Loading

වසර 30කට පසුවත් ජිවිතය එයම විය ... “උතුරේ වෙසෙන දෙමළ ජනතාව” යනු කවුරුන්ද ? IDP CaMPS -JaffNA 2017

"වසර විසි ගණනක් තිස්සේ අවතැන්වෙලා ඉන්න ඒ අසරණ මිනිස්සුන්ගේ ඉඩම් ඉක්මනින් දිය යුතුයි.. ඉඩම් ආපසු ලබා දෙන්න කියා උතුරේ මිනිසුන් ගෙනෙන ඒ ඉල්ලීම් ඉතාම සාධාරණයි."- එවකට විදේශ ඇමති, වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර - 2016 අගෝස්තු 29 වෙනිදා උතුරු සංචාරයක යෙදෙමින් -

මා මේ ජායාරූප සටහන තබන්නේ 2009 වසරේ දේශපාලකයන් විසින් ඝාතනයෙන් කෙළවර කරන ළද මිනිස් ඔළුගෙඩි යුද්ධයෙන් වසර 8ක් ගෙවී අවසන්ව ඇති මොහොතකය. උතුර බිල්ලකු සේ දකුණේ සිංහල සමාජය විසින් හංවඩු ගැසෙමින් අතහැර දමා ඒ අතර වසර 30කට ආසන්න කාලයක් ගතවී ඇත. තවද ඔබ මා ඇතුළු මෙරට බොහෝ දෙනෙකු ඇහැට දැක නොමැති රුපවාහිනියේ හෝ ගුවන් විදුලියේ පමණක් ඇසු “උතුරේ වෙසෙන දෙමළ ජනතාව” යනු කවුරුන්ද? එහෙව් කාණ්ඩයක් සිටින්නේ දැයි නොදන්නා වුද , අනෙක් අතට රටේ තවමත් “සුභසාධක කඳවුරු” ( welfare camps) යනුවෙන් අටවන ළද ඊනියා නාමයකට යටව අභ්‍යන්තරව අවතැන්ව සිටින (internally displaced persons (IDPs) ) අපේම ජනතාවක් තම පනකෙන්ද පමණක් අතැතිව තවදුරටත් සිටින බව නොදන්නා වුද “ජාතික චින්තනයක් , ජාතික රාජ්‍යක් , ඒකිය රාජ්‍යක්” යන වචන ගිලිමින් බණ දෙසමින් තම බඩගෝස්තරය වඩවා ගන්නාවූ පිරිසක්ද රටේ ජන මොළය අරක් ගනිමින් සිටිනා අවස්ථාවකය.

වඩා වැදගත් කාරණය නම් එහෙව් ජාතිකත්වයක් ගැන කතා කරන බොහෝ ආචාර්ය,මහාචාර්ය, දේශපාලන මහත්වරුන් පාවහන් පැළඳ , අව් කන්නාඩි දමාවත් මේ ගිනිගහන කාශ්ටක පොළොවේ පැය භාගයක් හෝ ඇවිද ගොස් ඇද්දැයි යන්නය. දන්නා වචනයක් දෙකක් හෝ අමුණා ගෙන එකී කාශ්ටකෙටත්, ඇවිලීගිය බෝම්බ වලින් දැවී ගොස් තම වයසට වඩා දෙතුන් ගුණයකින් වැහැරී කැහැටු වී ගිය මේ ජනයා සමඟ වචනයක් හෝ කතා කොට ඇද්ද යන්නය.

එහෙත් වසර ගණනාවක් අවම පහසු කම් වත් නොමැතිව බෙලෙක් තහඩු අතරේ අව්වෙත්, වැස්සේත් බෝම්බ බිය ඇතුලේ ගෙවුනු මේ ජිවිත තම උපන් නිවස දැක දැක දැකත් අදටත් එහි යා නොහැකිව සිටිද්දී එකී ලොක්කන් මේ මිනිසුන්ගේ ඊරි මාංශය උරා බොමින් “තල්සේවනේ”ගොස් රසමසවු බුදිමින් අදත් සිටිය හැකිය.දැනුත් සිටිය හැකිය. මේ ඇස් පනාපිට පේනා සත්‍යන් මිස මේවා අමුතුවෙන් සොයා සොයා ගොස් ඉල්ලිපිය යුතු ඒවා නොවේ.

