අතුරුදහන් කිරීම් නැවත සිදුනොවන්නට නම් ඔවුන්ට ‘යුක්තිය’ ඉටුකළ යුතුමය!! International Day Against Enforced Disappearance

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවටත් ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දීම පිණිස අතුරුදහන්කරවීම් යොදා නොගත යුතු බවටත් මතයක් ඇති කිරීම පිණිස මෙම දිනය යොදා ගනු ලැබේ. මෙම වසරෙහිදී ද ලොව පුරා අතුරුදහන්වීම්හි ගොදුරුබවට පත් වුවන්ට යුක්තිය ඉටු කරන සේ සහ දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසන් කරන සේ ඉල්ලා සිටිමින් අදට(අගෝස්තු 30) යෙදෙන එම දිනය සැමරේ.

ලංකාව තුළ 2017 දී එම ජාත්‍යන්තර දිනය සටහන් වන විට අතුරුදන්වූවන් සෙවීම සදහා ‘යහපාලන‘ ආණ්ඩුවේ යෝජනාවක් අනුව, 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පළමු ස්ථිර ආයතනය පිහිටුවීම පිණිස නීතියක් පැනවූයේ එදින ය. ඒ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) නමිනි. අවසානයේ දී ගොදුරු වූවන්ට පිළිතුරු සැපයීමටත් නිහඬතාව අවසන් කිරීමත් එහි අරමුණ බව සදහන් විය.

දෙවැන්න නම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පතක් 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත‍්‍රයේ අතිරේකයක් ලෙස පළ කල අතර අග‍්‍රාමාත්‍යතුමා විසින් එය 2017 මාර්තු මස 7 වන දින පලමුවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එය දෙවන වර කියවීම සදහා 2017 ජූලි මස 5 වන දිනට නියමිත වූ නමුත් එදින ඉදිරිපත් නොවිනි. එම පණත් කෙටුම්පතේ අරමුණ ලෙස සදහන් වී තිබුණේ, පනතේ අරමුණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම සහතික කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම යි.(More)

අතුරුදහන් කිරන ලද සිය සමීපතමයින් ඉල්ලා කිලිනොච්චියේ සිදුකරන උපාවසය | 202 Dates

නමුත්!

2016 අගෝස්තු 11 දින අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය(OMP) නීතියක් ලෙස පැන වූ දා සිට එය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා වසරකට ආසන්න කාලයක් ගැනීමෙන් අතුරුදන්වූවන් පිළිබද ලංකාවේ ජනාධිපතිවරයාගේ දේශපාලන අභිලාශය පිළිබද ප්‍රශ්ණාර්තයක් ඉතිරි කළේය. කෙසේ නමුත් ‘2017 ජූලි 19 වන දින 2028/45 දරන (අති විශේෂ) ගැසට් පත‍්‍රය මගින් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව වූ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය හා කාර්යභාරයන් ඉටු කිරීම) පිළිබඳව වූ 2016 අංක 14 දරන පනත ජාතික ඒකාබද්ධතාවය සහ සංහිඳියාව පිළිබඳව වූ අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කල යුතු නීතියක් ලෙස ගැසට් කරනු ලැබිණි.‘ මේ පිළිබද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) පවසන්නේ ‘‘එසේ කිරීම මගින් ජනාධිපතිවරයා විසින් විශාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වියවුල් සහගත බවක් ඉස්මතු කරනු ලැබිණි.‘‘ යනුවෙනි.( ඒ පිළිබද CPA විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව කියවන්න)

කෙසේ නමුත් තත්ත්වය මෙසේ තිබියදී, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල දින 150කටත් වඩා වැඩි දින ගණනක් පුරාවට, අතුරුදන්කරල ලද සිය ආදරණීයන්ගේ තොරතුරු ඉල්ලා සිය ගණනක් මිනිසුන් උපවාසයේ යෙදී සිටියි. එමෙන්ම මන්නාරම, මඩකලපුව ඇතුලුව උතුරු නැගෙණහිර බොහොමයක් මිනිසුන් තවමත් ඔවුන්ට හැකි පමණින් අතුරුදහන්කළ වූවන් සොයා ඇවිද යයි.

