්ශනය හරහා සාකච්ඡා කිරීම සදහා විකල්ප වෙබ් අඩවිය ලෙස අප 10වන වසරට (#VIKALPA10) පා තැබිම නිමිත්තෙන්, 2018 ජනවාරි 30 සහ 31 දෙදින පුරා උදෑසන 9සිට රාත්‍රී 8දක්වා, කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පවත්වන ලදී.

විකල්ප පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් විවෘත වූ මෙම ප්‍රදර්ශනයේදී 2009 සිට 2017 දක්වා අප රට තුළ සිදු කෙරෙනු අතුරුදහන් කිරීම්, බලහත්කාරයෙන් කළ ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ඇතුලු කොට පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ දැකගැනීමට සැලැස්විය. විකල්ප විසින් අරගල භුම්යේ සිටිමින්ම ජයාරූප ගත කරන ලද ජායාරූප 120 කට අධික සංඛ්‍යාවක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. 2009න් පසුව බොහෝ පාර්ශවයන් මගහැරීමට උත්සාහ කරන, එහෙත් ලංකාවේ සමාජය තුළ යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වාභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් සහ ගැහැනුන් තවමත් ඉල්ලා සිටින ‘යුක්තිය’ පිළිබද ප්‍රශ්නය ප්‍රදර්ශනයේදී ඉහළම තලයකට ඔසවා තැබීමට විකල්ප unframed මැදිහත් විය. ඒ වෙනුවෙන් වන වෙබ් අවකාශයක් ද unframedsl.org නමින් විකල්ප විසින් නිර්මාණය කරන ලදී.

පෙබරවාරි මස 10 වන දින පළාත් පාලන ජන්දය පැවැත්වුණු අතර එහිදී වසර 27කට පසුව යාපනයේ, කන්කසන්තුරේ, වල්ලෙයි උතුර, ඌරණි කනිෂ්ඨ විද්‍යාලයේදී ප්‍රථම වරට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වූ පුරවැසියන් මුණ ගැසීමට විකල්ප අපි එහි ගියෙමු. වසර 27ක් ඔවුන්ගේ මූලික අයිතිය අහිමි වීමට ප්‍රධානම හේතුව වූයේ එම වසර ගණනාව පුරාවටම එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්, ගේ දොර ඇතුලු සියල්ලම ශ්‍රී ලංකා හමුදාව භාරයේ තිබීමය. මේ වන විට එම ප්‍රදේශයේ ඉඩම් කොටස් හමුදාව සිය ග්‍රහණයෙන් නිදහස් කර ඇති අතර ජන්දය පවත්වන කාල වකවානුව වන විට එම ඉඩම් අයිති ජනයා එම ප්‍රදේශයට පැමිණෙමින් සිටි අතර ඉන් කිහිප දෙනෙක් එදින ඡන්ද මධයස්ථානයේදී ප්‍රථම වරට තම ඡන්දය එදින ප්‍රකාශ කළහ.

‘විකල්ප’ විසින් දිගන ප්‍රදේශය මූලික කොටගෙන මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ම්ලේච්ජ ප්‍රහාර එල්ලවීමේ ප්‍රධාන සිදුවීම සිදුවී දින 11කට පසු සුවිශේෂී සටහනක් තැබිය. Digana සිදුවීම හරහා කළු මාර්තුවක් ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු විය. මෙහිදී රාජ්‍ය ආරක්ෂාව යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව සිදු කරන ලද දේපල හානි, ආගමික ස්ථාන ගිනිබත් කිරීම් ඇතුළු සිදුවීම් වලට බොහෝ තැන් වලදී විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකා සෙබලුන් (STF) හා පොලිසිය එළිපිටම සහය දක්වා තිබෙන බවටත් ඉතා සංවිධානාත්මකව සිදු කළ මෙම ප්‍රහාරයන්ට එමඟින් තටු ලැබී ඇති බවට වන සාක්ෂින් අපට එහිදී හමුවිය .විකල්ප අප සිද්ධිය සිදු වූ ප්‍රදේශ වලට සෘජුව සංචාරය කොට කරන ලද අධ්‍යන හා නිරීක්ෂණත්, මෙම සිද්ධීන් ඇසින් දුටු සාක්ෂිකරුවන් 10 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් විසින් කරන ලද ප්‍රකාශ හා එහිදී විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ ලබාගත් වීඩියෝ දර්ශනත් පදනම් කොට ගෙන මෙම සටහන සකසන ලදී.

