දරුවන් ගුරුවරුන්ට පාඩම් කියා දෙන හරි පුදුම ඉස්කෝලෙ

ජපානයේ, දෙවන ලෝක යුද සමයේ තිබුණු ‘ටෝමෝ’ පාසල ලංකාවේ ගුරු සිසු ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය එකකි. ඒ ලීලානන්ද ගමාච්චි විසින් පරිවර්තිත, ‘හරි පුදුම ඉස්කෝලෙ’ පොත නිසාය. එහෙත් ලංකාවේ ත්‍රිකුණාමලයේ තිබෙන ‘සංගම් ඉස්කෝලෙ’ ගැන ඒ කිසිවෙක් නොදනිති. ඒ කව්රුවත් ඒ ගැන නොලියූ නිසාය.

සෙනිත් සහ කළණ හොදම මිතුරෝය. ඔවුහු ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝ මීටර් අටක් පමණ දකුණට වන්නට පිහිටි ‘සංගම’ ආදර්ශ ගම ප්‍රාතමික විද්‍යාලයේ, 5වන වසරේ ඉගෙනුම ලබති. එකිනෙකාගේ කෑම හුවමාරු කරගෙන රස විදිමින්, මානව සහෝදරත්වයේ මුල් පොත කියවන මේ දරුවන් අයත් වන්නේ තිස් වසරක් තිස්සේ යුද වැදුණු ජනවර්ග දෙකටය.

කුඩා දරුවන් අතර එබදු බැදීම් ඇති වීමෙහි කවර අරුමයක්ද?

එහෙත් ඔවුන්ගේ මිතු දම පිටුපස, ඔවුන්ගේ පරම්පරාවෙන් ඔබ්බට ගිය කතාවක් තිබේ.

එය කලකට ඉහතදී අපේක්ෂා කළ සමාජ අරමුණක සාර්ථකත්වය පිළිබද සජීවී නිදර්ශනයකි.

‘සංගම’ හි අරුත

‘සංගම’ ආදර්ශ ගම්මානය, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අදහසකට අනුව 1989දී පමණ ඉදිවූවකි. ‘සංගම’ යන්නෙහි අරුත එකට කටයුතු කිරීමයි. ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැගීමේ අරමුණින් සියලු ජාතීන් නියෝජනය වන සේ ඉදි වු සංගම සියලු මූලික පහසුකම්වලින් සමන්විත වූවකි.එහි ප්‍රමුඛ තැනක් හිමි කර ගන්නේ, ‘සංගම’ ආදර්ශ ගම ප්‍රාතමික විද්‍යාලයයි.

සිංහල දමිල මුස්ලිම් හා බර්ගර් දරුවන් එකම වහලක් යට භාෂා දෙකකින් සිප් සතර හැදෑරීම මෙහි ඇති විශේෂත්වයයි. එය සුන්දර සංකලනයකි. ජාති කිහිපකට අයත් පාට පාට සමනළ රංචු එකම මල් පොකුරක රොන් උරන්නා සේ ජාති කිහිපයකටම අයත් දරු පැටව් රංචුවක් සංගම විද්‍යාලයේ එකම වහලක් යට අකුරු උගනිති.

සියලු ජාතීන් කුමාරි ගුරුතුමිය සෙවණේ

මේ අපූරු වත්මන් විදුහල්පතිවරයා වන්නේ, එම්.ඒ. ජෙයිනුලාබ්දීන් මහතායි. හෙතෙම 1988 වසරේ සිට මේ දක්වා එම තනතුරේ කටයුතු කරයි.