Vavuniya, Srilanka
‘‘යහපාලනය පොරොන්දු උනා, අපිට තොරතුරු දෙනවා කියලා, දැන් අවුරුදු 2කකටත් වඩා ගිහිල්ලා, ඔවුන් ඔක්කෝම පොරොන්දු කඩකරලා‘ ඔවුන් පවසයි.”

මේ ඔවුන්ගේ කතාවෙන් බිදක්....!

Mannar, Srilanka
උදයචන්ද්‍රා - Mannar
‘‘යහපාලනේ, යහපාලනේ යැයි කියමින් සිටියත් යහපාලනයක් කරනවා කියලා නම් පෙන්නේ නෑ. දවස් 100 ඇතුළත අතුරුදහන් වූ ළමයින්ව හොයලා දෙනවා කිව්වා. දැන් අවුරුදු 2 ක් ගෙවිලා ඉවරයි. තාම හොයලා දුන්නේ නෑ අපේ දරුවන්ව. ඒ නිසා රජය ගැන අපිට කිසිඳු විශ්වාසයක් නැහැ. තවමත් අතුරුදහන් වූවන් ගැන හිතලා මිනිස්සු කම්පනයකිනුයි ජීවත් වෙන්නේ.”
Mannar, Srilanka
Killinochchi, Srilanka උපවාසයට දින 202යි
‘‘මේ මගේ පුතා. මේ මගේ බෑනා 2009.05.18 වන දින වට්ටුවාහල් වලදී පියතුමන් සමඟ ඔක්කෝම පිරිස පනස් අටක් පමණ දෙනා සමඟ බස් එකක නග්ගවගෙන ගියා. වතුර කෑම ඔක්කෝම අරන්දීලා ඒ අයට ඕමන්තේ මුරපොලේ ද, කට්ටියව බස්සලා කට්ටියම වෙන වෙන වර්ගකර බෙදලා තියෙනවා. ඊට පසුව වෙන වෙන වාහන වල නංවා ගෙන ගොස් තිබෙනවා. එයින් පසුව කිසිඳු තොරතුරක් නැහැ.”
තවසරී - Killinochchi, Srilanka (Full Story: http://www.vikalpa.org/?p=29725)
‘‘අද කතාවක් තියෙනවා අතුරුදහන් වූ අයට මරණ සහතික ලබා දෙන්න යනවා කියලා. මරණ සහතික කොහොමද අපි ලබා ගන්නේ. එයට හා කියනවා මිසක් මින්ස්සු කැමති නෑ අතුරුදහන් වූ අයට මරණ සහතික ගන්න. මිනිස්සු බය වෙනවා මරණ සහතික දීමේ වැඩ පිළිවෙල අතරතුර තමන්ගේ දරුවෝ ජීවතුන් අතර සිටියත් මරලා දාවිදැයි කියලා.”
Killinochchi, Srilanka
Vavuniya, Srilanka
එම් විනීතා Vavuniya
‘‘අපි සියළු දෙනා ජන්දය දුන්නා. ඒත් ඔහු ඇවිත් අවුරුදු 02 ක් ගත වෙලාත් මේ වන තුරුත් අපේ දරුවන්ව අපට පෙන්නුවේ නැහැ. ඒ අයට යුක්තිය ඉෂ්ඨ කෙරුවේ නැහැ. ඒ ගැන හිතන කොට අපගේ හදවත්වලට වාවන්න බැරි දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක දැන ගන්න බැරුව තමා අවසාන වශයෙන් මේ උපවාසය වව්නියාවේ දී ආරම්භ කෙරුවේ.”
Vavuniya
Trincomalee, Srilanka
ආශා Trincomalee
“අපේ දරුවන්ව පැහැර ගෙන ගියේ මේ හමුදාවේ සොල්දාදුවන්. ඒ අයව නිදහස් කරන්න කප්පම් ඉල්ලපු එවුන්. එවැනි බ**න් මේ වීදියේ සැරිසරනවා අපි දකිනවා. ඒ බ**න් පවා මේ යහපාලනය කියලා පම්පෝරි ගහන ආණ්ඩුව අත්අඩංගුවට නොගෙන ඉන්නවා. මේ තත්වය යටතේ අපේ සහෝදර ජනතාව අපෙන් අහනවා ඇයි තවත් ඉන්නේ කියලා. ඔයාලාගේ දරුවන් මැරිලා ඇති නේද? තව කොච්චර කාලෙකට මෙහෙම ඉන්නවාද? කියලා අහනවා. අපිව විහිළුවකට භාජනය කරනවා. අපව දිහා ඒ අය සැකෙන් බලනවා. මේ තත්ත්වයට අපිව පත්කලේ මෛති‍්‍ර – රනිල්ගේ යහපාලන ආණ්ඩුව.”
කදිරවේලු මුරුගේසු Trincomalee
“අපි දකිනවා අපේ ළමයින්ව උස්සපු එවුන්. අපෙන් කප්පම් ගත්ත එවුන්. අපේ ලමයි මරා දාපු එවුන්, දැනුත් අපේ ඇස් ඉදිරියේ සැරිසරනවා,”
අතුරුදන් කරන ලද සිය සමීපතමයින් ඉල්ලා ත්‍රිකුණාමලයේ සිදුකරන උපවාසයට දින 100 පිරීම් නිමිත්තෙන් මව්වරුන් මුහුදට බැස සිය වේදනාව ප්‍රකාශ කළ අයුරු | 15 June 2017
Mullathive, Srilanka | දින 160 ක් උපවාසයේ