ඉරණතිව් මාතා නගර් හි දින 359 ක් පුරා එනම් වසරක් සපිරීමට නියමිත උපවාසයක් ක්‍රියාත්මක කෙරෙමින් තිබුනේ ඉරණතිව් දුපතෙහි පාරම්පරික ලෙස ධිවර රැකියාවේ යෙදෙමින් ජිවත් වූ ජනයා එම දුපතෙන් ඉවත් කිරිම නිසාය. යුද්ධය අවසන් වී වසර 9 ක් ගෙවෙද්දීත් නාවික හමුදාව විසින් එම සමස්ත භූමියට ජනතාවට ඇති නීතිමය අයිතීන්ද නොතකා පාලනය සියතට ගෙන තිබුණි. ඒ අනුව බෝට්ටු 40 කට ආසන්න සංඛ්‍යාවකින් , ඒ වෙනුවෙන් විරෝධය දක්වමින් අප්‍රේල් 23 වන දින ඉරණතිව් මාතා නගර් සිට ඉරණතිව් දුපතෙන් ඉවත් කිරීම නිසා අවතැන් වී සිටින 300 ක පමණ වූ වැසියන් ඉරණතිව් දුපත වෙත සංකේතාත්මක පැමිණි අතර විකල්ප අපිද මෙම ජනයා සමඟ ඉරණතිව් දූපත වෙත ගියෙමු.

අනෙක් ජාතින් වහා තලා පෙලා ගිනි ගසා අළු දුලි කිරීමේ රෝග ලක්ෂණ වලින් මුලික වශයෙන් පෙලෙන , නිට්ටාවට තවමත් සුව කිරීමේ ක්‍රමයක් සොයා ගෙන නැති හදිසි රෝගාබාධයක් එක් වරම ජාතිඅනුරාගයෙන් පෙලෙනවා යයි කියන "සිහල බෞද්ධ" යැයි කියන පිරිසකට වැළදී කළ ගිනිබත් කිරීම් වලින් මාස 2කට පසු විකල්ප විසින් මෙම සටහන තැබුයේ කුණ්ඩසාලේ, පල්ලේකැලේ ජනසවිගම සිංහල ජනපදය මැද පිහිටි එකම මුස්ලිම් පවුල් කීපය වෙත 24 පැය ජංගම මුර පොලිස් සේවයද ක්‍රියාත්මක වන මොහොතකදී මාර්තු මස 7 වන දින ජාතිවාදී මැර කල්ලි විසින් රාත්‍රී කාලයේ ප්‍රහාර එල්ල කිරිමෙන් පසු ය . මෙහි ඇත්තේ එයින් හානියට පත් පවුල් 4 ක ගැහැනුන්, මිනිසුන්හා දරුවන් විසින් අප හා කියූ කතන්දරය. ඇතැම් විට ඔවුනට දැනුණු හැඟීම්ය . ඒවාට නමක් තිබේ දැයි ඇතැම් විට අප තවමත් කල්පනා කරමු . ඒවා ලිවිය යුතු පිළිවෙළක් වෙද්දැයි අපි නොදනිමු. පිළිවෙලකට සිදු වූ සිදුවීම් විසින් මේ මිනිසුන්ගේ ජිවිත අපිළිවෙල කොට ඇති බව පමණක් අපි දනිමු. මේ අපිළිවෙල වී ගිය ඒ ජිවිත කතාය .