මා යාපනයේ IDP කඳවුරු වෙත ගිය ගමන ගැන ඇසු මගේ මිත්‍රයෙක් පැවසුවේ “එහෙම ඒවා ලංකාවේ තවත් තිබේද යන්නයි”. මා පුදුමයට පත් නොවුනේ එවන් නමක් වත් නොඅසා ඇති දකුණේ මිත්‍රයන්, වැඩිහිටියන් බොහොමයක්ම මා දන්නා බැවිනි. එහෙත් මා පුදුමයට පත් කළ කාරණය නම් ඔහු මෙන්ම බොහෝ සිංහලයන් කියනා පරිදි “දකුණේත් ඕනෑ තරම් දුප්පත් අනාථයන් ඉන්නවා. ඇයි ඒවා ගැන කතා කරන්නේ නැත්තේ” කීමය.
එහෙත් මා ඔහුගෙන් යළිත් ඇසුවේ වන්දියක් හෝ නොගෙවා අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් තරු හෝටල් ඉදිකරමින් යුධ නටබුන් බලන්නට එන චාරිකා නඩයන්ට ආයිත්තම් කරමින් තම දේපළ හරි හරියේ තම රටේම රජය හා හමුදාව විසින් කොල්ල කමින් සිටින බව දකිමින් ඇස් කන් වසා සිටින්නටද , එමෙන්ම නුල් පොටක් නොමැතිව හිස් අතින් වසර 30ක් පුරා බිම්බෝම්බ , වෙඩි හඬ හා මරණ බියෙන් නැවතී ගිය බලාපොරොත්තු රහිතව ගෙවෙන මෙවන්බෙලෙක් තහඩු ජිවිතයකට රටේ කොයි යම් පෙදෙසෙක හෝ ජනයා මුහුණ දී තිබේද යන්නය. දෙමළ වීම නිසාම දෙමළාට ඇති ප්‍රශ්නය එයය. මේ ජනතාවට මේ අකටයුතුකම් වලට තව දුරටත් මුහුණ දීමට සිදුවීම කිසිසේත්ම සාදාරණ නොවනවා පමණක් නොව මානුෂිය නොවන්නෙත් ඒ නිසාය.

කෙස් පැලෙන තර්ක, විතර්ක හෝ මුලධර්ම, න්‍යායන් හෝ මේ කී කිසිවකින් මේ පිඩ්ත ජිවිතයන්ගේ බඩ ගිනි හෝ හිත ගිනි නොනිවෙනා නිසාම මේ පොළොවේ කරක් ගසමින් මේ මිනිස් ජිවිත දකින්නට ඔබේ මනස විවර වේ නම් එය අත්‍යවශ්‍යම කරුණක් වනු ඇත.

මේ බිළිදු ඇස්, ගැටවර මුහුණු, නහර ඉලිප්පිගිය ගිය වැඩිහිටි අතපය දෙස හොදින් බලන්න.

ඒවා තවදුරත් ජිවත් වනවාට ජිවත්කරනවනවා ද නැත්නම් එකම එක බලාපොරොත්තුවක් වත් පොදී බැඳ ජිවිතයෙන් සමුගෙන යන්නට මත්තෙන් එකී ජිවිතයන්ට එකම සිනාවක් වත් ගෙන එන්නට මැදිහත් වනවාද යන්න පුරවැසියන් වන අප මත අප විසින්ම පටවා ගත යුතු බරපතළ පුරවැසි යුතුකමක්ව මෙන්ම වගකීමකි.

මන්ද යත් ඒ වැහැරි ගිය ශරීර වල අස්ථන්ව ගිය ගැහැනුන් මිනිසුන් කිසිවෙකු තුළ මා එහි ගතකල දිනය තුළ කිසිදු සැහැල්ලු සිනාවක් කිසිවිටෙකවත් නොදුටු බැවිනි. ඔවුනගේ ජීවිතය සැහැල්ලු නොවනවා පමණක් නොව මුහුණ දෙමින් සිටින ජිවිතයේ බර දැරීමට තරම් වත් ශක්ති ප්‍රමාණයක් ඔවුන් සතුව තවදුරටත් ඉතිරිව නොමැති බැව් ඒ නිහඬ රූප මට නැවත නැවත කියමින් සිටින නිසාය.
Created By
Ishara Danasekara
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.