යහපාලනයේ වසර 2ක ගෙවීෙයත් ම මුලතිව් හී දින 160ක් උපවාසයේ යෙදෙන මව්වරුන් හමුවේ, ඔවුන්ගේ කාන්තා ක්‍රියාකාරිණියක් වන මරියසුරේෂ් ඊෂ්වරි ට, පසුගිය 14වනදා කිසියම් පිරිසක් විසින් උපවාසය නතර කරන ලෙස බලකරමින් මරණ තර්ජනය කිරීම සංක්‍රාන්ති යුක්තියට බලපාන්නේ කුමන අයුරකින් දැයි ‘යහපාලන‘ නියෝජිතයන් කිසිවෙකුත් ප්‍රශ්ණ කළේ නැත. එසේම සුපුරුදු ලෙස දකුණේ මාධ්‍ය ද ඒ පිළිබද මුනිවත රකිමින් සුපුරුදු නිදි සුවයෙන් කල් ගෙවූහ. නමුත් මුලතිව් පමණක් නොවේ අනිකුත් ප්‍රදේශවල උපවාස, විරෝධතා සිදුකර මිනිසුන් දැන් සිටිනේනේ බියෙන් ය.

මුලතිව්ම හී දී මරණීය තර්ජනයට ලක්ව මැරයින්ගෙන් පහර කෑමට ද ලක්වු මුරියසුරේෂ් ඊෂ්වරි
‘‘අපි මේ ප්‍රෙස්කොන්ෆරන්ස් එක ඉවර වෙලා යනකොට මොනවා වෙයිද දන්නේ නෑ. දැන් දැන් අපි ඉන්නේ බයෙන්...”

පසුගිය අගෝස්තු 17වනදා කොළඹට රැස්වුනු උතුරු සහ නැගෙණහිර මව්වරුන් මාධ්‍ය හමුවකදී කිවාය. ඒ අතුරුදන් වූවන් පිළිබද කඩිනමින් සත්‍ය සොයනවා යැයි කියූ යහපාලන ආණ්ඩුව පැමිණ වසර 2කක් ගත වෙන විට ඇති වෙමින් ඇති තත්ත්වයෙන් තවත් එක් උදාහරණයක් පමණි.

Batticaloa, Srilanka
‘‘අපේ දරුවන් මතක් වෙනකොට අපිට උහුළගන්න බෑ. අපි පුලුවන් හැම තැනටම ගියා. අනිත් අය වගේ අපිට එකතුවෙලා අපේ දරුවන් හොයන්න ඕන උනත් ඒක මෙහෙ කරන්න අමාරුයි. තාමත් අපි ඉන්නේ බයෙන්. කවුරු හරි ආවත් ‘එයාලා‘ ඇවිල්ලා අහනවා ආවේ කවුද කියලා. අපි මොනවද කරන්නේ? කෝ අපේ ළමයි...”
අතුරුදහන් කරන ලද මේ අම්මාවරුන්ගේ දරුවන් අදද ඔවුන් සොයන්නේ බියෙනි. - මඩකලපු
2010 ජනවාරි 24 අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ | අදට දින 2714යි!
‘‘ජනාධිපතිතුමණි, ‘මාස 18ක් නෙමෙයි, මම මාස 81ක් යුක්තිය හොයනවා” – සන්ධ්‍යා එක්නැළිගොඩ