විකල්ප වෙබ් අඩවිය(www.vikalpa.org) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට #EnageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්” ( Social Media Declaration) සකස් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කළ මූලික වැඩමුලුව ජූනි මස 22, 23, 24 යන තෙදින තුළ මීගමුවේදී පැවැත්විණි. ඒ අනුව මෙම මුූලික වටයේ ක්‍රියාවලිය හා සාකච්ජාව වෙනුවෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් හා ක්‍රියාකාරිනියන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, ජනමාධ්‍යවේදීන්, පුරවැසි වෙබ් අඩවි කතෘවරුන්, ස්වේච්ජා සංවිධාන ක්‍රියාකාරීන්, නීතිඥවරියන්, සමාජ මාධ්‍ය තාක්ෂණික විද්වතුන්, පර්යේෂකයින්, විශ්ව විද්‍යාල සන්නිවේදන අංශ නියෝජිතයින්, ළමා හා කාන්තා ක්‍රියාකාරිකයින් මෙන්ම සංක්‍රාන්ති ලිංගික/ සමරිසි ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරීන් ආදී 25 කට ආසන්න පාර්ශවකරුවන් ප්‍රමාණයක් එකතු විය.ඒ අනුව #EngageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්”( Social Media Declaration) නිර්මාණය කිරීම සඳහා වන මෙම පුළුල් සාකච්ජාව විශේෂයෙන් මානව හිමිකම්, ආචාරධර්ම සහ බහුත්වවාදී පදනමකින් යුතුව ‘සමාජ මාධ්‍ය’ භාවිතා කරන්නන් දැනුවත් කරමින් හා ඩිජිටල්/ අන්තර්ජාල සාක්ෂරතාවය වර්ධනය කරමින් වඩා ආචාරධාර්මික සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා සමාජ මාධ්‍ය පරිශිලකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ව ඇතුලු පාර්ශවකරුවන් උනන්දු කරවීම සදහා වන එකගත්වයෙන් පැවැත්විණි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් (OMP) යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව හා මරුනත්කෙනි ප්‍රා.ලේ කොට්ඨාශ ආවරණය වන පරිදි ජුලි 14 වනදා යාපනය වීරසිංහම් ශාලාවේත්, ජුලි 15වනදා කිලිනොච්චියේ පළමු රැස්වීම කිළිනොච්චි සමූපකාර ශාලාවේත් පැවැත් වූ අතර අතුරුදහන් තැනැත්තන් පිලිබඳ වූ කාර්යාලයට එහිදී අහියෝගයක රැසකට මුහුණ දීමට සිදුවිය. අතුරුහදන් වුවන්ගේ සමීපතමයින්ගෙන් පිරිසක් කාර්යාලය ප්‍රතික්ෂේශ කරමින් වෙත තම විරුධත්වය ප්‍රකාශ කළ අතර තවත් පිරිසක් එම රැස්වීම් වලට සහභාගී වෙමින් කාර්යාලයේ භූමිකාව සම්බන්ධව තමන් සතුව ඇති මතය ප්‍රකාශ කළ අතර කිලිනොච්චියේදී පෙත්සමක් ද භාර දෙන ලදී.

වැළිකඩ බණ්ධනාගාරය තුළ සිදුකල පහරදීම් වලින් එහි සිටි කාන්තා රැදවියෙක් අගෝස්තු 24වනදා පස්වරුවේ මිය ගියාය . එම කාන්තා රැදවිය මිය යන්නට පෙර වැළිකඩ බන්ධනාගාරයේ එම රැදවිය ඇතුලු පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කළේ අගෝස්තු 13 සහ 14 දාය. ඉන් පසු අගෝස්තු මස 20 සහ 21 දා යළිත් වැළිකඩ බන්ධනාගාරයේ වහල මතට නැග ඔවුන් තවත් විරෝධතාවයක් ආරම්භ කළහ. එහි මූළිකම ඉල්ලීම වී තිබුණේ, බන්ධනාගාරය තුළ කාන්තා රැදවියන්ට අවම පහසුකම් හෝ නිසියාකාරව ලබා දෙන ලෙසත් , ඔවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කිරීම සහ තවත් කරුණුය. විකල්ප එම සිදුවීම පිළිබඳව ගවේශනාත්මක දීර්ඝ සටහනක් තබන ලදී .

අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදාය. ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතර ඒ වෙනුවෙන් දිගටම අරගල කළ මධුෂ්කගේ බිරිඳ වන මයුරි ජයසේන ද 2014 නොවැම්බර් 1 වන දින කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් "තමුන් කරන උද්ගොෂණ නවතා දමන ලෙස" තර්ජනය කරමින් අත්පා බැද මහ මග දමා ගොස් තිබුණි.වසර ගණනක් පුරා ඔහු වෙනුවෙන් තම නිවුන් දරුවන් දෙදෙනා සමඟ අරගලයේ යෙදෙන මධුෂ්ක ගේ බිරිඳ විරෝධතාවයේ යෙදෙන ජායාරූපයක් පෙන්වමින් ‘මේ මදුෂ්ක නේද? යනුවෙන් අනුරාධපුරයේ තරුණයන් කීපදෙනෙකුම පැමිණ අපගෙන් ඇසුවේ හරියටම මිට වසර 5කට ප්‍රථම අතුරුදහන් වූ මධුෂ්ක වෙනුවෙන් තවමත් යුක්තිය නොලත් ඔහුගේ බිරිඳ වන මයුරි ජයසේන පසුගිය සැප්තැම්බර් 4 වන දින උදෑසන සිට පසුදා පහන් වන තුරු කොලඹ ගෝල්ෆේස් හිදී යුක්තිය ඉල්ලමින් සිටින විට විකල්ප අපි #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ජායාරූප ප්‍රදර්ශනය සිව්වෙනි වරට අනුරාධපුර නගරසභාවෙහි සති පොළ ඉදිරිපිට ප්‍රජා ශාලාව, අංක 2 ශාලාවට පසුගිය සැප්තැම්බර් මස 3 සහ 4 රැගෙන ගිය අතරතුරය.

ඔක්තෝම්බර් මස 16සිට 18 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවත්වීමට නියමිතව තිබූ පස්වන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ ‘මාගේ දේශය අවදිකරනු මැන’ 2108 ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පුර්ණ සංවිධාන ශක්තියෙනි. එහෙත් කනගාටුදායක ලෙස අත්තොනෝමතික ලෙස ශිෂ්‍ය පිරිසක් විසින් එල්ල කරන ලද විරෝධය හමුවේ ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළදී වාරණයට ලක්විය.ප්‍රකාශනය නැරඹීමකින් හෝ තොරව වාරණය අසාධාරණ හෙයින් තම චෝදනා මෙම ප්‍රදර්ශනයන් නැරඹීමෙන් පසු සංවාදයට ගැනීම සුදුසු බව සංවිධායකින් විසින් ප්‍රකාශ කළත් අදාළ සිසුහු විවිධ අතාර්කික, ව්‍යාජ තර්ක මෙන්ම වෛරී චෝදනා කරමින් ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව තරයේ කියා සිටියහ.විශේෂයන්ම යම් කිසි ප්‍රකාශනයක් නැරඹීමකින් හෝ කියැවීමෙන් තොරව එම ප්‍රකාශනයට එරෙහිව විරෝධය දැක්වීම ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන ලද බරපතලම ප්‍රහාරයක් බව විකල්ප අප බරපතල ලෙස අවධාරණය කරමු

ඔක්තෝම්බර් ( 26 ) වන දින රාත්‍රියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්තනොමතිකව හා ව්‍යවස්ථා විරෝධී ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයේ සිටියදීමය.2015 වසරේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පොරොන්දු වී පැමිණි යහපාලයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු බිඳ දමමින්, ව්‍යවස්ථානුකූලව එන කිසිදු නිසි ක්‍රියා පටිපාටියක් පුර්වයෙන් පිලිපැදීමෙන් තොරව තම විධායක බලය අනිසි ලෙස භාවිතා කරමින් මෙම පත් කිරීම සිදු කරන ලද අතර, පත් කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ තමන් ධුරයෙන් ඉවත් කළ බවත්, මහින්ද රාජපක්ෂ අගමැති ධුරය වෙත පත් කරන ලද බවත් ගැසට් කරනු ලබයි.