“මම මේ ස්කෝලට ආදරය කරන්නේ, මගේ ගෙදරට වගේ..මේ ස්කෝලෙ අපේ වැඩිහිටියන්ට ලොකු ආදර්ශයක්. යුද්ද කාලේ සිංහල අය මේ ගම දාලා වෙනත් දිහා වලට ගියා. සිංහල ළමයි අඩු වුණා. සිංහල ගුරුවරු එන්න බය වෙලා හිටියා. නමුත් දැන් එහෙම නැහැ. මම මුස්ලිම් ජාතිකයෙක් වුණත්, මේ පාසලේදී ආගම් හතරටම මුල් තැන දෙනවා. උදේරැස්වීමෙදී මේ ළමයි පන්සිල් විතරක් නෙවෙයි, තේවාරමුත් කියනවා. කිරාතුත් කියනවා. යාඥාත් කරනවා. භාෂා දෙකෙන්ම ජාතික ගීයත් කියනවා.” ජෙයිනුලාබ්දීන් මහතා එසේ කියන්නේ, මහත් වු ආඩම්බරයෙකිනි.

සීමා නැති මිතුදම්

නව හැවිරිදි මුස්ලිම් දැරියක වු මරියම්, පාසලේ සිංහල හා දමිළ දැරියන් බොහෝ දෙනෙකුගේ හොදම යෙහෙළියයි. සංස්කෘතීන් කිහිපයක දායාදයන් ඇය සතු කර ගන්නී නිරුත්සාහිකවය.

“මම දැන් සිංහල ටික ටික ඉගෙන ගන්නවා. මම සිංහල නැටුම් ඉගෙන ගන්නත් කැමතියි. වැඩියෙන්ම කැමති ‘කළ ගෙඩි නැටුම’ නටන්න..මේ පාර කොන්සර්ට් එකට මමත් නටනවා..” ඇය සතුටින් කියයි.

චන්ද්‍රරාසා යදු සරණි, සංගම විද්‍යාලයේ 4 ශ්‍රේණියේ දැරියකි. ඇගේ නිවස අවට දමිළ මාධ්‍ය පාසල් කිහිපයක්ම තිබියදීත්, දෙමව්පියන් ඇය මෙම පාසලට යොමු කරන්නේ ඇය මේ ජන සමාජය තුළ පය ගසා සිටිය හැකි අයෙකු කිරීමටයි.

“යදු සරණි බූරි අරන් එන දවසට එයා අපිටත් එක්කයි අරන් එන්නේ.. අපි ඔක්කොම කෑම කද්දී කෑම බෙදා ගෙනයි කන්නේ. සමහර වෙලාවට ටීචර්ලත් අපිට එකතු වෙනවා..” එසේ කියන්නී, සනෝලි අරුනදීයි.

සංගම විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශ්‍රී ධරන් ජෙස්මන් හා සනෝජ් ගසට පොත්ත මෙනි. එම මිතුදම පාසලෙන් ඔබ්බටද විහිද ගිය එකකි. සංගම හා පාලයුත්තු යන යාබද ගම්මාන දෙකක ජීවත් වන ඔවුනට සීමා මායිම් නොමැත. නිවාඩු දිනවලදී නොංගු බීමට හෝ සෙල්ලම් කිරීමට නිවසට හොරා සනෝජ් ජෙස්මන් වෙසෙන පාලයුත්තුවට ගොස් දෙමාපියන්ගෙන් ගුටි කෑ වාර අනන්තය. ඒත් ඒ ගමන නොනැවතිණි.

සිංහල දෙමළ දරුවන් එක්ව සංස්කෘතික වැඩසටහන්වල නිරත වෙමින්

දරුවන්ගෙන් ඉගෙනගන්නා ගුරුවරු

බහුතරයක් සිංහලයන් වෙසෙන කන්තලේ සිට සංගීත ගුරුවරියක ලෙස පත්වීම ලබා සංගම විද්‍යාලයට පැමිණෙන ඉනෝකා කුමාරි ගුරු මෙනවිය සිය ජීවිතයේ සොදුරුතම අත්දැකීම සංගම පාසල බව කියන්නීය.