දේශීයවත්, ජාත්‍යන්තරවත් අවධානයට ලක්වූ ප්‍රගීත් ගේ අතුරුදන් කිරීම පිළිබද 2015 ජනවාරි 8 බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් එහි පරීක්ෂණ ආරම්භ කරන ලදි. නමුත් මේ වන විට එම පරීක්ෂණ සිදු වන්නේ ද ඉබි ගමනේය. ඒ විවිද අවස්ථාවන් වලදී ජාතිවාදීන්ගෙන් අධිකරණයට පවා සිදුකරන බලපෑම් මධ්‍ය යේ ය. නමුත් තවමත් අපරාධකරුවන් නිශ්චිතව හදුනා ගන්නට ‘යහපාලනයටද‘ නොහැකි වූයේ ඇයි??? More Information here

සිය සැමියා සොයා අද දවසේද වෙහෙසන ප්‍රගීත් ගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ | More Information http://www.vikalpa.org/?p=28556
මයුරි ජිනසේන Anuradhapura, Srilanka | Protest @Colombo

මධුෂ්කව පැහැර ගෙන දින 1010 පිරෙන දින 2016 සැප්තැම්බර් 1 මධුෂ්කගේ බිරිද මයුරි නැවතත් සිය දුක කියන්නට ජනාධිපතිතුමා හමුවන්න පැමිණියා. නමුත් ඇයට සුපුරුදු පරිදි ලැබුනේ සුපුරුදු උත්තරයක්. ‘තව සතියකින් කියන්නම්‘. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් ඇයට පවසා තිබුණා. බලන්න” 2016 ජූනි 9වනදා කිවූ දේ… බලන්න

‘‘මට ජනාධිපතිතුමා මුණ ගැසෙන්න ඕන. පසුගිය කාලයේම ලේකම්වරු මට බොරු කිව්වා.”
.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේදී පැහැර ගනු ලබනවා. නමුත් අද වනතුරු මධුෂ්ක පිළිබද තොරතුරක් නැති බැවින් ඔහු සොයා ඇවිදන ඔහුගේ බිරිද මයුරි ජිනසේන.
ආර්. සම්පන්දන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක.

‘යහපාලනයට‘ වසර 2කක් ගෙවුනත් අතුරුදහන් වූවන් පිළිබද සාධනීය මැදිහ්වීමක් නොමැති තැන.... අතුරුදහන් වූවන් පිළිබද ජාත්‍යන්තර දිනයේ දී ප්‍රකාශයක් කරමින් ආර්. සම්බන්දන් විපක්ෂ නායක වරයා පවසන්නේ,(More Information here)

‘‘හමුදාවට බාර දුන් පුද්ගලයන්, පැහැරගෙන ගිය පුද්ගලයන් ඇතුලු අතුරුදහන් කරන ලද සියලු පුද්ගලයන් පිළිබද සත්‍ය තොරතුරු අදාල මිනිසුන් වෙත ලබා දිය යුතුයි. ආයුද අරගලය අවසන් වී වසර 8ක් ගත වුවත් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය කෙරෙහි මෙතෙක් නිසි අවධානයක් යොමුවෙලා නැහැ.”
Killinochchi, Srilanka

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය මෙන්ම යුද වින්දිතයන්ගේ ප්‍රශ්ණය මේ රටේ ‘අභ්‍යන්තර යුක්තිය‘ පිළිබද ප්‍රශ්ණයකි. ඒ ප්‍රශ්ණය යුක්ති සහගත අයුරින් විසදීමට ‘යහපාලනය‘ අවංකව ම, මෙන්ම දැඩි දේශපාලන අභිලාශයකින් යුතුව මැදිහත් නොවන්නේ නම් කිසිදු අයුරකින් ‘යහපාලනය‘ නම් ඇති කළ හැකි වන්නේ නැත. (සම්පත් සමරකෝන් - සංස්කාරක, විකල්ප වෙබ් අඩවිය)

Created By
Sampath Samarakoon
Appreciate

Credits:

VIKALPA/Sampath Samarakoo

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.