කෙසේවෙතත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව යළි කැඳවා මේ පිලිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැගෙන හඬ යටපත් කරමින් ජනපතිවරයා විසින් නොවැම්බර් මස 16 වන දින දක්වා පාරිලිමේන්තුවද කල් තබා තිබුණි. ඔක්තෝම්බර් 29 දාසිට වරින්වර නව ඇමති මණ්ඩල ඔහු ඉදිරියේ දිවුරුම් දුන් අතර දින 51 කාලයක් රට අස්ථාවරව පැවතියේය. ඒ අතර විවිධ සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ අර්බුදය හමුවේ තම මැදිහත්වීම කරන ලද අතර ඒ අතර " ශ්‍රී ලංකික කාන්තාවෝ " නමින් ඉකුත් නොවැම්බර් මස 28 වන දින මහා වැස්සේ පා ගමනින් ජනපතිවරයාට ලිපියක් භාර දීමට කලාකාරිනියන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් කළ මැදිහත්වීම ඒ අතරින් කැපී පෙනිණි. ඒ කාලය පුරාම අප විසින් මෙම ව්‍යවස්ථා අර්බුධය සම්බන්ධව පළ කළ ලිපි සහ විරෝධතා ව්‍යාපාර සම්බන්ධ ලිපි "Constitutional Coup" යන යෙදුම ඔස්සේ අප වෙබ් අඩවිය හරහා පාඨකයන්ට කියවීමට හැකිය.

ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන ම්ලේච්ඡ කෲරකම් සිදුවී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට අදහස් ප්‍රකාශ කිරීමේ හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අඟහිඟකමින් තොරවීමේ නිදහසත් භුක්ති විඳීමට හැකි ප්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රේෂ්ඨතම අපේක්ෂාව ලෙස ප්‍රකාශයට පත් වී මෙවර දෙසැම්බර් මස 10 වන දිනට වසර 70 ක් ගත විය. 1948 දෙසැම්බර් මස 10 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කරනු ලදුව ප්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට වසර 70 ක් ගෙවෙද්දී , විකල්ප වෙබ් අඩවිය වසර 10 ක් පුරා මෙරටේ පුරවැසියන්ගේ මානව හිමිකම් රැකිම උදෙසා කළ අභියෝගාත්මක මෙන්ම කැපී පෙනෙන මෙහෙවර වෙනුවෙන් විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන් 2018 වසරේ මානව හිමිකම් උත්තමාචාරයෙන් පිදුම් ලැබිය. එය අප නියෝජනය කරන දහසක් වූ පිඩිත ජනයාගේ හඬ ජනගත කිරීම වෙනුවෙන් ලද විශාල ජයග්‍රහණයක් බව අපි මෙහිලා නිහතමානිව සඳහන් කරමු.

වෙසෙසින්ම විකල්ප වෙබ් අඩවියට මේ වසර අවසානයට වසර 11 ක් ගෙවෙමින් ඇති මේ මොහොත්තේ අප රැවුම්, ගෙරවුම්, තර්ජන , ගර්ජන හමුවේ නොනැවතී, නොසැලී ආදරය, නිදහස හා මානව ගරුත්වය හා ජීවිතය  වෙනුවෙන් වන දුෂ්කර මාවත තුළ වන කටුක සත්‍ය ඉස්මතු කිරීමේ අනවර්ථ අරගලයට පන පොවමින් සිටිමු.

2019 වසරේද අප විසින් යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව පුරුෂාර්ථයන් වෙනුවෙන් වන සටන් බිමේ අප භූමිකාව වෙනුවෙන් කැප වෙන බව මෙහිලා සටහන් කරන්නේ හෙටින් ඇරඹෙන වසර පුරවැසි අප සියලු දෙනාටම අභියෝගාත්මක වසරක් බව නැවත නැවතත් අවසන් වශයෙන් මෙහිලා ලියා තබමිනි.

2018 වසරේ විකල්ප විසින් පළ කළ සියලු ලිපි වෙත පිවිසෙන්න

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.