“මම මේ ඉස්කෝලෙට ආවෙ කැමැත්තකින් නෙවෙයි. එකක් මගේ ගමේ ඉදන් තියෙන දුර. අනික මේ ඉස්කෝලෙ තිබුණ අස්වාභාවික ගතිය. මම එද්දී සමහර ළමයි සිංහල කතා කරනවා. තවත් අය දෙමළෙන් කතා කරනවා. මම නිකන් කරකවලා අතහැරියා වගේ.. මොකද මට දෙමළ බැහැ. නමුත්, දැන් නම් මම බලෙන් යන්න කියලා කිව්වත් මේ පාසලෙන් යන්නෙ නැහැ. මේ වගේ පාසලක උගන්නන්න ලැබීමත් මම ලබපු වාසනාවක්..මම දැන් උගන්නනවා විතරක් නෙවෙයි, ඉගෙනත් ගන්නවා. දරුවන්ට උගන්නන ගමන් දරුවන්ගෙන් ඉගෙන ගන්න එක ලෙහෙසියෙන් ලබන්න පුළුවන් අත්දැකීමක් නෙවෙයි..” ඇය කියන්නීය.

කේ. ලවනේෂන් මහත්මිය සංගම විද්‍යාලයේ දමිළ අංශයේ ප්‍රාතමික ගුරුවරියකි. ඇය කුඩා අවධියේ සිංහල ජනයා ඇසුරේ හැදී වැඩුණද යුද්ධයත් සමග එම ඇසුර බිදී ගොස් තිබුණි. දැන් ඇය යළිත් සිංහල දරුවන්ගේ ඇසුර ලබමින්, අමතකව ගිය නෑදෑකම් මතු කර ගනිමින් හිදින්නීය.

“ අපි පොඩි කාලේ හිටියේ මූතුර්වල. අපේ ළග ගෙවල් දෙකම සිංහල. මම පොඩි දවස්වල වැඩි හරියක් හිටියේ ඒ ගෙවල් දෙකේ. මට පොඩි කාලේ දෙමළට වඩා සිංහල කතා කරන්න පුළුවන් කියලා අම්මලා කියනවා. නමුත්, 83 කළු ජූලිය වෙලාවේ ඒ ගෙවල්වල හිටිය අය මූතුර් දාලා යන්න ගියා. ආයේ කවදාවත් දකින්න ලැබුණෙ නැහැ.

මමත් දැන් සිංහල ළමයිගෙන් ඉගෙන ගන්නවා. මට සිංහල වචවයක් වැරදුනහම සිංහල ළමයි විතරක්දෙමළ ළමයිනුත් හිනා වෙලා කියනවා ටීචර් ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා..මට එතකොට පුංචි කාලේ මූතුර් සිංහල අයත් එක්ක ගත කරපු සුන්දර අතීතය මතක් වෙනවා..”

විවේක කාලයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් දරුවන්

මව් පියන්ගේ කතා

මේ පාසලේ දරුවන්ට ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ටද කියන්නට කතාවක් තිබේ.

කමල්දීන් පලීලා සංගම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකාවකි. ඇයගේ ලොකු පුතා මේ වන විට ත්‍රිකුණාමලය ජමාලියා මුස්ලිම් මහ විද්‍යාලයේ වානිජ අංශයෙන් උසස් පෙළ හදාරයි. ඔහුට සිංහල හා දමිළ භාෂා දෙකම ලිවීමට මෙන්ම කතා කිරීමටද හැකි බව ඇය මහත් ආඩම්බරයෙන් කියන්නීය.

“අපේ ගමේ ජාති තුනම ජීවත් වෙන නිසා හැමෝටම භාෂා දෙකම කතා කරන්න පුළුවන්. මේ නිසා අපේ ගමේ ප්‍රශ්නත් හරි අඩුයි. පංසලයි, පල්ලියයි, කෝවිලයි ඔක්කොම තියෙන්නේ එක ඉඩමක. වෙසක් එකට තොරණ ගහන්නේ, ගමේ කතෝලින තරුණයෝ. පංසලටයි කෝවිලටයි තියෙන්නේ එකම ඝණ්ටාරේ.. මීටත් වඩා එකමුතුවක් තියෙනවද..?”

සංගම විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිහංසන මෙතුජයගේ මව සුරාජි කුමාරි නව කතාවක් බදු ප්‍රේම කතාවක ප්‍රධාන චරිතයකි. ඇයගේ සැමියා වන ලෝරන්ස් ජෙයරාජ් ඇයට හමුවන්නේ, යුධ ගැටුම් ඉතා ප්‍රබලව පැවකි වකවානුවකදීය.

“කුරුණෑගල පුද්ගලික රෝහලක හෙදියක් විධිහට වැඩ කරද්දි තමයි මට මහත්තයා හමු වුණේ. එයා අසනීප වෙලා ඒ හොස්පිට්ල් එකේ නැවතිලා බෙහෙත් ගත්තා. නොදැනීම අපි අතරේ ආදරයක් ඇති වුණා. එතකොට මේ පැත්තේ යුද්දෙ තදටම තිබුණා. අපිට ලොකු අභියෝගයක් තිබුණේ.. ආදරයද ජීවිතයද කියලා. අන්තිමේ අපේ ආදරය ජය ගත්තා.

මගේ මහත්තයා දෙමළ කතෝලික..මගේ ළමයින්ට භාෂා දෙකම පුළුවන්. මගේ ළමයි පල්ලිත් යනවා..කෝවිලටත් යනවා.. ඒ වගේම පෝයට සිලුත් ගන්නවා..රටේ මොන ප්‍රශ්න තිබුණත්, අපිට ප්‍රශ්න නැහැ.. ” සුරාජි හිනැහෙමින් කියන්නීය.

තවත් ‘සංගම්’ හදමු

සනෝලී අරුනදීගේ මව වන කේ.බී.වින්ස් ‍රෝෂිණී කියන‍්නී, රට පුරා මෙවැනි පාසල් තව දුරටත් ඇති කළ යුතු බවයි.

“මේ පාසලට සිංහල අය ළමයි දානවා අඩුයි. ඒකට හේතුව මේක ගමේ ස්කෝලෙනේ.. නමුත්, ටවුමේ ඉස්කෝලෙ යන ළමයට වඩා මගේ දුවගේ ලකුණු වැඩියි. මේ පාසල 5 ශ්‍රේණියට විතරක් නිසත් සමහර අය ළමයි දාන්නෙ නැහැ..මම කියන්නේ,මේ පාසල අඩුම තරමින් 8 ශ්‍රේණිය දක්වාවත් පංති වැඩි කරන්න ඕනෙ.. මේ වගේ පාසල් රට පුරාම හදන්න පුළුවන් නම් නැවත අපෙ රටේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ.. ”

සංගම පාසල තුළ පමණක් නොව සංගම ගම්මානය තුළ ද ජාති ආගම් බේද නැත. සංගම පංසලත්, ගණපති කෝවිලත්, සුරුවමත් ඇත්තේ එකම බිමක එකිනෙකට යාබදවය. මුස්ලිම් දේවස්ථානය යාබද ඉඩමේය. පංසලටත් කෝවිලටත් ඇත්තේ, එකම ඝණ්ටා කුලුනකි. සුමනදාස ඇද්දත් සෙල්වරාණි ඇද්දත් ඉන් නැගෙන්නේ එකම නාදයකි.

“අපි වෛද්‍යවරු ඉංජිනේරුවරු හදනවා කියලා කියන්නේ නැහැ. ඒත්, මේ පාසලෙන් ඉගෙන ගෙන වෛද්‍යවරු වුණ අයත් ඉන්නවා. අපේ ඉලක්කය රටට දැයට හිතැති, ජාති භේද කුල මල නොතකන ආදර්ශමත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට මූලික අඩිතාලම දැමීම..” සංගම විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ.ජෙයිනුලාබ්දීන් මහතාගේ වචන හදවත පත්ලට කිදා බසිනුයේ, ගිනියම් වු ඊයම් බරු පරිද්දෙනි.

මංගලනාත් ලියනාරච්චි

Created By
Catamaran org
Appreciate

Credits:

මංගලනාත් ලියනාරච්චි

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.